පුස්තකාල ඡායාරුපයකි.
කොටහේන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු කාක දූපතේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාලව ශ්‍රී ලංකා පොලිසියෙන් කළ තොරතුරු ඉල්ලීමක අභියාචනා විභාගයේදී, එම සිද්ධියට අදාලවම පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වගඋත්තකාර පොලිස් නිලධාරියා පොලිසිය වෙනුවෙන් පෙනී සිටින බව අඟවමින් පෞද්ගලික නීතිඥයකු සමග තොරතුරු කොමිසම ඉදිරියේ පෙනී සිට තොරතුර ලබාදීමට බාධා කර ඇතයි වාර්තාවේ. එලෙස එම නිලධාරියාට පොලිස්පති වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට අවස්ථාව දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුටත් එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස සමාජය හා සාමයික කේන්ද්‍රය (Center for Society and Religion -CSR) තොරතුරු කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ
මෙම ක්‍රියාව අනීතික මෙන්ම තොරතුරු නීතිය හෑල්ලුවට ලක් කිරීීමක් බව දේශපාලන අංශ පෙන්වා දෙති. මෙම සිදුවීම පොලිසියේ අනීතික සහ අයුතු පියවරයන්හි දිගුවක් බවත් එම අංශ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු නිලධාරී වන්නේ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන් හා අධ්‍යක්ෂවරුන්ගෙන් ඉහළ නිලධාරීන් බවත්, තොරතුරු ලබාදීමේදී කිසිවකුගෙන් උපදෙස් නොගෙන තොරතුරු නිලධාරී සිතා බලා තීන්දු ගත යුත බවට පොලිස්පති විසින් චක්‍රලේඛ නිකුත් කර ඇති බවත් සමාජය හා සාමයික කේන්ද්‍රය සඳහන් කරයි.
එසේ තිබියදී එම චක්‍රලේඛ සහ තොරතුරු පනතද උල්ලංඝනය කරමින් තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම සඳහා කොටහේන පොලිසිය අයත් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කොටහේන පොලිස් ස්ථානාධිපතිට අවස්ථාව ලබා දී ඇති බවත් සමාජය හා සාමයික කේන්ද්‍රය තොරතුරු කොමිසමට දැනුම් දී ඇත.
එලෙස දැනුම් දුන් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා එම සිද්ධියයෙන් මරණයට පත්වූවකුගේ පියකු පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවකු බව ද, නීතිපතිවරයා පවා ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බවට දැනුම් දී ඇති බවද, සැකකරුවන් ඝාතන සිද්ධිය ගැන එම ස්ථානාධිපති ඇතුළු 06 දෙනකුට එරෙහිව විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇති බව ද සමාජය හා සාමයික කේන්ද්‍රය තවදුරටත් සඳහන් කරයි.
එසේ තිබියදී තොරතුරු කොමිසමේ අභියාචනා විභාගයට අදාලව තොරතුරු කොමිසම සමඟ සන්නිවේදනය කළ යුතු පොලිස්පතිවරයා සහ තොරතුරු නිලධාරීවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙනුවෙට මෙම කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා අභියාචනයට අදලව ලිඛිත දැනුම්දීම් කර ඇත්තේ, තොරතුරු ලබාදීම පමා කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස පෞද්ගලික නීති උපදෙස් ලබා ගැනීමක් සඳහන් කරමිනි.
තොරතුරු කොමිසමේ අභියාචනා අවස්ථාවලදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටින බවට අත්සන් කරමින් කොමිසම ඉදිරියේ පෙනී සිට ඇත්තේ මූලික අයිතිවාසිකම් නඩුවේදී එම ස්ථානාධිපති වෙනුවෙන් පෙනී සිටින පෞද්ගලික නීතිඥයාය. මෙය බරලතල නොමග යැවීමක් බවත් සමාජය හා සාමයික කේන්ද්‍රය තොරතුරු කොමිසමට දැනුම් දී තිබේ.
කොටහේන පොලිසියේ ස්ථානාධිපතිගේ සහ කොටහේන පොලිසිය බාර කොට්ඨාස භාර නිලධාරියාගේ හැසිරීම පොලිස්පතිගේ චක්‍රලේඛ උල්ලංගණය කිරීමක්, තොරතුරු පනත උල්ලංඝනය කිරීමක් මෙන්ම දූෂණ විරෝධී පනතේ දූෂණය නම් වරද සංස්ථාපනය වීමක් බව ද අභියාචනා විභාගයේදී තොරතුරු කොමිසමට දැනුම් දුන් සමාජ සහ සාමයික කේන්ද්‍රය, මේ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව මෙම ළබැඳියාවන් පිළිබඳ ගැටුම ගැන ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කළ තොරතුරු කොමිසම ඉදිරි අභියාචනා විභායේදී කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර තිබේ.
(තරිඳු ජයවර්ධණ වටස්ඇප් ඔස්සේ බෙදා ගත් සටහනක් ඇසුරිණි.)

