වෙනසක පොරොන්දුව සහ යථාර්ථය: නායකත්වය, අලුත්වැඩියාව සහ ඉදිරි මාවත (03) – ලයනල් බෝපගේ
දේශපාලන බිඳ වැටීම (Entropy) ආපසු හැරවීම
භෞතික විද්‍යා උපමාව උපදේශාත්මක බව ඔප්පු වෙයි. බිඳ වැටීම ආපසු හරවන්නට නම් නිරන්තර ව බල ශක්තිය යෙදවීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට මෙයින් අදහස් වන්නේ විනිවිදභාවය තුළින් විශ්වාසය යලි ගොඩ නඟා ගැනීමත්, තීරණ ගැනීමේ දී සියලු දෙනා සහභාගි වීම සහතික කිරීමත්, විවිධ නායකයින් සහ අමාත්‍යාංශ හරහා ප්‍රතිපත්ති පිළිබඳ නිරවුල් අවබෝධයක් පවත්වා ගැනීමත්, මූලික පොරොන්දුවලට අදාලව ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දීමත්, ප්‍රතිපත්ති සමඟ ප්‍රායෝගිකත්වය තුලනය කිරීමත් ය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ, දේශපාලන අක්‍රමිකතාව කරා යන ස්වාභාවික ගසා ගෙන යෑම මැඩ පවත්වන්නට අවශ්‍ය සිවිල් බලය උත්පාදනය කර පවත්වා ගැනීමට NPP යට හැකි වේද යන්නයි. එයින් තොරව, ඔවුන් බලයට ගෙන ආ ගතික බලය නොකඩවා විසිරී යනු ඇත. සැබෑ ක්‍රම පද්ධති වෙනසක් පිළිබඳව වූ පොරොන්දුව ඉටු නොකර පවතිනවා ඇත.
සජීවී ව, වලංගු ව පැවතිය හැක්කේ දැක්මක් බෙදාහදා ගන්නා, සාමූහික දැනුම වර්ධනය කරන සහ නොකඩවා ඉගෙනීමේ යෙදෙන දේශපාලන සංවිධානවලට පමණකි. නායකයෝ එකිනෙකාට වර්ධනය වීමට ද, ඔවුන්ගේ විචිත්‍රත්වය ක්‍රියාවේ යොදවන්නට ද, විවෘත බවින් හා ගෞරවයෙන් යුතුව අදහස් ලබා දීමට සහ ලබා ගන්නට ද ඉඩකඩ ලබා දිය යුතුය. මෙම මූලධර්මය NPP නායකත්වය උදෙසා විශේෂ හදිසි බවක් අත් කර ගනියි. ඔවුන් දැන් ඔවුන්ගෙන් ම මූලික ප්‍රශ්නයක් ඇසිය යුතුය. පක්ෂය විය යුතු ආකාරයෙන් පැවතීම වළක්වා ලන්නේ කුමක් විසින් ද? රැක ගෙන ශක්තිමත් කළ යුතු මූලික අනන්‍යතාවය සහ අරමුණ කුමක්ද?
වඩාත්ම ඵලදායී ප්‍රවේශය වන්නේ සහභාගීත්ව පාලනයයි. ඒ සඳහා ජනතාවගේ විභවය පිළිබඳ අව්‍යාජ විශ්වාසයක් අවශ්‍ය වේ. එය, හදවතෙන් සහ මානව ධාරිතාව පිළිබඳව දරන පුද්ගලික දර්ශනයෙන් පැන නැගිය යුතුය. සහභාගීත්ව පාලනය පිළි ගන්නේ තීරණ ගැනීමේ දී බලපෑම් කිරීමට ද, එහි ප්‍රතිඵල වටහා ගැනීමට ද හැම කෙනෙකුට ම අයිතියක් හා යුතුකමක් තිබෙන බවයි. ගනු ලබන තීරණ අත්තනෝමතික හෝ රහසිගත නොවන බවත්, ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් ආවරණය කර නොමැති බවත් එයින් සහතික කරයි.
ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සැබෑ සහභාගීත්වය
සැබෑ සහභාගීත්වය සරල ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනස් වේ. අදහසක් දැක්වීම ඡන්දයක් ගැනීමට වඩා වෙනස් ය. ප්‍රබුද්ධ නායකත්වය, විවිධ වකවානුවල දී විචිත්‍ර ආකාරයන්ගෙන් නිපුණතා සහ කුසලතා ප්‍රකාශ කරන්නට ඉඩ කඩ සලසයි. මිනිසුන්ට ගරු කොට සැලකීම ආරම්භ වන්නේ ඔවුන්ගේ හැකියාවන් ගේ විවිධත්වය තේරුම් ගැනීමත් සමගිනි. මෙම වටහා ගැනීම, අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමේ තීරණාත්මක පියවර ක්‍රියාත්මක කරයි. NPP යට අදාලව, මෙයින් අදහස් වන්නේ ආධාරකරුවන්ගේ සහ පුරවැසියන්ගේ බලපෑමට නායකත්වය සැබෑ ලෙසම විවෘත වීමයි. අදහස් ඉදිරිපත් කිරීමට ආරාධනා කිරීමෙන් පසුව, ඇගයීමේ, තීරණ ගැනීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ ක්‍රියාවලීන් ගෙන් පුද්ගලයින් බැහැර කිරීම බරපතළ වැරැද්දකි.
පෝෂණය (input), ප්‍රතිචාරය සහ ප්‍රතිචාර ක්‍රියාවට නැංවීම සඳහා නිරවුල් ක්‍රම පද්ධති සමඟ සම්බන්ධකම් පැවැත්වීම් ව්‍යුහගත කළ යුතුය. මෙම ක්‍රියාවලිය සඳහා සංවිධානයේ කාලයත්, ශ්‍රමයත් වැය කරන්නට සිදු වන නමුත් එහි විකල්පය වන්නේ ගසා ගෙන යෑමත්, ජරාවාසයට පත් වීමත් ය. අනෙකුත් අය අභියෝග පමණක් දකින තැන, නායකයින් යොදා ගන්නට අවස්ථාවන් දකින යෝධයන් බවට පත් විය යුතුය. මෙම දැක්ම සඳහා අවංක හා විවෘත සන්නිවේදනය අවශ්‍ය වේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විදහා පාන අන්දමට, හොඳම සන්නිවේදනය නිකුත් වන්නේ නායකත්වයේ හැසිරීම තුළින් මයි. කෙසේ වෙතත්, පත්වීම් සහ උසස් වීම් ලබා දීමේ දී ආණ්ඩුවේ ඇතැම් තීරණ මෙම විශ්වාසය පළුදු කර ඇති බව පෙනේ. විවෘත සන්නිවේදනය විශ්වාසය ගොඩනැගීමටත්, හිඩැස් පියවීමටත්, කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමටත්, දැක්ම බෙදාහදා ගන්නටත් දායක වනු ඇත.
කෙතරම් අසම්පූර්ණ අන්දමට හෝ වේවා, ආර්ථික වශයෙන් ආරක්ෂාව නොසැපයුවහොත් අසරණ බවට පත් වන පවුල්වලට එම ආරක්ෂාව සපයා දෙන ආයතන වෙත පහර එල්ල කිරීමෙන් පමණක්, ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිණාමනය අත් කර ගත නොහැකිය. නිලධරය ආරක්ෂා කිරීම පමණක් ඉලක්කය විය නොහැකි අතර, නියාමන රාජ්‍යය පිළිබඳව සැක සංකා පවත්වා ගැනීමට ද ඉඩකඩ සැලසිය යුතු නොවේ. උපරිමයෙන් ගත් විට, ආණ්ඩුවේ නිලධරය අසමානතාවය අඩු කිරීමටත්, මිලියන ගණනාවකට සේවාවන් ලබා දීමත් සඳහා මෙවලමක් ලෙස සේවය කරයි. වාමාංශිකයින් පවතින ආයතන උපයෝගී කර ගැනීම පමණක් නොව, ඒවා පරිණාමනයට ද ලක් කළ යුතුය. ප්‍රගතිශීලී පියවරයන්ට බාධා කරන අය වෙනුවට ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවූ පුද්ගලයින් පත් කළ යුතුය.
නිලධරය තුළ කටයුතු කිරීම
මේ සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්ති සකස් කරන, විශ්ලේෂණය කරන සහ ක්‍රියාත්මක කරන අන්දම පිළිබඳ සියුම් අවබෝධයක් සහිත දේශපාලනඥයින්, උපදේශකයින්, නිලධාරීන් සහ කාර්ය මණ්ඩල අවශ්‍ය වේ. නිලධරය තුළ සුපරීක්ෂාකාරී ව කටයුතු කිරීමෙන් ජනතාවට ප්‍රතිලාභ සහ අවශ්‍ය සේවාවන් ලබා දිය හැකි ලීවරනය කල හැකි ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. එසේ කටයුතු කිරීම, ගන්නා විවිධ ප්‍රවේශ තුළ දී ඊට අදාළ අතරමග සමාදානයන් හෙළි කරයි. යහචේතනාවෙන් යුක්ත ව නමුත් හොඳින් සකස් නොකල ප්‍රතිපත්ති මුලපිරීම් විසින් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කිරීම වළකන්නට ද උපකාරී වේ.
බලයට පත් වීමට පෙර, 2010 සිට ඇතැම් අනුග්‍රාහකයින් එක් එක් අමාත්‍යාංශයට අදාළ කරුණු අධ්‍යයනය කිරීම සඳහා ඡායා කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්නා ලෙස NPP යෙන් ඉල්ලා සිටියහ. මෙම උපදෙසට සවන් දුන්නේ නම්, ආණ්ඩුවට නිලධරය මට්ටමින් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා මේ වන විට වඩා හොඳින් ස්ථාන ගතව සිටිනවා ඇත. එවැනි සූදානමක් පැවතුණේ නම් තීරණාත්මක පළමු වසර තුළ, නියමිත වේලාවට සහ වැඩි ඵලදායිතාවකින් යුක්ත ව වඩා උසස් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ සහ අවස්ථාව ලබා ගත හැකිව තිබුණේය. සීමිත කාලයක් තුල සහ පටු දෝෂ සීමා සහිතව දැන් වුවද, ආණ්ඩුකරණ යාන්ත්‍රණ අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය ව පවතී.
අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, බලශක්ති, කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍රවලට, අදාළ ගැටළු සැබවින්ම තේරුම් ගන්නා සහ ඒවා ඵලදායීව හා කාර්යක්ෂම ලෙස විසඳීම සඳහා අව්‍යාජ කැපවීමකින් යුත් පුද්ගලයින් අවශ්‍ය වේ. දේශපාලන ගතික බලය ඇති වන්නේ සංවිධානය කුමක් විය යුතුද යන්න පිළිබඳ නිරවුල් දැක්මකින් ද, එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳින් සිතා බලා සකස් කරන ලද උපාය මාර්ගයකින් ද, හැම දෙනාටම එකමුතුව සහභාගී වීමට සහ ප්‍රසිද්ධියේ වග වීමට හැකි වන පරිදි ප්‍රවේසමෙන් හිතාමතා සැලසුම් කරන ලද හා සන්නිවේදනය කරන ලද උපදේශනයන් ද මගිනි.
නායකත්වය සහ තිරසාර ගතික බලය (Momentum)
දේශපාලන විරුද්ධවාදීන් නිර්මාණය කල ඒවා ද ඇතුළුව ක්ෂණික වගකීම් ඉටු කරන අතරම නායකත්වය, අනාගතය වෙත බොහෝ සෙයින් ණයගැති වේ. සංවර්ධනය සඳහා දැඩි ලෙස කැප වී සිටින සහ අවස්ථාවන් හඳුනා ගෙන ඒවා ග්‍රහණය කර ගන්නා දක්ෂ නායකත්ව සහ කළමනාකරණ කණ්ඩායම්වලට පමණක් ගතික බලය ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකිය. ගතික බලය සඳහා යහපත් අභිප්‍රායයන්ට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ඒ සඳහා, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අතර වෙනස හඳුනා ගැනීමට තරම් විනයක්, හුදෙක් තනතුරු පුරවනවාට වඩා පුද්ගලයන් විනිශ්චය කිරීමට තරම් ප්‍රඥාවක් සහ දේශපාලන වශයෙන් අපහසුතාවයට පත් වූ විට පවා නිරවුල සහ ශිෂ්ටත්වය රකින්නට තරම් ධෛර්යයක් අවශ්‍ය කරයි.
ජීවමාන, තිරසාර සංවිධානයක් විසින් ප්‍රතිපත්ති, අදහස්, පුද්ගලයින් සහ පවුල් ඉවතට විසි කර දැමීමේ මානසිකත්වයක් නොදරයි. එය ජනයාගේ ප්‍රතාපවත් බවට ගරු කරයි; නායකත්වයේ සරල බව වැළඳ ගනියි; සහ එකිනෙකාට සේවය කිරීමේ වගකීම හඳුනා ගනියි. නායකයෙකු වීම යන්නෙන් අදහස් වන්නේ, නායකයන්ට නායකත්වය සැපයීමට ඉඩකඩ ලබා දෙන අයගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කර ලන්නට අවස්ථාව ලැබීමයි. NPP යට දේශපාලන බිඳ වැටීම ආපසු හැරවීම සඳහා, බලය පවතින්නේ තමන්ගේම යහපත සඳහා නොව, අන් අයට ඔවුන්ගේ පුද්ගලික සහ ආයතනික යන දෙඅංශයෙන්ම සම්පූර්ණ විභවය අත්පත් කර ගත හැකි වන පරිදි කටයුතු කිරීමට ය යන මෙම මූලික අවබෝධය කරා යළි ප්‍රවේශ වීම අවශ්‍ය වේ.
ආණ්ඩුවේ අනාගතය රඳා පවතින්නේ ක්‍රම පද්ධතියට ශක්තිය, නිපුණතාව සහ බෙදාහදා ගත් අරමුණ යන අන්දමින් නොකඩවා ශක්තිය, විශ්වාසය, සහභාගීත්වය කා වැද්දීමට හැකි වේද යන්න මතය. මෙම නිරන්තර අලුත්වැඩියාවෙන් තොරව, තාපගති විද්‍යාවේ දෙවන නියමය අනිවාර්ය නිගමනයක් යෝජනා කරයි. ක්‍රම පද්ධතිය අපිළිවෙළ කරා ඇදී යනු ඇත. පරිණාමනය පිළිබඳ පොරොන්දුව දේශපාලනික ක්ෂය වීමේ හුරුපුරුදු රටාවන් තුළට දිය වී යනු ඇත.
නායකත්වය දරන බර
NPP යේ බොහෝ නායකයන් අධික වැඩ බරෙන් පෙළෙමින් නිදි නැතිව රෑ යම ගත කරන බව පෙනේ. ඔවුහු ප්‍රමාණවත් තරම් දක්ෂ, වගකිවයුතු, බුද්ධිමත් සහ ඉගෙනීමට සූදානම් අය වෙති. කරන්නට සහ රැක බලා ගන්නට බොහෝ දේ සේම, ඔවුන්ට අවදියෙන් සිටිය යුතු හා ප්‍රවේසම් විය යුතු බොහෝ දේ ද ඇත. එහෙයින්, අධික පීඩනයක් සහ වැඩ ප්‍රමාණයක් දරා සිටින ඔව්හු, ඔවුන්ට කළ හැකි හැම දෙයක් ම කරනවා ඇත. එහෙත් යම් අඩුවක් එහි ඇති බව දකින්නට තිබේ.
කරුණු වඩා දුෂ්කර වන විට, ඔවුන් තමන්වම තව තවත් වෙහෙසට පත් කර ගන්නා බව පෙනේ. මෙය යම් කාලයක් සඳහා ක්‍රියාත්මක විය හැකි නමුත්, එය සැම විටම ක්‍රියාත්මක නොවනු ඇත. එක්තරා අවස්ථාවක දී, වැඩි පීඩනයක් දරා ගැනීම සහ උත්සාහ කිරීම මගින් ඔවුන් සාක්ෂාත් කර ගැනීමට කැමති යමක් වේ නම්, එය සාක්ෂාත් කර ගැනීම සඳහා එසේ කිරීම දායක නොවනු ඇත. ඒ ඔවුන්ට අධ්‍යාපනය අතින් හෝ අත්දැකීම් තුළින් ලබා ගත් කුසලතා නොමැති නිසා නොවේ. ඒ ඔවුන් කේඩර පක්ෂයක් තුළ වැඩ කළ ආකාරයට ම, එම වැඩ රටාවට ම යොමු වන නිසාවෙන් විය හැකිය.
ඔවුන්ට පවතින්නට අවශ්‍ය නම් ඔවුන් සිතන හා වැඩ කරන ආකාරය වෙනස් කළ යුතුව ඇත. පක්ෂය තුළ ඔවුන්ගේ වැඩ රටා සකස් කර ඇත්තේ වෙනස් මට්ටමේ පීඩනයකට මුහුණ දීම සඳහා ය. අප දන්නා පරිදි, සමාන තත්වයන් හේතුවෙන් ව්‍යාපාර ලෝකයේ ද, පුද්ගලයන් දැවී යාම සිදු වේ. නායකයින් දැවී යාමට ආසන්නව සිටින විට, අසමත් වන්නේ උපාය මාර්ගය නොවේ. ඒ ඔවුන්ගේ ස්නායු පද්ධතියට අධික පීඩනයට මුහුණ දීමට ඇති නොහැකියාවයි.
ශ්‍රී ලංකාවේ නායකත්වය හමුවේ පවතින තේරීම වන්නේ දේශපාලන බිඳ වැටීමේ ඉරණම පිළි ගන්නවා ද, නැතහොත් සැබෑ වෙනසක් පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය සිවිල් ශක්තිය එක්රැස් කර ගන්නවා ද යන්නයි.
දැවී යාම හඳුනා ගැනීම සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම
“ක්‍රම පද්ධති වෙනස” ඉටු කරන්නට පවතින සැලකිය යුතු පීඩනය විසින්, ආණ්ඩුව ආර්ථික කළමනාකරණ ගැටළු සමඟ මැතිවරණ පොරොන්දු ද හැසිරවීමේ දී, නායකත්ව වෙනස්කම් කරන්නට තුඩු දී ඇති බව පෙනේ. එහි පළමු වසර තුළ, ආණ්ඩුව “නව ආරම්භයක” පොරොන්දු විය. එහෙත්, විශ්වසනීයත්වය ඉහළට එසවීම සඳහා නායකත්ව සැකසීමක් අවශ්‍ය කල දේශපාලන අභියෝගවලට එය මුහුණ දුන්නේය. ඉල්ලා අස්වීම් කිහිපයක් සිදු වූයේය. විශේෂයෙන් එක් ඉල්ලා අස්වීමක්, හිටපු කථානායකවරයාගේ ආචාර්ය උපාධි ප්‍රකාශන හා සම්බන්ධ විෂමාචාර චෝදනාවලට අදාළ ව විය. ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආධිපත්‍යය තහවුරු කිරීමත්, ප්‍රතිසංස්කරණ නීතිගත කිරීමත්, පරිපාලන ප්‍රතිසංවිධාන තුළින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමත් කෙරෙහි ය.
අනුමාන තිබුනේ වුවද, දැවී යාම හෝ අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් ඉල්ලා අස්වීම් සිදු වූ බවට විශ්වාස කළ හැකි සලකුණක් නැත. කාලය ඉකුත් වීමත් සමඟ මෙය වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, එවන් ලකුණු දකින්නට ඇත. නායකයින් බොහෝ විට තමන් මානසික ව අත්විඳින දේ සඟවන අතර, දැවී යාම් සිදු වන විට කිසිවෙක් ඒවා නොදකිනු ඇත. එවැනි තත්වයන් යටතේ, ආවේගාත්මක විඩාපත් වීම විසින් අධික ලෙස පාලනය කරන්නට, ජනයා මඟ හැරීමට සහ සන්නිවේදනය අඩු කිරීමට මං පාදයි. ආණ්ඩුවේ ඇතමෙක් දැනටමත් මෙම සලකුණු පෙන්නුම් කරන බව පෙනේ. ඔවුහු දිගටම කටයුතු කරන නමුත්, එසේ කරන්නේ තමන්ට ම, ආණ්ඩුවට, පක්ෂයට, සභාගයට සහ සමාජයට හානි පමුණුවමිනි. මොළය ත් ශරීරය ත් අතර පවතින ගැඹුරු සම්බන්ධතාවය තීරණාත්මක වන්නේ මෙහි දී ය. නායකත්වය තිරසාර වීමට නම්, නායකයන් පීඩනය, අධිකාරය සහ ගැටුම් හමුවේ තමන් හා එකිනෙකා අතර සම්බන්ධතා පවත්වන ආකාරය වෙනස් කළ යුතුය.
නිගමනය: ශ්‍රී ලංකාව හමුවේ ඇති තේරීම
ශ්‍රී ලංකාවේ නායකත්වය හමුවේ පවතින තේරීම වන්නේ දේශපාලන බිඳ වැටීමේ ඉරණම පිළි ගන්නවා ද, නැතහොත් සැබෑ වෙනසක් පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය සිවිල් ශක්තිය එක්රැස් කර ගන්නවා ද යන්නයි. මේ සඳහා පරිපාලන නිපුණතාව සහ ප්‍රතිපත්තිමය විශේෂඥතාවට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. එය ඉල්ලා සිටින්නේ නායකයන් බලය සමඟ, එකිනෙකා සමඟ, සහ ඔවුන් සේවය කරන පුරවැසියන් සමඟ සම්බන්ධ වන ආකාරයේ මූලික වෙනසකි. NPP ය විරුද්ධ පක්ෂයක් කටයුතු කරන අන්දමේ රටාවලින් ඔබ්බට ගොස්, පරිණාමනීය පාලනය සඳහා අවශ්‍ය අන්දමේ සහයෝගී, ඇතුළත් කර ගන්නා සහ ඔරොත්තු දී සිටින ප්‍රවේශයන් වැළඳ ගත යුතු වේ.
ක්‍රම පද්ධතියේ වෙනසක් පිළිබඳ පොරොන්දුව තවමත් සාක්ෂාත් කර ගත හැකි නමුත් එසේ කල හැක්කේ ආණ්ඩුවට දේශපාලන ආයතන වෙත නොකඩවා බලශක්තිය යෙදවීම පවත්වා ගත හැකි නම් පමණි. මෙයින් අදහස් වන්නේ බිඳ වැටී ඇති විශ්වාසය යලි ගොඩ නැංවීම, තීරණ ගැනීමේ දී සැබෑ සහභාගිත්වය සහතික කිරීම, පුරවැසියන්ගේ ජීවිතවලට දැනෙන අන්දමේ දියුණුවක් ලබා දීම, සහ ප්‍රතිසංස්කරණවලට එරෙහිව මුල් බැස ගත් ඵල ප්‍රයෝජනවලට මුහුණ දීමයි. ඊට අමතරව, එයින් අදහස් වන්නේ නායකයින්ගේ මානුෂික සීමාවන් හඳුනා ගැනීමත්, තනි පුද්ගලයන්ගේ වීර කම් මත නොව සාමූහික ධාරිතාව සහ බෙදාහදා ගත් අරමුණු මත රඳා පවතින තිරසාර පද්ධති ගොඩනැගීමත් ය.
කාලය ගෙවී යමින් ඇත. බිඳ වැටීම කිසිවෙක් බලාපොරොත්තුවෙන් නතරව නොසිටී. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට සිය පරිණාමනීය වරම ඉටු කළ හැකි වේද යන්න රඳා පවතින්නේ එහි පොරොන්දු කෙතරම් එඩිතර ඒවා ද යන්න මත නොව, එය දරන උත්සාහයන් හි පවතින තිරසාර බව, එය ගන්නා ප්‍රවේශයේ පවතින ඇතුළත් කර ගන්නා බව, සහ එහි නායකත්වය සතු ඔරොත්තු දීමේ හැකියාව මත යි. 2024 වසරේ ගතික බලය හුදෙක් බලාපොරොත්තුවේ ක්ෂණික නිමේෂයක් වූයේ ද නැතහොත් සැබෑ ක්‍රම පද්ධතික පරිණාමනයක ආරම්භයක් වන්නේද යන්න ඉදිරි වසරවල දී හෙළි වනු ඇත.
දරිද්‍රතාවය, අනාරක්ෂිත බව සහ බලාපොරොත්තු සුන් වීම සමඟ තවමත් අරගල කරන මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්, කෙනෙකුට බලාපොරොත්තු විය හැක්කේ එය, සැබෑ ක්‍රම පද්ධතික පරිණාමනයක ආරම්භයක් පමණක් වනු ඇති බවයි.
අවසානයි
2026 පෙබරවාරි තුන් වන දා