Friday, March 29, 2024

නීතිපතිගේ නිරුවත් රංගනය දිගටම: තරුණයින් 11 දෙනා පැහැර ගැනීමේ නඩුවම අස්කර ගනීද?

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යට ලබා ඇති සෙනසුරු දසාව පෙන්වන තවත් බරපතල සිදුවීමක් මෙයට සතියකට පෙර සිදු විය.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ත්‍රිකුනාමළ නාවික හමුදා කදවුරේ ගන් සයිට් අංශයේ තබා ගැනීමත් පසුව එම තරුණයින් 11 දෙනාම අතුරුදහන් වීමත් පිළිබද නඩුව සම්බන්ධයෙනි.

දැන් මතුව තිබෙව ප්‍රශ්නන නම් මෙම නඩුවෙහි සියලුම විත්තිකරුවන් නඩු නොඅසාම නිදහස් කරනු ඇත්ද යන්නයි.

මෙම නඩුවෙහි 14වැනි සැකකරු වූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඒම නඩුවෙන් ඉවත් කර ගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනා අධිකරණයට දැනුම් දුන්නේ ද මෙම ‌දෛවෝපගත 13 දාය.

කතාව එතැනින් අවසන් නැත.

ඔහුට විරුද්ධ චෝදනා ගොනු කර ඇත්තේ අභියාචනා අධිකරණයේ නොවේ. කරන්නාගොඩ නීතිඥ රමේශ් සිල්වා හරහා අභියාචනා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම නඩුව සම්බන්ධයෙන් තමන් අත්අඩංඟුවට ගැනීම වළක්වන ලෙසය. අධිචෝදනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධීකරණය තීන්දුවක් දුන්නේය. එම තීන්දුව ඔහු නිදොස් කිරීමක් නොවේ.

මුල සිටම මෙම නඩුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහෙය වූයේ  රජයේ ජ්‍යෙෂ්ඨ    නීතිඥ ජනක බණ්ඩාරය. ඔහු හිටපුු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ නීතිඥයා වන රොමේශ් ද සිල්වා සිය නඩු සඳහා ද යොදවා ගැනීමෙන් පැහැදිලි ලැදියාවන් අතර ගැටුමක් බව අපි මෙයට කලින් පෙන්වා දුන්නෙමු.

පැහැර ගන්නා ලද එක  දරුවකුගේ මවක වන ජෙනිපර් වීරසිංහ අසන්නේ තොරතුරු දැන දැනත් වසන්ත කරන්නාගොඩ මෙම නඩුවෙන් ඉවත් වන්නට හදන්නේ ඇයිද යන්නයි. (හඩ පටිය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවැත් වූ වෙබිනා සාකච්ජාවකිනි)

එපමණක් නොව මෙම නඩුවට සම්බන්ධ රජයේ ජ්‍යෙෂ්ඨ    නීතිඥ ජනක බණ්ඩාර බාරයේ තිබූ ලිපි ගොනුවක පිටු ගණනාවක් එම නඩුවෙහි චූදිතයකු වු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතට ලැබී තිබූ බවට අපි පෙන්වා දුන්නෙමු.

2008 / 2009 වසරවලදී කොළඹ දී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලද්දේ හිටපු නීතිපති දප්පුල ලිවේරා යටතේය.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අතුරුදහන් කරන ලද දරුවන්ගේ මා පියන්  සිව්දෙනෙකු සහ නීතිඥ අචලා සෙනවිරත්න වෙන වෙනම අභියාචනා අධිකරනයෙහි රිට් දෙකක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම් ලබන 29 දා අභියාචනාධිකරණය විසින් සළකා බැලෙනු ඇත.

සරෝජනී පෙරේරා, ජෙනිෆර් වීරසිංහ, මර්වින් ප්‍රේමලාල්, ජෙෆ්රියාස් සබ්රීන් යන මා පියන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කරනු ලැබ සිටිති.

නීතිපතිවරයගේ තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද, එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටි තිබේ.

මෙම නඩුවෙහි සැකකරුවෝ 13 දෙනෙක් වෙති. තවද ඉදිරිපත් තර ඇති චෝදනා එකිනෙකට අන්තර් සම්බන්ධය.

එක් අයකු නඩුවෙන් ඉවත් කර ගත් පසු එම සාක්ෂිවල අන්තර් සම්බන්ධය බිඳ වැටිය හැකි බව නීති අංශ පෙන්වා දෙති.

එසේ වෙතත් මෙම නඩුවෙහි අතුරුදහන් කරන ලද දරුවන්ගේ මා පියන් වෙනුවෙන් තර්ජන ගර්ජන මැද පෙනී සිටින නීතිඥ අචලා සෙනවිරත්න කියන්නේ ඕනෑම තත්වයක් යටතේ මෙම නඩුව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටිනනේ කා වෙනුවෙන්ද යන ප්‍රශ්ණය දැන මතුව තිබෙන බවයි. (හඩ පටිය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවැත් වූ වෙබිනා සාකච්ජාවකිනි)

 

මෙම  නඩුවෙහි  සාක්ෂි අතර ඇසින් දුටු සාක්ෂි, ලිඛිත සාක්ෂි මෙන්ම පරිවේණිය සාක්ෂි ද වේ.

ආණ්ඩුවේ සන්ඩේ ඔබ්සෝවර් පුවත්පත 2019 මාර්තු 10වන දින වාරතා කලේ පැහැර ගැනීමට ලක් වූ දරුවන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරන්නාගොඩ සම්බන්ධ බවට හිටපු අද්මිරාල්වරුන් සහ හිටපු කැබිනට් ඇමතිවරයෙකු ඇතුළු අවම වශයෙන් සාක්ෂිකරුවන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී ඇති බවය.

නීතිපතිගේ නිරුවත ප්‍රදර්ශනය වූයේ මෙහිදී පමණක් නොවේ. ඊටත් වඩා ජුගුප්සා ජනක ලෙස ත්‍රී-පුද්ගල මහාධිකරණයේදී එදිනම එනම් පසුගිය 13වන දාය.

එහි දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යුහාන් අබේවික්‍රම විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයට කියා සිටියේ වසන්ත කරන්නාගොඩ ඇතුළු සෙසු විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා සම්බන්ධයෙන් පවතින සාක්‍ෂි නැවත අධ්‍යයනය කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.

එම අවස්ථාවෙහි දී චම්පා ජානකි රාජරත්න, අමල් රනරාජා හා නවරත්න මාරසිංහ යන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙසේ විමසා සිටියේය: “හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඞී. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවේ සාක්‍ෂි නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නොවේ ද?”

විශේෂ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ හැක්කේ අග විනිසුරුවරයා විසින් නඩු නිමිත්ත සලකා බැලීමෙන් පසුවය. අග විනිසුරුවරයා වෙත නඩු ගොනුව යොමු කරන්නේ නීතිපතිවරයා විසිනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිස්ටර් ජනරාල්වරයකු වන නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පෙන්වා දෙන්නේ හිටපු නාවික හමුදාපතිවරයකුට විරුද්ධව අධි චෝදනා ඉදිරිපත් කිරීම එසේ මෙසේ කාරණයක් නොවන බවයි. එවැනි නඩුවක් පැවරීමට පෙර නීතිපතිවරයා අනීවාර්යයෙන්ම එව අධි චෝදනා ඉතාමත් සැලකිල්ලෙන් විමසා බලන බවයි.

එළෙස එක් නීතිපතිවරයකු විසින් පවරන ලද අධි චෝදනා තවත් නීතිපතිවරයකු විසින් ඉල්ලා අස්කර ගැනීම ඉතාමත් අස්වාභාවික සිදුවීමකි.

අපරාධ නීතිය දේශපාලනඥයින්ට බලපාන්නේ නැත!

මෙම අධි චෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියන්නේ මෙසේය. ” මේ සමස්තය දිහා බැලුවාම අපටත් බොහොම වගකීමකින් දෙයක් කියන්න සිදුවෙනවා. මේ රටේ ජනතාව විදිහට අපි එකතු වෙලා දණ්ඩ නීති සංග්‍රහහයට, පොදු දේපොළ පනතට හෝ වෙනත් ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් නීතියකට අලුතින් සංශෝධනයක් ගේන්න වෙනවා. “ලංකාවේ අපරාධ නීතිය හෝ වෙනත් නීතියක් බලයේ සිටින දේශපාලකයන්ට අදාළ නැත.” කියලා. ( ලංකා ට්රුත්)

රටක් නීතියේ අධිපත්‍යයේ ප්‍රධාන පුරුක් දෙකක් වන්නේ නීතිපතිවරයා සහ අගවිනිසුරුවරයාය. ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙම තනතුරු දෙක අතිශයින් විශ්වසනීය සහ ස්වාධීන ආයතනයන්ය.

නිදසුනක් ලෙස මෑතදී ඔස්ට්‍රියාවෙහි නීතිපතිවරයා එරට චන්සර්ලර් නොහොත් පාර්ලිමේන්තුවෙහි ප්‍රධානියා වන සෙබෙස්තියන් කෟස්ට විරුද්ධව අල්ලස් දූෂණ පරීක්ෂනයක් ආරම්භ කරන ලදී. ඊශ්‍රාලයෙහි සිව් වරක් අගමැති වූ බෙන්ජෙමින් නෙතන්යාහුට විරුද්ධව එරට නීතිපති විසින් අල්ලස් දූෂණ චෝදනා ඉදිරිපත් කරන ලද්දේ ඔහු අගමැති ලෙස සිටිය දීමය. මෙවැනි නිදසුන් බොහෝ ය.

දැන් වත්මන් අග විනිසුරු ජයන්ත ජයසූරිය විසින් අනුමත කොට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයක් වෙත යොමු කරන ලද නඩුවක අධි චෝදනා යළි සමාලෝචනය කිරීමට නීතිපති සංජේ රාජරත්නම් සැරසෙන්නේ කුමන හේතුවක් උඩ ද යන්න දැන ගැනීමට එම දෙමාපියන්ට පමණක් නොව සියලු පුරවැසියන්ට තිබේ.

පැහැර ගැනීම් පිළිබඳ මෙම නඩුව මෙයට දින කිහිපයකට පෙර අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද රැව් පිළිරැව් දුන්නේය. එපමණක් නොව මේ වනාහී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙලෙසීම් පිළිබඳ බොහෝ වාර්තාවන්හි සඳහන් වන අපරාධයකි.

මෙම නඩුව ඉවත් කර ගත යුතු බව මුලින්ම කීවේ නීතිපති සංජේ රාජරත්නම් නොවේ. අවනීතියේ දුෂ්ඨතම උදාහරණයක් වන දේශපාලන පළි ගැනීම් කොමිසම ය. දැන් නීතිපතිවරයා අනියමින් ක්‍රියාවට නගමින් සිටින්නේ ම අවනීතික කොමිසමේ නිර්දේශයන්ද යන සැකය මතුවේ.

වසන්ත කරන්නාගොඩ ට එරෙහිව චෝදනා ඉසිරියට ගෙන නොයෑමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද දැනුම් දීඹ ගැන ” අන්තර් ජාතික අධිකරණ බලයට ‍‍ දොර විවෘත කිරීම” Opening the door to international jurisdiction යනුවෙන් කතු වැකියක් පළ කල පයිනෑන්ශල් ටයිම්ස් පුවත් පත මෙසේ කීවාය:

” ක්‍රෑරත්වය සහ බිය ජනය බව අතින් මෙම තරුණයින් 11 දෙනා පැහැර ගැනීම හා සමාන වෙනත් සිදුවීමක් නැත.   2005-2014 යුගයේ අපරාධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරන ලද වෙනත් කිසිම අවස්ථාවක අපරාධයේ ස්වභාවය සහ මෙහෙයුම් අංශ පිළිබඳව එතරම් සත්‍ය තොරතුරු හෙළි වී නැත. පැහැර ගැනීමේ ජාවාරමේ ප්‍රමුඛයන් වූයේ මධ්‍යම හා කණිෂ්ඨ ශ්‍රේණියේ නාවික හමුදා සෙබළුන් වන අතර, 14 වන විත්තිකරු ලෙස කරන්නාගොඩ අපරාධය පිළිබඳ දැන සිටීම සහ එය වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබුණි”.

ශ්‍රී ලංකාණ්ඩුව එක්සත් ජාතීන් හමුවෙහි ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවෙහි සිදු වූ බවට කියවෙන මෙම තරුණයින් 11 දෙනා පැහැර ගැනීමේ සිදුවීම වැනි චෝදනා දේශීය යාන්ත්‍රණයක් මගින් විමසා නිසි පියවර ගන්නා බවය. ශ්‍රී ලංකාවේ සිදු වූ බවට කියවෙන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විමසීම සඳහා විදේශීය යාන්ත්‍රණයක් අනවශ්‍ය බවට ගෙන එන ප්‍රධාන තර්කය එයයි.

එසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මෙම සාහසික කප්පම් සදහා පැහැර ගැනීම පිළිබඳ තමන් විසින්ම ඉදිරිපත් කරන ලද චෝදනා 600කට වැඩි අධි චෝදනා  ඉවත් කර ගැනීමට සහ යළි සමාලෝචනය කන්නට යන්නේ නම් ඉන් යළි සනාථ වනු ඇත්තේ දේශීය යාන්ත්‍රණයක් යන්න හුදු ඇස් බැන්දුමක් පමණක් බවයි.

සුනන්ද දේශප්‍රිය

Archive

Latest news

Related news