ගතව ගිය තුන් වසර තුළ ශ්රී ලංකාවේ භික්ෂූන් වහන්සේ 285කට එරෙහිව ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. අධිකාරිය පවසන අන්දමට ඒ අතරින් 27 දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබ තිබෙනවා.
OCCRP ජාත්යන්තර මාධ්ය ආයතනය වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් මා කළ තොරතුරු විමසීමකට ප්රතිචාර දක්වමින් එහි නීති අධ්යක්ෂිකා නීතිඥ ප්රීතිකා සකලසූරිය සඳහන් කර තිබුණේ, චෝදනා ඉදිරිපත් වී තිබෙන පුද්ගලයින් කවුරුන් දැයි විමසමින් දත්ත වෙන් කිරීමට 2023 ජනවාරි මාසයට පෙර පැවති පැරණි දත්ත පද්ධතිය තුළ පහසුකම් නොමැති බවය. එමෙන්ම 2023 මැයි පළමුවෙනි දින සිට 2026 මැයි පළමුවෙනි දින දක්වා කාලය තුළ භික්ෂූන් වහන්සේ කොතරම් පිරිසක් දඩුවම් ලබා තිබෙන්නේ දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සතුව දත්ත නොමැති බවත් ඇය සඳහන් කර තිබුණා.
පැමිණිලි ලැබී තිබෙන පූජකවරුන්ගේ නම, තනතුර සහ බෞද්ධ භික්ෂුවක් ද හෝ වෙනත් පූජකයෙක් ද යන වග සඳහන් කරන මෙන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් නීති අධ්යක්ෂවරිය පවසා තිබුණේ එම ප්රශ්නයට පිළිතුරු දත්ත පද්ධතියෙන් ලබා ගත නොහැකි බවය.
ඉහත සඳහන් කළ පැමිණිලි අතරින් 70%ක්වත් ලිංගික අපයෝජන සම්බන්ධ චෝදනා බව, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි, විශ්රාමික මහාධිකරණ විනිසුරු ප්රීති ඉනෝකා රණසිංහ OCCRP කළ විමසීමකදී සඳහන් කළා. ගිහියන් මෙන්ම බෞද්ධ භික්ෂූන් ද පැමිණිලිකරුවන් අතර සිටින බවත් ඇය කියා සිටියා. (ලිපියේ ලින්කුව පහළ)
අපයෝජන සිදුවන ප්රමාණය පැහැදිලිවම පැමිණිලි ලැබෙන ප්රමාණයට වඩා ඉතා ඉහළ බව පෙන්වා දුන් සභාපතිවරිය, විවිධ හේතු නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට බොහෝ දෙනා මැලිවන බවත් කියා සිටියා. විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි අධිකරණය ඉදිරියේ දරුවා යළිත් වරක් අපයෝජනයට ලක්වීම මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්රියාදාමයේ බරපතල ප්රමාදය එයට එක හේතුවක් විය හැකියි. යුක්තිය ඉටුවීම පමාවීම අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට එක් ප්රධාන හේතුවක් බව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ත් පසුගියදා පැවැත්වූ ප්රසිද්ධ දේශනයක දී සඳහන් කොට තිබුණා. මේ අතර අපයෝජනයට ලක්වන දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වෛද්යවරුන් ඇතුළු සෞඛ්ය සේවකයින් මුහුණදෙන සංවේදී අත්දැකීම් පිළිබඳව දැනට ස්වීඩනයේ වාසය කරන වෛද්ය බෝධිනී සමරතුංග සංදේශය නාලිකාව සමග විස්තර කළා. (ලින්කුව කොමෙන්ටුවේ)
විශේෂයෙන්ම අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ඉදිරිපත් වූ ළමා අපයෝජන චෝදනාවේදී පැහැදිලිවම දකින්නට ලැබුණේ ධනවත් සහ බලවත් පූජ්ය පක්ෂයට එරෙහිව ඉදිරිපත්වන පැමිණිලිවල දී පොලිසිය ඇතුළු නීතිය පසිඳලන ආයතනවලින් පමණක් නොව ඇතැම් වෛද්යවරුන් ගෙන් පවා සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව. එහිමියන් අත් අඩංගුවට ගන්නා මෙන් බලකරමින් “කෙවිටක් රැගෙන පොලීසය පසුපස යාමට සිදු වූ” බව නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳ අධ්යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් විවෘත අධිකරණය ඉදිරියේ කියා සිටියා. විශේෂයෙන්ම නායක භික්ෂුවක් යනු සමාජයේ ඉතා බලවත් සහ ධනවත් පුද්ගලයෙකු වීම එයට හේතුව බව ළමාරක්ෂක අධිකාරියේ නිර්මාතෘ මහාචාර්ය හරේන්ද්ර ද සිල්වා පෙන්වා දෙනවා.
ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන පරිදි, ඉහත කී කාල සීමාව තුළ ක්රිස්තියානි පූජකවරුන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි ලැබී තිබෙන්නේ දෙකක් පමණයි. ඒ හැරුණු කොට එම කාලය තුළ වෙනත් ආගම්වල පූජකයින්ට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ලැබී නැහැ.
සිය සේවාදායක භික්ෂූන් වහන්සේ ඔහුට එරෙහි සියලු චෝදනා දැඩිව ප්රතික්ෂේප කරන බව හේමරතන හිමියන් ගේ එක් නීතිඥයෙකු වන මහේෂ් කොටුවැල්ල OCCRP කළ විමසීමකදී කියා සිටියා. ළමා අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන මෙන් නීතිපතිවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා. එබැවින් හේමරතන හිමියන්ට එරෙහිව මහාධිකරණයක් ඉදිරියේ චෝදනා ගොනු කරන්නේ ද, නැද්ද යන්න විමර්ශන අවසානයේ නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් නීතිඥ කොටුවැල්ල සඳහන් කළා.
– සරෝජ් පතිරණ
2026 මැයි 28
From Facebook

