Saturday, April 27, 2024

නාවික හමුදා කඳවුරේ කප්පම් ඝාතන නඩුව, අද්මිරාල් කරන්නාගොඩ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ ජනක බණ්ඩාර‌ට: යුක්තිය කොහිද? 

ඡායාරූපය: ඒ නිතිපති පැවරූ නඩු මේ නිතිපති විසින් අස්කර ගැනීම වර්ථමාන දේශපාලන යථාර්ථයයි.

දෙස් විදෙස්හි තවමත්  දෝංකාර දෙන ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරෙහි සිදු වූ බව කියවෙන 11 දෙනා ඝාතනය කිරීම පිළිබඳ නඩුව  නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරගෙන යන්නේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාරය. 

නඩු ලිපි ගොනුව අද්මිරාල් අතට!

මෙම නඩුවෙහි කේන්දීය සැකකරුවකු වූ හිටපු නාවික හමුදාපති අදමිරාල් කරන්නාගොඩ සහ නීතිපති දෙපාර්ථමේන්තුවේ ජේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අතර එම නඩුව සම්බන්ධයෙන් ඇති වූ බවට සැක කළ හැකි අනීතික තොරතුරු හුවමාරුවක් පිළිබඳ ලිඛිත සාක්ෂි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත ලැබී තිබේ.

එම සාක්ෂිය මෙම සටහනෙහි අවසානයට දක්වා තිබේ.

මෙම ඝාතන සිදු වූයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති වශයෙන් සිටි 2008-2009 සමයේදී ය. එම ඝාතන සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ලිවේරා විසින් අධිකරණයෙහි වසන්ත කරන්නාගොඩට එරෙහිවද  චෝදනා ඉදිරිපත් කරන ලද නමුත් වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් එම චෝදනා පසුගිය අගෝස්තු 04 දා ඉවත් කර ගත්තේය.

අන්තර් ජාතික ප්‍රජාවේ අවධානය

මෙම ඝාතනයන්හි වින්දිතයිනට සාධාරණය ඉටු නොවීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි වාර්තා ගණනාවක ද සදහන් වී තිබෙන තිරනාත්මක කරුණකි

සැප්තැම්බර් 13 දා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  48 වන සැසිවාරයේ දී ද  මෙම නඩුව අවධානයට යොමු ව තිබේ.

මෙම සැසි වාරය සඳහා පසුගිය අගෝස්තු 22වන දින ප්‍රසිද්ධ කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මෙම නඩුව සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.

“කෙසේ වෙතත්, වර්තමාන පාලනය යටතේ සංකේතාත්මක/ලාංචනික (emblematic) නඩු කිහිපයකම ප්‍රගතිය ඇණ හිට හෝ බරපතළ පසුබෑමකට ලක් වී තිබේ. බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි කියන අවස්ථා කිහිපයක දීම හමුදා හා ආරක්ෂක නිලධාරීන් පිළිබඳ පරීක්ෂණ අත්හිටුවා ඇත. හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව නඩු පැවරීම නැවැත්වීමට [දේශපාලන පළි ගැනීම් පිළිබඳ කොමිසම විසින්] නාවික හමුදා නිලධාරීන් විසින් තරුණයන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.පී.කේ දිසානායක ට එරෙහි නඩුව අත්හිටුවන සේ   නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ. නීතිපතිවරයා විසින් එම නියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.

“කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් අයැදුම්පතක් මත අභියාචනා අධිකරණය  එම නඩුවට  තහනම් නියෝගයක් ද පනවා තිබේ.  අධිකරණය විසින් නඩුව විභාග කිරීමට නියමිතය.”

එකී එක්සත් ජාතීන්ගේ වාර්තාවට සිය ප්‍රතිචාර දක්වමින් මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ද කවුන්සිලයේ අවධානය පිණිස එවන ලද වාර්තාව මෙසේ සඳහන් කරයි. (අගෝස්තු මුලදී එවන ලද ශ්‍රී ලංකාණ්ඩුවේ  එම ප්‍රතිචාර වාර්තාව මානව හිමිකම් කවුන්සිලය විසින්  ප්‍රසිද්ධ කරන ලද්දේ  මෙම සැප්තැම්බර් මස 06වන දිනය.)

ලංකාණ්ඩුව කී අමූලික බොරුව

ලංකාණ්ඩුවෙහි වාර්තාවෙහි සඳහන්  බොහෝ ව්‍යාජ කරුණූ අතර කරන්නාගොඩ සම්බන්ධයෙන්  මෙසේ සඳහන් වෙයි.

“හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය නඩු විභාගය, අභියාචනාධිකරණයේ අධිකරණ බලයට අනුකූලව, අද්මිරාල් කරන්නාගොඩ විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත මත නතර කර තිබේ. නීතිපති විසින් එම නියෝගයට එරෙහිව විරෝධතා ගොනු කර තිබෙන අතර  නඩුව අභියාචනාධිකරණයේ විභාග කිරීම සඳහා ආරම්භ කිරීමට නියමිතයි.”

මෙය අන්තර් ජාතික ප්‍රජාව රැවටීමට ගොතන ලද  අමූලික බොරුවකි.

කරන්නාගොඩට එරෙහි නඩුව තවදුරටත් පවතිනු ඇතයි ලංකාණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයට  ප්‍රකාශ කරන විටත් නීතිපතිවරයා කරන්නාගොඩට සම්බන්ධ  චෝදනා ඉල්ලා අස්කර ගෙන තිබූ බව පෙනේ. නැත්නම් අස්කර ගැනීමට තීරණය කර තිබී ඇත.

පසුගිය අගෝස්තු 04 දා එම චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව විශේෂ මහාධිකරණයට  දැනුම් දුන්නේ ද, ඒම නඩුව බාරව සිටින නීතිපති දෙපාර්තමේන්තුවෙහි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාරය.

දීර්ඝ කාලයක් පුරා ඒම නඩුව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ ද ඔහුය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මෙම නඩුවට වෙනුවෙන් පෙනී සිටීම ගැටුම් අතර ළැදියාවකට  තුඩු දෙන බව ඒම වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින නීති අංශ ප්‍රකාශ කරන්නේ කරුණු ගණනාවක් උඩයි.

නීතිඥ ජනක බණ්ඩාර සහ අද්මිරාල් කරන්නාගොඩ අතර මෙම නඩුව සම්බන්ධයෙන් පැවති සම්බන්ධය ගැන නීතියේ ආධිපත්‍ය සහ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් පැන නැගී තිබේ.

ශ්‍රී ලංකා බ්‍රිෆ් මෙයට පෙරද වාර්තා කළ පරිදි, මෙම ඝාතන සම්බන්ධයෙන් එනම් 2008-2009  අතර කාලයේ දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන යාම, වධහිංසා පැමිණ වීම, කප්පම් ලබා ගැනීම සහ මරණයට පත් කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට විරුද්ධව නඩු පැවරීමට තීරණය කර ඇති බව හිටපු නීතිපති දප්පුල ලිවේරා ප්‍රකාශ කළේ 2019 වසර අග භාගයේදී ය.

එම ලිපිය මෙම දිගුවෙන් කියැවිය හැකිය. නඩුත් හාමුදුරුවන්ගේ- බඩුත් හාමුදුරුවන්ගේ නොහොත් කරන්නාගොඩ නිදහස් කිරීම

මෙම බොහෝ නඩු සඳහා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වාය. විශේෂයෙන්ම විශේෂ මහාධිකරණයෙහි කරන්නාගොඩට විරුද්ධව පැවරන ලද නඩුවට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත්තේ ද ඔහුය.

2019 ඔක්තෝබර් 01වැනිදා ගාමිනි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසියකු බවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවෙහි ගොඨාභය වෙනුවෙන් පෙනී සිටියේ ද ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වාය.

මේ අතර   නීතිපති දෙපාර්ථමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර පෙනී සිටි ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරේ ඝාතන පිළිබඳ නඩුවෙහි චූදිතයකු වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ  නීතිඥයා වන රොමේශ් ද සිල්වා, ඉහත කී නිතිඥ ජනක බණ්ඩාරම  තමාගේ නීතිඥයකු ලෙස වෙනත් නඩුවකට තෝරා ගෙන තිබුණි. ඒ දේශපාලන පළි ගැනීමේ කොමිසමේ නිර්දේශයක් තහනම් කරවා ගැනීමටය.

කරන්නාගොඩගේ නීතිඥයා ද  වන නිතිඥ රොමේශ් සිල්වා ලවා තමාට පක්ෂව තීන්දුවක් ලබා ගත් දිනට පසු දින නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නීතිඥ එම ජනක බණ්ඩාරම විශේෂ මහාධිකරණය හමුවට ගොස් කරන්නාගොඩට විරුද්ධ නාවික හමුදා කඳවුරේ ඝාතන සම්බන්ධ චෝදනා ඉල්ලා අස්කර ගත්තේය.

ලැදියාවන් අතර ගැටුම

මෙම භාවිතය ලැදියාවන් අතර ගැටුමක් බව නීති අංශ ප්‍රකාශ කරති.

“නීතිපති හා නඩුව මෙහෙයවූ රජයේ නීතිඥයා විසින් විත්තිකරුගේ, විත්තියේ නීතිඥයාගේ හෝ කිසියම් දේශපාලන බලාධිකාරියක අයුතු විෂමාචාරි බලපෑමකට හෝ වරප්‍රසාදයකට විත්තිකාර කරන්නාගොඩ ගේ චෝදනා ඉවත් කර ගැනීමේ නීති විරෝධී උත්සහයක නිරත වී තිබේ. නඩු විභාගයක් අවසන් වීමට පෙර හදිසියේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කිරීමට නීතිපති කටයුතු කිරීම කිසියම් වරප්‍රසාදයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් බවට සැක මතු වෙයි”. යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුවේ ප්‍රධානී බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේය.

නාවික හමුදා කඳවුරේ ඝාතන පිළිබඳ මෙම පරීක්ෂණය බාරය සිටියේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාය.  ඔහුට ඉහලින් මෙම පරීක්ෂණය බාරව සිටියේ එම අංශයබාරව සිටි සහකාර පොලිස් අධිකාරි  තිසේරාය.

අද්මිරාල් කරන්නාගොඩගේ ප්‍රකාශය

2019 පෙබරවාරි 19 වනදා මෙම ඝාතනයන් පිළිබඳ ප්‍රකාශයක් ගැනීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදී.

වාර්තා වන අන්දමට එම අවස්ථාවෙහි “ ඔබ මා අත්අඩංගුවට ගන්නා ලෙස වාර්තා කළා නේද?” යැයි  අද්මිරාල් කරන්නාගොඩ පොලිස් පරීක්ෂක නිශාන්තගෙන් අසා තිබේ.  එවිට වික්ෂිප්තියට පත් නිශාන්ත සිල්වා   “ නෑ සර්, මම පරීක්ෂණ වාර්තාව යැවුවා විතරයි. මම කරන්නේ මට පවරපු රාජකාරිය” යැයි අදමිරාල් කරන්නාගොඩට පිළිතුරු දී තිබේ

වැදගත්ම දේ සිදු වුයේ ඉන් පසුවය.

කරන්නාගොඩට ලැබුණූ පිටු තුන

සිය ලිපි ගොනුවකින්  කොළ තුනක් එලියට ගත් අද්මිරාල් කරන්නාගොඩ “ එහෙම නම් මේ මොකක්ද” යැයි විමසූ බව කියනු ලැබේ.

එහි වූයේ නිශාන්ත සිල්වා සහකාර පොලිස් අධිකාරි තිසේරාගේ අනුදැනුම ඇතිව සකස් කරන ලද පිටු 732කින් යුත් අපරාධ පරීක්ෂණ වාර්තාවේ 50, 51 සහ 52 යන පිටු ය.

එම පිටු තුනෙහි අඩංගු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ  නීතිඥ ජනක බණ්ඩාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවන ලද ලිපියකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අංක බී.732/2009 යන නඩුව (එනම් නාවික හමුදා කඳවුරේ ඝාතන නඩුව) සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වාර්තාව සවිස්තර අධ්‍යනයකට ලක් කිරීමෙන් පසු වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අධි චෝදනා බාර දීමට තීරණය කළ බව එහි සඳහන් වේ.

( දැන් නීතිඥ ජනක බණ්ඩාරම විසින් වෝදනා ඉල්ලා අස් කර ගෙන ඇත්තේ  2019 පෙබරවාරියේ දී එලෙස සවිස්තරාත්මක අධ්‍යනයකින් පසු අධි චෝදනා ගොනු කිරීමට තීරණය කළ බවට ලිපියකින් දැනුම් දුන් වසන්ත කරන්නාගොඩ සම්බන්ධයෙනි)

එම සම්පූර්ණ පරීක්ෂණ වාර්තා ලිපි ගොනුව එවිට තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නාවික හමුදා ඝාතන නඩුව බාර දී තිබූ මෙම ලිපියේ කතා නායක වන නීතිපති දෙපාර්තමේන්තුවේය. එය පරිහරණය කළේ ජේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර‍ෙ බව ද අදාළ ආරංචි මාර්ග සනාථ කරයි.  ඔහු අත තිබූ  ඝාතන පරීක්ෂණ වාර්තාව අඩංඟු ලිපි ගොනුව එම ඝාතනයන්හි සැකකරුවකු වූ අද්මිරාල් කරන්නාගොඩ අතට ගොස් තිබුණේ කෙසේදැයි යන්න ප්‍රශ්නයක් බවට පත් විය.

නඩු විභාගයක සැකකරුවකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම නඩුවට අදාළ පරීක්ෂණ වාර්තාව ලබා ගත නොහැකිය. එය පරිහරණය කිරීම වරදකි.

කරන්නාගොඩ කළ දඩුවම් ලැබිය හැකි වරද!

මෙම අවස්ථාවෙහි  අද්මිරාල් කරන්නාගොඩගෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත  ද සිල්වා “ සර්, මේ කොළ ඔබට ලැබුණේ කොහොමද? එය දඩුවම් ලැබිය හැකි වරදක්” යැයි කී බව වාර්තා වෙයි.

නාවික හමුදා කඳවුරේ ඝාතන සම්බන්ධ අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවේ වාර්තාවෙහි එම පිටු තුන තමා සන්තකයෙහි තිබී පොලිස් පරීක්ෂක නිශාන්ත  ද සිල්වාට දුන් බවට, අද්මිරාල් කරන්නාගොඩට ලියා අත්සන් කර දීමට සිදු වූයේ එය දඩුවම් ලැබිය හැකි වරදක් බව පැහැදිළි කිරීමෙන් පසුවය. තවද එතැන තවත් තිදෙනෙකු සාක්ෂි වශයෙන් සිටියේය.

සාක්ෂි සමඟ අත්සන්

අදමිරාල් වසන්ත කරන්නාගොඩ විසින් ද, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින්ද  ඊට සාක්ෂිකරුවන් වශයෙන් සහකාර පොලිස් අධිකාරි තිසේරා සහ කරන්නාගොඩගේ ප්‍රකාශය යතුරුලියනය කිරීමට කැඳවා සිටි නිලධාරීන් දෙදෙනා ද සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබන ලද එම 50,51.52 යන පිටු ශ්‍රි ලංකා බ්‍රිෆ් සතුව තිබේ.

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ ඝාතන නඩුව  ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ නිර්නායකයක් වන වැදගත් නඩුවකි. එහි අටවැනි චූදිතයා වූ හිටපු නාවික හමුදපති අදමිරාල් වසන්ත කරන්නාගොඩ දැන් නිදහස් කර තිබේ.

එම විත්තිකරුගේ නීතිඥයා සිය නීතිඥයා බවට පත් කර ගත් සහ ඔහු සතුව තිබූ රහස්‍ය ලියවිලි එම නඩුවේ විත්තිකරුවකුව සිටි එම කරන්නාගොඩට අතට පත්කළ බවට සැක කළහැකි  නීතිපති දෙපාර්ථමේන්තුවේ  ජේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර දැන් නීතිපති දෙපාර්ථමේන්තුව වෙනුවෙන් එම නඩුව මෙහෙවයි.

මෙළෙස නීතිපති දෙපාර්තමේන්තුවෙහි තිබූ රහස්‍ය ලිපි ගොනවක තොරතුරු ඒම නඩුවෙහිම සැකකරුවකු වූ අද්මිරාල් කරන්නාගොඩ අතට යෑම පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ ජේෂ්ඨ පොලිස් අධිකාරි රවි සෙනවිරත්න විසින් එවකට නීතිපති වූ නිතිඥ දප්පුල ලිවේරාට යවා තිබේ. එනමුත් ඒ ගැන පරීක්ෂණයක් ක‌ළේද වරදකරු සොයා ගත්තේද යන්න දැන ගන්නට නැත.

මෙය නරියාට කුකුල් කූඩුවක් බාර දීම හා සමාන නොවන්නේද යන ප්‍රශ්නය පැන නගින්නේ එනිසාය.

සේ.පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news