Saturday, April 20, 2024

නාවික හමුදා කඳවුරේ ඝාතන සහ අධිකරණයෙන් කට්ටි පනින වසන්ත කරන්නාගොඩ ගැන ඇත්ත – සුනන්ද දේශප්‍රිය

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි රදවා සිට අතුරුදහන් කරන ලද තරුණයින් 11 දෙනා සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට විරුද්ධව චෝදනා ඉදිරිපත් නොකරන බවට පසුගිය සැප්තැම්බර් 04 දා නීතිපතිවරයා දැනුම් දීම දැන් දෙබරයකට ගල් ගැසීමක් බවට පත්ව තිබේ.

ප්‍රශ්නය වන්නේ තමන් නිර්දෝශී නම් අධිකරණය ඉදිරියේ පෙනී සිට ඒ බව ඔප්පු කරනු වෙනුවට දිගින් දිගටම අධිකරණය මඟ හැර කට්ටි පනිමින් සිට දැන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩුවෙන් නිදහස් වීමට උත්සාහ දරන්නේ මන්ද යන්න යි. මෙම තරුණයින් සිය කඳවුරෙහි රඳවා තබාගෙන සිටි බව වසන්ත කරන්නාගොඩ දැන සිටි බවට ඇති තරම් සාක්ෂි මෙම පැහැර ගැනීම් පිළිබඳ මහේස්ත්‍රාත් අධිකරණ විභාගයේදී ද හෙළි විය.

මේ සම්බන්ධ එක වැදගත් සිදුවීමක් මෙසේය.

2019 වසරෙහි පෙබරවාරි 18වන දින උදෑසන 8.30ට  එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ තිබූ නිවසෙහි වැදගත් සාකච්ජාවක් ආරම්භ විය. ඒ සඳහා ජනාධිපති සිරිසේන විසින් එවකට නීතිපති වූ ජයන්ත ජයසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නීතිපති වූ දප්පුල ලිවේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කැඳවා තිබුණි.

එම සාකච්ඡාව කැඳවා තිබුණේ දැන් යළි ගිනි ඇවිලී තිබෙන ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි සිදු කරන ලදැයි පැවසෙන තරුණයින් 11 දෙනාගේ ඝාතන සම්බන්ධයෙනි.

ඒ වන විට පරීක්ෂණයේ ලබා තිබූ ප්‍රගතිය නීතිපති ජයන්ත ජයසූරිය සහ නියෝජ්‍ය නීතිපති දප්පුල ලිවේරා විසින් පැහැදිලි කරන ලදුව  වසන්ත කරන්නාගොඩ සිදුවීමට සම්බන්ධ දැයි ජනාධිපති සිරිසේන විමසා සිටියේය.

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මෙම තරුණයින් එම කඳවුරෙහි රඳවා සිටි බව දැන සිටි බවට සාක්ෂි ඇතයි ද ඊට පිළිතුරු වශයෙන් නීතිපති දෙපාර්තමේන්තු ප්‍රධානීන් කියා සිටියහ.

මෙම නඩුවෙන් වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට හැකියාවක් යන සිරිසේනගේ ප්‍රශ්නයට පිළිතුර වූයේ ඔහුට නිදහස් විය හැක්කේ අධිකරණයෙන් බවයි. තමන් සියලු සාක්ෂි විමර්ශනය කළ බවත් ඒ අනුව වසන්ත කරන්නාගොඩට නඩු පැවරීමට සිදු වන බවත් නීතිපතිවරයා හෝ නියෝජ්‍ය නීතිපතිවරයා කියා සිටියේය.

එම සාකච්ජාවට සහභාගි වූ ජයන්ත ජයසූරිය දැන් මෙරට නීතියේ මුදුන්මල්කඩ වන ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අගවිනිසුරුවරයාය.

අප මෙයට පෙර ලිපියක සඳහන් කරන ලද පරිදි වසන්ත කරන්නාගොඩට චෝදනා ඉදිරිපත් කළ යුතු බවට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර විසින් ලිපියක් යන ලද්දේ මෙම සාකච්ඡාවෙන් පසු එදිනය.

එම සාකච්ජාවෙන් පසු නීතිඥ ජනක බණ්ඩරගේ අත්සනින් යුතුව වසන්ත කරනනාගොඩට එරෙහිව සටහන් කළ මූලික චෝදනා

පසුව එම ලිපිය වසන්ත කරන්නාගොඩ අතට පත්වූයේ කෙසේදැයි යන්නද එම ලිපියෙහි දැක්වේ.

එම ලිපිය කියවන්න: නාවික හමුදා කඳවුරේ කප්පම් ඝාතන නඩුව, අද්මිරාල් කරන්නාගොඩ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ ජනක බණ්ඩාර‌ට: යුක්තිය කොහිද? 

පැයකට ආසන්න කාලයක් ගත වූ ජනධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාව උදෑසන 9.27ට අවසන් වූ බව අදාළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම කණ්ඩායම ජනාධිපති නිවසට පැමිණි අවස්ථාවත් පිටවී ගිය අවස්ථාවත් ආරක්ෂක මුර පොළෙහි සටහන් කරන ලද බව ද වාර්තා වේ.

වසන්ත කරන්නාගොඩට පමණක් නොව අනෙක් සැකකරුවන් 13 දෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා යළි සළකා බලන බවට නීතිපතිවරයා අධිකරණයට පසුගිය දා දැනුම් දුන්නේය.

වැඩි දුර කියවන්න: නීතිපතිගේ නිරුවත් රංගනය දිගටම: තරුණයින් 11 දෙනා පැහැර ගැනීමේ නඩුවම අස්කර ගනීද?

එසේ නමුත් රහස් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණ මගින් මෙම තරුණයින් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රඳවා සිටි බවට බි ද හෙළිය නොහැකි සාක්ෂි හමු වි තිබේ.

දැන් නීතිපතිවරයා විසින් යළි විමර්ශනය කරන බව කියන එම සාක්ෂි කිහිපයක්  මෙරට මහා ජනයාගේ දැන ගැනීම පිනිස මෙහි සටහන් කරමු.

මුල්ම පැමිණිල්ල කරන්නාගොඩගෙන් 2009 මැයි 28දා

මෙම අපරාධය සම්බන්ධයෙන් මුලින්ම පැමිණිල්ලක් කළේ වසන්ත කරන්නාගොඩමය.

ස්වකීය ආරක්ෂ නිලධාරියාව සිටි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහගේ අංක 08 දරණ  නිවස්නය පරීක්ෂා කිරීමේදී ඍහුට උපයා ගත නොහැකි තරමේ මුදල් ප්‍රමාණයන් සහ ජාතික හැදුනුම් පත් ගණනාවක් සොයා ගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස වසන්ත කරන්නාගොඩ විසින් එවකට නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) වශයෙන් සේවය කළ අනුර සේනානායක වෙත ලිඛිත පැමිණිල්ලක් කරන ලද්දේ 2009 මැයි 28වන දිනය. ඔහුගේ පැමිණිල්ලෙන් කියා සිටියේ සම්පක් මුණසිංහ එල්ටීටීඊ සංවිධානය සමඟ එක්ව මුදල් උපයා ඇත්දැයි සොයා බලන ලෙසය.

ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය 2009 ජූනි 09දා

මෙම පැමිණිල්ලෙන් පසු 2009 ජූනි 09 දින එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ විසින් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි නියෝජ්‍ය පොලිස්පති වූ සිසිර මෙන්ඩිස් වෙත දුර කථන ඇමැතුමක් දී මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙස නියෝග කරන ලදී.

මෙම දුරකතන පණිවිඩය සිසිර මෙන්ඩිස් විසින් සටහන් කර තිබේ. එනයින් ඊට පසුදා සිට මෙම අපරාධය පිළිබඳ පරීක්ෂණය කරන ලද්දේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසිනි.

ඉන් සතියකට පසු එනම් 2009 ජූනි 17වනදා එවකට පාර්ලිමේන්තු ධීවර සහ ජලජ සම්පත් ඇමැතිවරයා  වූ පීලික්ස් පෙරේරා වසන්ත කරන්නාගොඩ වෙත ලිපියක් යවමින් පැහැර ලන්නා ලද රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන් සහ තිලගේෂ්වරන් රාමනාදන් යන අය ත්‍රිකුණාමළ නාවික හමුදා කඳවුරෙහි සිටින බව දන්වා තිබේ.

එම ලිපියෙහි  පහත දැක්වේ:

.

ඊට පිළිතුරු යවමින් තමන් ඒ පිළිබඳව ක්‍රියා කරන බව වසන්ත කරන්නාගොඩ තමාට දැන් වූ බව පීලික්ස් පෙරේරා අදාළ ඥාතීන්ට දැනුම් දී තිබේ. මේ බව පීලික්ස් පෙරේරා  ප්‍රසිද්ධියේද ප්‍රකාශ කර තිබේ.

එම ලිපිය අනුව පෙනී යන්නේ වසන්ත කරන්නාගොඩ මෙම තරුණයින් සිය බාරයේ ඇති කඳවුරක රඳවා සිටි බව දැන සිටි බවයි. එසේ නමුත් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ඔහු කිසිදු පියවරක් ගෙන නැත. එය දඩුවම් ලැබිය යුතු වරදකි.

බොහෝ කොටම එවකට ආරක්ෂ ලේකම් වූ ගෝඨාභය ගේ නියෝගයට හේතු වන්නට ඇත්තේ මේ සම්බන්දයෙන් ඇමති පීලික්ස් පෙරේරා විසින් දැනුම් දීමක් විය හැකිය.

පරීක්ෂණය මෙහෙය වූ රහස් පොලිස් නිලධාරීන්ට නාවික හමුදා නිලධාරීන් ගණනාවක් දී ඇති ප්‍රකාශයන්හි මෙම තරුණයින් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ගන් සයිට් ගුවාවෙහි රඳවා සිටි බව පිළිගෙන තිබේ.

වසන්ත කරන්නාගොඩ විසින්ම කියා සිටින ලද පරිදි ඔහුගේ ආරක්ෂක නිලධාරී සම්පත් මුණසිංහගේ නාවික හමුදා නිවස්නයේ තිබී හමු වූ  දැන් නඩු භාණ්ඩ බවට පත්ව ඇති ලැයිස්තුව පහත දැක්වේ.

එම ලැයිස්තුව මෙම පැහැර ගැනීම් එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධයක් පෙන්වන්නේ නැති බවද පෙනී යයි.

    1. ගල්කිස්ස ලංකා බැංකුවේ අංක 049768 දරන හත් ලක්ෂ හැට දාහක මුදල් චෙක්පත.
    2. ඒ 3323 දරන රුපියල් පන් ලක්ෂයේ කොළ පැහැති ප්‍රොමිසරි නෝට්ටුව
    3. අංක 4056 දරන රුපියල් ලක්ෂ 4ක රෝස පැහැති ප්‍රොමිසරි නෝටටුව
    4. අංක 8020019831 දරන සම්පත් යන අයගේ කොමර්ෂල් බැංකු ගිණුම් පොත
    5. අංක 7960595 දරන සම්පත් යන අයගේ ලංකා බැංකු ගිණුම් පොත
    6. අංක 002020330398 දරන සම්පත් යන අයගේ එච්එන්බී ගිණුම් පොත
    7. අංක 002093353 දරණ සම්පත් යන අයගේ එච්එන්බී ගිණුම් පොත
    8. අංක එන්. 1431844 දරණ ස්ටැන්ලි ලියොන් යන අයගේ විදේශ ගමන් බලපත්‍රය
    9. අංක 601772809 වී.කේ.ඒ.ඇන්ටනි යන අයගේ ජාතික හැඳුනුම් පත
    10. අංක 790683021 වී. ත්‍යාගරාජා ජෙගන් යන අයගේ ජාතික හැඳුනුම් පත
    11. අංක 582401179 වී.එස්.එස්. ලියොන් යන අයගේ ජාතික හැඳුනුම් පත
    12. අංක 870232713 වී.එස්.ඒ. රොෂාන් යන අයගේ ජාතික හැඳුනුම් පත
    13. අංක 105176612000005586 දරන ලංකා බැංකු වීසා කාඩ් පත
    14. අංක 99 දරන 2000.07.26 සිට 2003.07.27 දක්වා වලංගු නාවික හමුදාපති නාවික හමුදාපති රියල් අද්මිරාල් කරන්නාගොඩ සමතාගේ නාවික හමුදා හැඳුනුම් පත
    15. සෝනි එරික්සන් ජංගම දුර කතනය සහ අංත 351931002203728 දරන සිම් කාඩි පත
    16. සෝනි එරික්සන් වර්ගයේ අංක 0776903546 දරන සිම් කාඩ් පත
    17. අංක 3453960000278139 දැන ජංගම දුරකතනය
    18. 62 X 25 ජීව උණ්ඩ 300
    19. 62 මි.මි ජීව උණ්ඩ 105යි
    20. 9 X 18 මි.මි. ජීව උණ්ඩ 32යි 
    21. 9 මි.මි ජීව උණ්ඩ 50යි

අංක 14 දරන 2000.07.26 සිට 2003.07.27 දක්වා වලංගු නාවික හමුදාපති නාවික හමුදාපති රියල් අද්මිරාල් කරන්නාගොඩ මහතාගේ නාවික හමුදා හැඳුනුම් පත පවා තිබී ඇත්තේ සම්පත් මුණසිංහ ළඟ තිබීමෙන් පෙනී යන්නේ මෙම දෙදෙනා අතර වූ සමීප සම්බන්ධයයි.

එපමණක් නොව ඔහු ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් අනවසරයෙන් තබා ගෙන සිටි බවද පෙනේ.

සම්පත් මුණසිංහගේ  නිල කාමරයේ තිබී සොයා ගත් විදේශ ගමන් බලපත්‍රය අයත් ස්ටැන්ලි ලියොන් සහ ජාතික හැදුනුම් පත හිමි වී.එස්.එස්. ලියොන් සහ අංක 13 යටතේ ඇති වීසා කාඩ් පත හිමි කස්තුරි ආරච්චිලාගේ ඇන්ටන් සහ අංක 790683021 වී. ත්‍යාගරාජා ජෙගන් යන හතර දෙනාම අතුරුදහන් කරන ලද තරුණයින්ය.

ඔවුන් ගන්සයිට් ගුහාවන්හි රඳවා සිටි බවට සාක්ෂි ඔවුන්ගේ මව්වරුන් අපරාධ පරීක්ෂණයට ලබා දී තිබේ.

දැන් නීතිපති වසන්ත කරන්නාගොඩ නිදහස් කොට අනෙක් සැකකරුවන් ගැන දයි විමර්ශනයක් කරන බව නීතිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙතරම් සාක්ෂි තිබියදීය.

මෙම පරීක්ෂණය අතරතුර වසන්ත කරන්නාගොඩගේ නාවික කටයුතු උපදේශක වශයෙන් කටයුතු කළ කොමදෝරු එන්.ආර්.ඊ. මොහොට්ටාලගේ උදය කීර්ති විජේබණ්ඩාර ගෙන්ද ප්‍රකාශයක් ලබා ගන්නා ලදී.

එම ප්‍රකාශයෙහි ඔහු කියා සිටියේ සම්පත් මුණසිංහ කොටහේන ප්‍රදේශයේ ළමුන් පස් දෙනෙකු පැහැර ගෙන ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රඳවා සිටි බවට තමාට ලැබුණු තොරතුර 2005. මැයි 09 දින එවකට නාවික හමුදාපති වූ කරන්නාගොඩට තමා දැනුම් දුන් බවයි. එමෙන්ම හැකි ඉක්මනින් ඒ ගැන සොයා බැලීමට තමාට නාවික හමුදාපති උපදෙස් දුන් බවත්ය.

සම්පත් මුණසිංහ ගැන  කපිතාන් ජගත් රණසිංහගේ ප්‍රකාශය

තවද නාවික හමුදාවේ ආරක්ෂක විද්‍යා පීඨයේ අධ්‍යක්ෂ වූ කපිතාන් ජගත් ජයන්ත රණසිංහ ද මෙම පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඔහු කියා සිටියේ තමා විසි වසරක් තිස්සේ දන්නා හඳුනන ව්‍යාපාරිකයකු වූ රාමන් ප්‍රභාකරන් යන අයගෙන් ඔහුට තරුණයින් පස් දෙනෙකු රඳවා සිටීම ගැන තොරතුරු ලැබුණ බවයි. ඔහුගේ පුත්‍රයකු වන රජීව් නාගනාදන් මෙන්ම ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමනාදන්, මොහොමඩ් ඩිලාන් ජමාල්ඩීන් සහ ශයිඩ් මොහාමඩ් යන අය නාවික හමුදාපතිතුමාගේ සමීපතිමයකු වන සම්පත් මුණසිංහ නම් අයකු විසින් පැහැර ගෙන  ඇති බවටත් ඔවුන් නිදහස් කිරීමට රුපියල් මිලියන 50ක කප්පමක් ඉල්ලා ඇති බවටත් තමාට රාමන් ප්‍රබාකරන්ගෙන් දැන ගන්නට ලැබුණු බව කපිතාන් ජගත් ජයන්ත රණසිංහගේ ප්‍රකාශයේ සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් 4 දෙනෙකුගේ සාක්ෂි

මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොනු කරන ලද  වාර්තාවලට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කළ කරන්නාගොඩ විසින්ම තෝරා ගන්නා ලද  ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇත්තේ තරුණයන් 11 දෙනා ඝාතනය කිරීම හිටපු නාවික හමුදාපතිවරයා දැනුවත් සිටි බවයි. ඔවුන් අතර හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජේ. රණසිංහ, කරන්නාගොඩගේ හමුදා ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සහ හිටපු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ අද්මිරාල් ආනන්ද ගුරුගේ වන බව  ආණ්ඩුවේ ඔබ්සෝවර් පුවත්පත වාර්තා කර තිබුණි.

තමන් යටතේ ඇති හමුදා කඳවුරක අහිංසක තරුණයින් 11 දෙනෙකු රඳවා ගෙන කප්පම් ඉල්ලමින් සිටින බව නිශ්චිතව දැන සිටියදී එම තරුණයින් යුද්ධය දඩමීමා කරගෙන  අතුරුදහන් කිරීමට ඉඩ දී සිටීම බරපතල යුද අපරාධයකි.

එම දරුවන්ගේ මව්වරුන් කියා සිටින පරිදි සහ ගහන අපරාධයක් ද වේ.

එම චෝදනාවන්ට අධිකරණය හමුවෙහි මුහුණ දී සිය නිර්දෝශී බව සනාථ කිරීමට රියල් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සුදානම් නැත්නම් ඔහු සාධාරණ යුක්ති ධර්මය ඉදිරියේ වරදකරුවකු බවට පත් වෙයි.

එම අපරාධය වසං කිරීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් එම මාපියන්ට සිදුවන්නේ තමන්ට යුක්තිය ලබා ගත හැකි කවර හෝ තැනකට මෙම නඩුව ගෙන යාමය. මහින්ද රාජපක්ෂගේ වචනයෙන්ම කියන්නේ නම් යුක්තිය පතා ඕනෑම තූත්තුකුඩියකට යෑමට එම මාපියන්ට අයිතියක් තිබේ.

Archive

Latest news

Related news