Thursday, February 5, 2026

එක්ස්ප්‍රස් පර්ල් විමර්ශනය: අල්ලස් කොමිසමේ ප්‍රධානී රංග දිසානායකට විවෘත අභියෝගයක්

සරෝජ් පතිරණ.
ඔබ දන්නවා පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට එරෙහිව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකාවේ අධිකරණ බලය නොතකා හරිමින් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ නඩු පැවරීම මගින් නීතිපතිවරයා (සංජේ රාජරත්නම්) පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ලංකාවේ උපරිමාධිකරණය තීන්දු කළා.

ව්‍යසනය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ හැසිරීම ගැනත්, මේ ක්‍රියාවලියේදී සිදුවුණ බවට චෝදනා එල්ලවෙන දූෂණ, වංචා ගැනත් වහාම විමර්ශනයක් ආරම්භ කරන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් හෝ වංචා විමර්ශන කොමිෂන් සභාවටත්, පොලිසියටත් නියෝග කළා.

නමුත් ඒ තීන්දුවෙන් දැන් මාස හයකටත් වඩා ගතවෙලා තිබුණත් අල්ලස් කොමිසම හෝ පොලිසිය තවමත් ඒ විමර්ශනය ආරම්භ කළ බවක් දැනගන්න නැහැ. මම ඒ ගැන කිහිප වතාවක්ම ප්‍රසිද්ධියේත්, පුද්ගලිකවත් අල්ලස් කොමිසමෙන් විමසීම් කළත් මෙතෙක් ඒ විමසීම්වලට කිසිම ප්‍රතිචාරයක් ලැබිල නැහැ.

අල්ලස් කොමිසමෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙන නිසා පසුගිය ජනවාරි 14 වෙනිදා මම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඊට පස්සේ කිහිප වතාවක්ම ඒ ගැන විමසන්න ඔහුට දුරකතනයෙන් ඇමතුවත් මට ඔහු සම්බන්ධ කරගන්න හැකිවුණේ නැහැ. මම යොමු කළ ප්‍රශ්නවලට අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මෙතෙක් ලිඛිතව හෝ වාචිකව පිළිතුරක් ලැබිල නැති නිසා මම හිතුව ඒ ප්‍රශ්න ප්‍රසිද්ධ කළ යුතුයි කියල. පහත දැක්වෙන්නේ ජනවාරි 14 වෙනිදා ඔහු වෙත ඉංග්‍රීසියෙන් යොමු කළ ප්‍රශ්නවල සංක්ෂිප්ත සිංහල පරිවර්තනයක්:

    1. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ප්‍රකාර අල්ලස් කොමිසම එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය හා සම්බන්ධ දූෂණ චෝදනා ගැන විමර්ශනයක් ආරම්භ කළේද? එසේ නම්, මේ වනවිට එම විමර්ශනයේ ප්‍රගතිය කවරක්ද? අධිකරණය නියෝගය ප්‍රකාර ඔබ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැනත් විමර්ශන පවත්වන්නේද? එවැනි විමර්ශනයක් ආරම්භ නොකළේ නම්, ඒ ඇයි?

    2. මහත් ආන්දෝලනයට ලක්වූ ඊ වීසා ගණුදෙනුව සම්බන්ධයෙන අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වමින් සිටීද? එසේ නම්, එම විමර්ශනයේ ප්‍රගතිය කවරක්ද? එම විමර්ශනයට අදාලව, හිටපු අමාත්‍ය ටිරාන් අලස් ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තාද?

    3. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය කවරක් ද? අල්ලස් කොමිසම නුදුරු අනාගතයේදී අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට සැලසුම් කරන්නේ ද?

    4. ලිපිගොනු සැඟවූ බව පැවසෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරිනියකට එරෙහිව මානව හිමිකම් නීතිවේදිනී අචලා සෙනෙවිරත්න අල්ලස් කොමිසම වෙත යොමු කළ පැමිණිල්ලට අදාළ විමර්ශනයේ ප්‍රගතිය කවරක් ද?

    5. වත්මන් ජාජබ ආණ්ඩුව යටතේ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ දී බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවට මුජිබර් රහුමාන් සහ DV චානක වපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා චෝදනා කළා. එම චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වන්නේ ද?  

අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මේ ප්‍රශ්නවලට පොදු අවකාශයේ හෝ පිළිතුරක් දේවි කියල මම බලාපොරොත්තු වෙනවා.

Saroj Pathirana ෆේස්බුක් පිටුවෙනි

Archive

Latest news

Related news