Thursday, October 23, 2025

නිරාහාරව සිටීමේ ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව – ලයනල් බෝපගේ

ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්‍යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක  වියෝජනය කර, ප්‍රතිචක්‍රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්‍රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම සහ ඒවායේ හානියට පත් සංරචක ප්‍රතිචක්‍රීකරණය කිරීම යි. ශරීරය කුස ගින්නේ පසු වන විට ශරීරයේ දෝෂ සහිත සෛල කොටස් ශක්තිය බවට පරිවර්තනය කරන ස්වාභාවික ක්‍රියාවලියක් වන එය සෛල අලුත්වැඩියාව, සෞඛ්‍යය සහ පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.

නිරාහාරව සිටීමට විද්‍යාත්මක පදනමක් ලබා දෙන ස්වයංභක්ෂණය පිළිබඳ යොෂිනෝරි ඔසුමිගේ මෙම සොයා ගැනීම, සෛලවල ආපසු වර්ධනය වීමට ස්වයංභක්ෂණය උපකාරී වන අයුරුත් පොදුවේ මිනිසුන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කරන අයුරුත් පෙන්වා දෙයි.

නිරාහාරව සිටීමේ වාසි

මා සෞඛ්‍ය වෘත්තිකයෙකු නොවේ. එහෙත්, පසුගිය වසර කිහිපය තුළ මා කර තිබෙන ගවේෂණ, සහ මගේ භාවිතාව සහ අත්දැකීම් විසින්, නිරාහාරව සිටීමෙන්, විශේෂයෙන් කඩින් කඩ නිරාහාර ව සිටීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන මට ඒත්තු ගන්වා ඇත. ඇතැම් අන්දමේ නිරාහාර ව සිටීම්, ස්වයංභක්ෂණය ක්‍රියාවලියක් ඇති කරවයි. ඇල්සයිමර් සහ පාකින්සන් රෝග හා සමඟ සම්බන්ධ විෂ සහිත ප්‍රෝටීන ගොඩනැගීම බැහැර කිරීමෙන් ස්නායු පරිහානීය ආබාධ වළක්වා ලන්නට එය උපකාරී විය හැකිය (Mizushima N and Komatsu M 2011, Autophagy: Renovation of Cells and Tissues, 147 (4), 728-741). හානි වූ හෝ පූර්ව පිළිකාමය සෛල ඉවත් කිරීමෙන් එය පිළිකා අවදානම අඩු කරයි (Kroemer G and Levine B 2009, Autophagic cell death: the story of a misnomer; In Nature Reviews Molecular Cell Biology 9(12), 1004-10). ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කර ලන මෙම ක්‍රියා පිළිවෙත, පරිවෘත්තීය සෞඛ්‍යය ද වැඩි දියුණු කරයි (Longo V D and Mattson M P 2014, Fasting: molecular mechanisms and clinical applications, In Cell Metabolism, 19(2), 181-92).

ඊට අමතරව, වාතරක්තය (arthritis) සහ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වැනි තත්වයන් උදෙසා වාසි ගෙන දෙන නිදන් ගත ප්‍රදාහය (inflammation) අවම කරන හෙයින්, කඩින් කඩ නිරාහාරව සිටීම ප්‍රති-ප්‍රදාහක ප්‍රතිවිපාක සමඟ සම්බන්ධ වේ (de Cabo R and Mattson M 2019, Effects of Intermittent Fasting on Health, Aging, and Disease; In New England Journal of Medicine, 381, 2541-2551).

ස්වයංභක්ෂණය

ස්වයංභක්ෂණය, ශක්තිය ජනනය කිරීම සඳහා අපද්‍රව්‍ය භාවිතා කිරීමේ නූතන ක්‍රියාවලිය සමග සමාන කමක් දක්වන බව පෙනේ. එය ශරීරයට ප්‍රමාණවත් තරම් ආහාර නොලැබෙන විට ඇති වන ස්වාභාවික ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය අතරතුර දී, ශරීරයේ දෝෂ සහිත සංරචක ඉවත් කර ශක්තිය බවට පත් කරනු ලැබේ. හානියට පත් කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීම්, සෛල පුනර්ජනනය කිරීමට, ඒවායේ සෞඛ්‍යය රැක ගැනීමට සහ අලුත්වැඩියා කිරීමට රුකුල් දෙයි. මේ අනුව, අකාලයේ වයසට යාම සහ පිළිකා සහ ඇල්සයිමර් වැනි විවිධ අන්දමේ පරිහානීය රෝග වැළැක්වීම සඳහා එය තීරණාත්මක මෙහෙවරක් ඉටු කරයි.

මෙයට වසර හතරකට පමණ පෙර අසනීප වූ විට, මම මෙම ක්‍රියාවලිය ගැන කියවීම ආරම්භ කළෙමි. මට තවමත් මෙම විෂය ඉතා ආකර්ෂණීය ය. එසේ වුවත්, එන්නත් කිරීමට හා පෙති ගැනීමට පුරුදු වීමට වඩා මෙම ස්වාභාවික ක්‍රමය හොඳ බව බොහෝ දෙනෙකුට ඒත්තු ගන්වන්නට මට අසීරු විය. මගේ මතය අනුව, බොහෝ දුරට මෙසේ වන්නේ ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සහ පෞද්ගලික කාල සටහන් හේතුවෙන් ඔවුන් කෙතරම් කාර්ය බහුලව සිටින්නේ ද යන්න හේතුවෙනි.

ආගමික සම්ප්‍රදායයන්වල ප්‍රධාන පුරුද්දක්

නිරාහාරව සිටීම විවිධ ආගමික සම්ප්‍රදායයන්වල ප්‍රධාන පුරුද්දක් ව තිබී ඇත. බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි සහ යුදෙව් වැනි බොහෝ ආගමික පිළිවෙත් තුල දක්නට ලැබෙන පරිශෝධනය කිරීමේ සහ පවිත්‍ර කරණයේ අරමුණු සමඟ එය පෙළ ගැසේ. ස්වයංභක්ෂණය යනු නිරාහාරව සිටීමට දක්වන කාය විද්‍යාත්මක ප්‍රතිචාරයකි. ආධ්‍යාත්මික ශික්ෂාවන් සහ විද්‍යාත්මක සාධක යන දෙකම පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් කාලයක් (පැය 12-16 පමණ) නිරාහාරව සිටීමෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ වන බවයි.

බුදුන් වහන්සේ තම අනුගාමිකයන්ට සෑම දිනකම පාහේ චරියාවක් ලෙස නිරාහාරව සිටින්නැයි පැවසූ බව වැලිගම ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ දහම් පාසලේ බුද්ධාගම හදාරමින් සිටියදී මම දැන ගත්තෙමි. උදය සහ දිවා ආහාරය පමණක් ගෙන රාත්‍රි ආහාරය ගැනීමෙන් වැළකෙන ලෙස උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට උපදෙස් දී තිබේ. දිනපතා, විශේෂයෙන් උදෑසන, සෙමින් ඇවිදීම (සක්මන) පුහුණු කරන ලෙස ද උන් වහන්සේ පවසා ඇත. දැන් කාලයේ බොහෝ ශ්‍රාවකයන් එවැනි පිළිවෙත් අනුගමනය කරන්නේද යන්න ගැන මට කල්පනා වේ.

මගේ බුදින කවුළුව

ශරීරයට ස්වයංභක්ෂක ක්‍රියාවලිය ආරම්භ කරන්නට දිනපතා ම පාහේ ඉඩකඩ ලබා දෙන මෙම ක්‍රියාවලිය, දිනපතා ම පාහේ පැය 18 බැගින් වරින් වර නිරාහාරව සිටීමේ වත්මන් පිළිවෙත අනුව යයි. උදේ ආහාරය අත හැර දිවා සහ රාත්‍රි ආහාරය වෙනුවෙන්, සාමාන්‍යයෙන් පස්වරු 12:00 සිට පස්වරු 6:00 දක්වා වන, බුදින කවුළුවක් විවෘතව තබා ගන්නා මම වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමි.

“උපවාසම්” (උදාහරණ ලෙස, දෙසතියකට එක් දිනක් නිරාහාරව සිටින – ඒකදාසි වැනි ආගමික නිරාහාරව සිටීම්), ආයුර්වේද සහ සිද්ධ වෛද්‍ය මූලධර්ම (උදාහරණ ලෙස, අග්නි – අභ්‍යන්තර “ආහාර දිරවීමේ ගින්න” නම් සංකල්පය), පුරාතන යෝග නිර්දේශ, සත්වික් ආහාර (සැකසූ ආහාර සහ විෂ ද්‍රව්‍ය අඩු, සරල, ශාක කොටස් මත පදනම් වන ආහාර වේලක්), (ආහාර දිරවීමට උපකාරී විය හැකි) ඉඟුරු සහ කළු ගම්මිරිස් වැනි උණුසුම් කුළුබඩු යොදා ගැනීම, භාවනාවේ යෙදීම (ධ්‍යාන) සහ (ප්‍රදාහය ඇති කරන හා ස්වයංභක්ෂණය වළකා ලන) ආතතිය අඩු කිරීම වැනි හින්දු පිළිවෙත් ගැන මම කියවා ඇත්තෙමි.

ස්වාභාවික ලෙසම විෂ හරනය සහ ශෛලමය පවිත්‍ර කරණය මගින් ඒ පිළිවෙත්වලට ස්වයංභක්ෂක ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකිය. ආයුර්වේද මූලධර්මවලට අනුව, උදෑසනින් නැගිටීම, හිරු බැස යෑමට පෙර ආහාර ගැනීම වැනි ස්වාභාවික සර්කැඩියානු (circadian) රිද්මයන් සමඟ පෙළ ගැසීමෙන් ස්වයංභක්ෂණය වැඩි දියුණු කර ලිය හැකිය. නිරාහාරව සිටීම, සරල ආහාර වේලක් බුදීම සහ අඩු ආතතිය ස්වයංභක්ෂක ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන්, හානියට පත් සෛල අලුත්වැඩියා කිරීමට සහ නව, සෞඛ්‍ය සම්පන්න සෛල පුනර්ජනනය කිරීමට ආධාරක වන්නේය යන නවීන විද්‍යාත්මක වැටහීමත් සමඟ මෙම පිළිවෙත් පෙළ ගැසේ. අශ්වගන්ධ සහ ත්‍රිපලා වැනි ඇතැම් ඖෂධ පැළෑටි සහ (නිරාහාරව සිටීම ද ඇතුළත් වන) පංචකර්ම වැනි ප්‍රතිකාර ක්‍රම ද ස්වයංභක්ෂණයට අනුබල දෙන බව කියනු ලැබේ. අවම බව සහ සරල බව (සන්යාස) අනුගමනය කරන ජීවන රටාවක් මානසික ආතතිය අඩු කර ලීම හේතුවෙන් සෛලීය සෞඛ්‍යය වර්ධනය කරන්නට අනියම් අන්දමින් ආධාර කරනවා විය හැකිය.

ඉස්ලාමීය පිළීවෙත

නිරාහාරව සිටීම, මුස්ලිම් ජනයාට, හුදෙක් සෞඛ්‍යය පිළිබඳව වන්නක් පමණක් නොවේ. එය ආගමික මූලධර්මය සහ ස්වයං විනය පිළිබඳ කාරණයක් ද වේ. ශුද්ධ වූ රාමසාන් මාසය තුළ මුස්ලිම් ජනයා සාමාන්‍යයෙන් අලුයම සිට හිරු බැස යන තෙක් (බොහෝ විට පැය දොළහකට වඩා) නිරාහාරව සිටිති. ඔවුහු එය සිදු කරන්නේ මූලික වශයෙන් ආධ්‍යාත්මික ශික්ෂණයක් ලෙස යි. එවැනි ක්‍රියාවලියක් ස්වාභාවික ලෙස ස්වයංභක්ෂණයට මං පාදයි. රාමසාන් මාසයේ නිරාහාරව සිටීමෙන්, ඔවුන්ගේ ආගමික ඉගැන්වීම්වල දැනුම තහවුරු කරමින් ආධ්‍යාත්මික පවිත්‍රකරණය සහ ශාරීරික සුවය යන දෙකම පිරිනමන බව ඔවුහු විශ්වාස කරති.

නිරාහාරව සිටීම ක්‍රිස්තියානි ධර්මයේ පොදුවේ දක්නා පිළිවෙතක් වේ. ඔවුන්ගේ සම්ප්‍රදායයන් තුල දක්නට ලැබෙන පවිත්‍රකරණයේ සහ ආධ්‍යාත්මික ශක්තියේ ඉලක්ක සමඟ එය පෙළ ගැසේ. ශාරීරික හා ආධ්‍යාත්මික සෞඛ්‍යය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ආධ්‍යාත්මික පිළිවෙත දක්නා ලැබේ. යොම් කිප්පූර් දිනයේ සිදු කරන අන්දමේ යුදෙව් නිරාහාර පිළිවෙත්, පව් කමා කිරීම සහ ආධ්‍යාත්මික ප්‍රතිසංස්කරණය සඳහා වන ප්‍රධාන ක්‍රියා පටිපාටියක් ලෙස සැලකේ. යොම් කිප්පූර් යන්නෙන් වසරේ පාරිශුද්ධතම දිනයේ පැය 25 ක නිරාහාරව සිටීමක් අදහස් කරයි. සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන යුදෙව් නීතිය, නිරාහාරව සිටීම ජීවිතයට අනතුරක් ඇති කරන්නේ නම් එය තහනමට ලක් කරයි. නිරාහාරව සිටීමේ ව්‍යවහාරය විසින් ම සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව අදහස් වේ.

නිරාහාරව සිටීමට විද්‍යාත්මක පදනමක් ලබා දෙන ස්වයංභක්ෂණය පිළිබඳ යොෂිනෝරි ඔසුමිගේ මෙම සොයා ගැනීම, සෛලවල ආපසු වර්ධනය වීමට ස්වයංභක්ෂණය උපකාරී වන අයුරුත් පොදුවේ මිනිසුන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කරන අයුරුත් පෙන්වා දෙයි. ආගමික පිළිවෙත් ප්‍රධාන වශයෙන් නිර්වචනය සහ අර්ථකථනය කර ඇත්තේ දේව ආඥාවන් ලෙස වුවද, නොකඩවා කෙරෙන පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ මිනිසුන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඒවා ප්‍රයෝජනවත් වන බවයි.

2025 ඔක්තෝබර් 22 වන දා

Archive

Latest news

Related news