වැඩබලන විගණකාධිපති ගම්මන්පිල එච්.ඩී. ධර්මපාල මහතාගේ සේවය තවත් මාස තුනකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිකුරාදා (21) දින ප්‍රතික්ෂේප කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ ධුර කාලය අවසන් වන තුරු ස්ථීර විගණකාධිපතිවරයෙක් පත් නොකර මාස ගණනාවක් තිස්සේ එම තනතුරේ වැඩ ආවරණය කිරීම උදෙසා දිගින් දිගටම ඔහුව පත් කරමින් සිටියේය. විගණකාධිපති තනතුර මේ වසරේ අප්‍රේල් 08 වැනිදා පුරප්පාඩු වූ අතර එතැන් පටන් මේ දක්වා මාස ගණනක් තිස්සේ විගණකාධිපතිවරයෙක් නම් කර එවීමට ජනාධිපතිවරයා අසමත් වී තිබේ.
ජනාධිපතිවරයා විගණකාධිපති ධුරයට තමාට හිතවත් පුද්ගලයෙකු වන එච්.ටී.පී. චන්දනව විගණන සේවයට පිටින් ගෙනැවිත් පත් කිරීමට සූදානම් වූ බවට චෝදනා එල්ල විය. එම පසුබිමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා වන දිනේෂා සමරරත්න, ප්‍රතාප් රාමනූජන් සහ අනුලා විජේසුන්දර විසින් එම නාමය ප්‍රතික්ෂේප කර තිබුණි.
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගිය සිකුරාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් විය. තවත් වතාවක් ගම්මන්පිල මහතාගේ කාලය දීර්ඝ කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව සිව් දෙනෙකු සහ විරුද්ධව පස් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
ජනාධිපතිවරයාගේ නිර්දේශය සමඟ ඉදිරිපත් කරන ලද අමතර සටහනක සඳහන් වූයේ, වැඩබලන විගණකාධිපතිවරයා විසින් මහනුවර දළදා පෙරහැර නැරඹීම සඳහා රාජ්‍ය බැංකුවකින් ප්‍රවේශපත් හයක් භාරගෙන ඇති බවයි.
ජාතික විගණන කාර්යාලය විසින් අදාළ රාජ්‍ය බැංකුව විගණනය කරනු ලබන බැවින්, මෙම ක්‍රියාව විගණන සේවයේ ස්වාධීනත්වයට හානියක් බවට චෝදනා කරමින් විපක්ෂය සහ සිවිල් සමාජ සාමාජිකයින් නිර්දේශයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ පස් දෙනා අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂයේ නියෝජිත එස්.ජේ.බී. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා සහ සිවිල් සමාජය නියෝජනය කරන ආචාර්ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජන් සහ දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් තිදෙනා ඇතුළත් වූහ.
ජනාධිපති යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විගණකාධිපති ධුරය පුරප්පාඩු වී ඇති අතර මේ වන විට විගණකාධිපතිවරයෙක් මෙරට නැත. දූෂණය නැති කිරීම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු පොරොන්දු රැසක් සමග බලයට පත් වූ රජයක් විගණකාධිපතිවරයෙකු පත් නොකර මාස ගණනක් කල් ගත කිරීම බරපතල අර්බුදයකි.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නැවත නව නමක් යැවීමට සිදු වේ. වැඩබලන විගණකාධිපති ගම්මන්පිල එච්.ඩී. ධර්මපාල මහතාට විශ්‍රාම ගැනීම සඳහා තවත් වසර තුනහමාරක කාලයක් ඉතිරිව තිබීම විශේෂත්වයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ සාමාජිකයන්ගේ ධුර කාලය 2026 ජනවාරි මාසයෙන් අවසන් වන අතර, ඒ සඳහා නව සාමාජිකයින් පත් කළ යුතුව ඇත. ජනාධිපතිවරයා විගණකාධිපතිව නම් කිරීම සදහා එම කාල සීමාව අවසන්වනතුරු සිටින්නේයැයි චෝදනා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරය රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තුවේ පරම ස්වාධීන පාලනය නියෝජනය කරන තනතුරක් වන අතර, මෑත ඉතිහාසයේ මෙම පත්කිරීම් නිරන්තරයෙන්ම මතභේදයට තුඩු දී ඇත.
විගණන වාර්තා මගින් ආණ්ඩුවේ වංචා, දූෂණ සහ අවභාවිතාවන් හෙළිදරව් කරන බැවින්, රජයන් විසින් තමන්ට හිතවත් දේශපාලන පත්වීම් සිදු කිරීමට උත්සාහ කරන බවටත්, එමගින් විගණකාධිපති ධුරය දේශපාලනීකරණය කරන බවටත් විපක්ෂය සහ විගණන වෘත්තීය සමිති නිරන්තරයෙන් චෝදනා කරයි.
මෙම තනතුර දිගු කලක් තිස්සේ පුරප්පාඩුව පැවතීම හෝ වැඩබලන පත්වීම් මත පවත්වාගෙන යාම මගින් රාජ්‍ය ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බවට විවේචන එල්ල වී තිබේ.
Satahan/whatnews වෙබ් අඩවියෙනි.

