අරුණ කර්තෘ ඇමති අනින් රහස් පොලිසියට කැඳවීම වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි!
2025-11-19 දාතමින් දෙරණ පුවත්පතේ පළ වූ “ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානිගේ අනුමැතියත් ඕනෑ” මැයෙන් වූ මුල්පුවත පදනම් කර ගනිමින් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා පරීක්ෂණයක් සඳහා 2025-11-24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පිලීබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ පිළිකුළ රජය වෙත පළකරන්නෙමු.
මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සඳහා අරගල කරන කිසිදු පාර්ශවයකට මෙය හුදෙකලා සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකි තත්වයකි. ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්,ඝාතනය කිරීම්, මර්ධනය කිරීම්, පහරදීම් සහ හිංසනයට පත්කිරීම් සිදුකළ එමෙන්ම ඒවාට නිසියාකාර පරීක්ෂණ හෝ යුක්තියක් ඉටු නොකළ අඳුරු අතීතයට මාලිමා රජයේ මාස දාහතරක කාලයද එකතු වන මොහොතක මෙම සිද්ධිය සිදුවීම පිළීබඳව අප කණස්සල්ලට පත් වන්නෙමු.

පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව කටයුතු කළහැකි අවම සදාචාරයවත් නොසලකා රජය විසින් පුවත්පතේ කර්තෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම පැහැදිලිවම තමන්ට හීලෑ නොමැති ජනමාධ්‍ය මර්ධනයට රජය තුළ පවතින කැමැත්ත ප්‍රක්ෂේපනය කරයි.
එබැවින් මාධ්‍ය මර්ධනය වෙනුවෙන් විවිධ රජයන් ගෙන ආ මාධ්‍ය මර්ධන අණපණත් අහෝසි නොකොට පවත්වා ගෙන යාම තුළින් පෙන්නුම් කරන්නේද ඊට වර්තමාන රජයේ ඇති කැමැත්තයි.
ලංකාවේ ජනමාධ්‍ය වෙත මුදාහරින මේ මර්ධනය රටේ සමස්ත ජනතාව වෙතද මුදාහැරීමට වත්මන් රජය පසුබට නොවනු ඇති බව අපගේ විශ්වාසය වන බැවින් මේ මොහොතේ මෙම මාධ්‍ය මර්ධන උත්සාහය පරාජය කිරීමට එක්වන්නැයි භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අගයන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
එමෙන්ම මෙම මාධ්‍ය මර්ධනය වහා නවතා විසංවාදය අගයන, මාධ්‍ය නිදහසට බාධාවක් නොවන මාර්ගයක් වෙත තම රාජ්‍ය පාලනය හසුරවන මෙන් වර්තමාන මාලිමා රජයෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධයෙන් සටහනක් තබන පාඨකයකු පවසන්නේ “ඒ පුවත්පත් වාර්තාව හරි මම පොලිස් වාර්තාවක් ඉල්ලා තිබුනා අපේ බලප්‍රදේශයේ පොලිසියෙන් මට කතාකරල කිව්ව කමිටු වාර්තාව ඕන කියල මට තවම පොලිස් වාර්තාව දුන්නෙ නැහැ” කියාය