ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අභියෝගයට ලක් කරමින් මර්දනකාරී නීති ගෙන ඒම පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රකාශනය සදහා වූ සාමූහිකය (CSMD) දැඩි විරෝධය
ජාතික ජන බලවේග ආණ්ඩුව (NPP) විසින් අලුතින් හඳුන්වා දීමට උත්සාහ කරන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්බන්ධයෙන් පැන නැගී ඇති මූලික ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමේදී, එය පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් වන ප්‍රකාශනයේ නිදහස ඇතුලු අයිතිවාසිකම් දැඩි ලෙස අඩපණ කරන මෙවලමක් බවට පත්වීමේ බරපතල අනතුරක් පවතින බව අපි පෙන්වා දෙමු.
– ‘ත්‍රස්තවාදය’යන්න අපැහැදිලි ලෙස අර්ථ දැක්වීම: PSTA පනත් කෙටුම්පත තුළ ත්‍රස්තවාදය යන්නට ලබා දී ඇති නිර්වචනය අතිශය පුළුල් සහ අපැහැදිලි ය. රජයේ ක්‍රියාකලාපයන් විවේචනය කිරීම, සාමකාමී විරෝධතාවල නිරත වීම හෝ පාලකයන්ට අප්‍රසන්න/ අකමැති අදහස් පළ කිරීම පවා “රජයට එරෙහිව ජනතාව පොළඹවන” හෝ “රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන” ක්‍රියාවන් ලෙස අර්ථකථනය කිරීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසේ.
– මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඉලක්ක කිරීම: තොරතුරු වාර්තා කිරීමේදී සහ මහජන මතය ගොඩනැගීමේදී මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ට මෙම පනත යටතේ දැඩි පීඩනයක් එල්ල විය හැකිය. “ත්‍රස්තවාදයට අනුබල දීම” යන ලේබලය යටතේ ඕනෑම විවේචනාත්මක වාර්තාකරණයක් නීතියේ දැලට හසුකර ගැනීමට බලධාරීන්ට හැකි වීම නිසා මාධ්‍ය නිදහස අඩපණ කරන මෙන්ම ස්වයං-වාරණය/‘භීතියේ සෙවනැලි’(Chilling Effect) රජයන යුගයක් නිර්මාණය වනු ඇත.
– අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්: අදහසක් ප්‍රකාශ කළ පමණින් හෝ රජයට පටහැනි මතයක් දැරූ පමණින්, දීර්ඝ කාලයක් පුද්ගලයන් රඳවා තබා ගැනීමට ඇති හැකියාව පුරවැසියාගේ හඬ යටපත් කිරීමේ මර්දනකාරී අවියක් ලෙස භාවිත වනු ඇත. මෙය භීෂණය පදනම් කරගත් නිහඬ සමාජයක් බිහිකිරීමට දරන උත්සාහයක් ලෙස අපි විශ්වාස කරමු.
– ඩිජිටල් අවකාශය සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය වීම: අන්තර්ජාලය සහ ඩිජිටල් අවකාශය තුළ සන්නිවේදනය දැඩි ලෙස නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට පනතින් ලබා දෙන බලතල මගින්, පුද්ගලයන්ගේ සන්නිවේදන අයිතිය අහිමි වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයකට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා දමයි.
එබැවින්, ජාතික ආරක්ෂාව යනු ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මරා දැමීම සඳහා භාවිතා කරන ‘හිස් චෙක් පතක්’ නොවිය යුතුය. එබැවින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි සහ පුරවැසියාගේ හඬ යටපත් කරන මෙම PSTA පනත් කෙටුම්පත වහාම හකුලා ගන්නා ලෙස අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට බල කර සිටිමු.
නිදහස් මතයන් යටපත් කිරීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, එයින් සිදුවන්නේ සමාජය අස්ථාවර වීම සහ ඒකාධිපතිවාදයට මඟ පෑදීම බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු.
සම්පත් සමරකෝන්
(කැදවුම්කරු) සමාජ මාධ්‍ය ප්‍රකාශනය සදහා වූ සාමූහිකය (CSMD) +94 777 248304
මාධ්‍ය නිවේදනය – දිනය: 2025 දෙසැම්බර් 22
ABOUT CSMD:සමාජ මාධ්‍ය ප්‍රකාශන සාමූහිකය යනු සිවිල් සමාජ සංවිධාන, පුරවැසි ක්‍රියාකාරීන්, වෙබ් අඩවි සහ විෂය කරුණු පිළිබඳ විශේෂඥයින් විසින් පිහිටුවන ලද සන්ධානයක් වන අතර, එහි අරමුණ වන්නේ ‘මානව හිමිකම් පදනම් කරගත්, සමාජීය වශයෙන් වගකිවයුතු සමාජ මාධ්‍ය භාවිතයක්’ ප්‍රවර්ධනය කිරීමයි. මෙම සාමූහිකය ඩිජිටල් අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ඉදිරියට ගෙනයාමට සහ පර්යේෂණ, උපදේශනය, පුහුණුව, දැනුවත් කිරීම සහ විවේචනාත්මක විමසීම් හරහා මාර්ගගත අන්තර්ගතයන් ක්‍රමානුකූලව විශ්ලේෂණය කිරීමට කැපවී සිටී. අන්තර්ජාල නිදහස, විනිවිදභාවය-විවෘතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත පදනම් වූ මාර්ගගත අවකාශයන්හි ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව පෝෂණය කිරීමට සහ තිරසාර ලෙස ප්‍රවර්ධනය කිරීමට එය අඛණ්ඩව උත්සාහ කරයි. මේ ආකාරයෙන්, තාක්ෂණයේ බලපෑම තුළින් සමාජ යහපැවැත්ම සහතික කිරීමට සහ ඩිජිටල් යුගයේ සමාජ මාධ්‍යවල වගකිවයුතු, සදාචාරාත්මක භාවිතය වර්ධනය කිරීම දිරිමත් කිරීමට සාමූහිකය කැපවී සිටී.
පහත සඳහන් සංවිධාන මෙම සාමූහිකයට අයත් වේ.
Sri Lanka Working Journalists Association | Jaffna Press Club | Eastern Provinces Journalists forum | Centre for Policy Alternatives | Sri lanka Muslim Media Forum | Human Elevation Organization | Low & Society Trust | SARVODAYA Shramadana Movement | Movement for Land and Agricultural Reform | ActNow Youth Campaign | Wedabima Media collective | National Collaboration Development | Foundation Best Vision foundation | Internet Media Action | maatram.org | vikalpa.org|groundviews.org | minormatters.org

