Tuesday, December 23, 2025

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් ලබා දිය යුතුයි – සුජීව සෙනරත්

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව දිග්ගැසෙමින් පවතනවා මිස ඔවුනට ආරක්ෂාවක් හෝ ප්‍රතිපත්ති මාලාවක් ගොඩනඟා ගැනීමට වගකීම්සහගත පුරවැසියන් ලෙස අපට තවමත් හැකියාවක් ලැබී නැත.

ලිංගික ශ්‍රමය සදාචාර විරෝධී කටයුත්තක් බව අපේ සමාජය තුළ කිඳා බැස ඇති ආකල්පයයි. විශේෂයෙන් ආගමික සංස්ථාව විසින් මෙය සංස්කෘතික හා සමාජ විරෝධී, අශිෂ්ට, පහත් රැකියාවක් ලෙස සමාජයේ මතයක් ගොඩනගා ඇත. ආගම විසින් සමාජය තුළ ඇති කර තිබෙන සමාජ විරෝධී ලේබලය තව දුරටත් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට දේශපාලන අධිකාරය කටයුතු කරමින් තිබෙන්නේ එසේ කිරීම තුළින් ඔවුන්ට දේශපාලනිකව විශාල ප්‍රතිලාබයක් ලැබන බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.

නමුත් මැතිවරණ ආසන්නයේ දී ලිංගික ශ්‍රමය හා සම්බන්ද නීතිමය තත්වයන් පිළිබඳ සහ ඒ කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් කළ යුතු බවට සමාජය තුළ සාකච්ඡාවක් ආරම්භ කරමින් උනන්දුවෙන් කටයුතු කළද මැතිවරණය අවසන් වූ විට එම සාකච්ඡාව අවසන් වී නැවත ලිංගික ශ්‍රමය නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාවක් බවට පත් වන්නට ඉඩ හරියි.

ශ්‍රී ලංකාවේ අර්බූද උත්සන්න වන විට ජීවත් වීමට සිරුර විකිනිමට සිදුවේ.

1977 දී ජේ. ආර්. ජයවර්ධන මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීම තුළ වෙළඳපොළ ප්‍රසාරණය වීමත් සමග ලිංගික ශ‍්‍රමයද සැලකිය මට්ටමින් ප්‍රසාරණය වීම කැපී පෙණෙන ලක්ෂණයකි. ඉන් පසු ක්‍රමිකව විවෘත වෙළඳ පොළත් සමග ආර්ථිකය විවිධ මාවත් තුළ ගමන් කරමින් සේවා අංශය විශාල ලෙස පුළුල් වීමක් සිදුවිය. එහිදි ලිංගික ශ්‍රමිකයින්ගේ සේවා ඉල්ලුම ද ඉහළ ගියේය. නමුත් ඊට සාපේක්ෂව ඔවුන්ගේ ශ්‍රමයට, වෘත්තියට තිබූ පිළිගැනීමේ සාධනීය වෙනස්කමක් ඇති වූ බවක් පෙනෙන්නට නැත.

ශ්‍රමිකයින් හැටියට සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙමින් පැවතියද සාපේක්ෂව ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නොයාමට සමාජ පිළිගැනීමක් නොමැති වීම එක් සාධකයක් වී තිබේ.

විශේෂයෙන් තමන්ගේ සේවා ක්ෂේත්‍රය තුළ කේවෙල් කිරීම මගින් තමන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට නම් වෘත්තීයමය වශයෙන් සංවිධානය වීම අවශ්‍ය වුවත් එසේ සංවිධානය වීමට නොහැකි වීම සඳහා මේ සමාජ පිළිගැනීමක් නොමැති වීම ගැටළුවක් වී තිබේ.

සංවිධානය වූ කම්කරුවන්ට වැඩි වැටුප්, නිවාඩු, අතිකාල දීමනා, ගමන් පහසුකම්, මාතෘ නිවාඩු, සෞඛ්‍ය පහසුකම් ආදී ස්වකීය සේවා කොන්දේසි වෙනුවෙන් අරගල කිරීමට අවස්ථාව තිබෙනවා සේම අපේ රටේ ලිංගික ශ්‍රමිකයින්ටද ඒ අවස්ථාව ලබා ගැනීමේ වුවමණාව දැඩිව පවතී. එය රජයට බරක් නොවී තමන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට අවශ්‍ය වන්නේ ආරක්ෂක වටපිටාවයි. නිෂ්චිත හාම්පුතෙකු නැති වුවද අවිධිමත් ක්ෂේත්‍රයක් වශයෙන් ඔවුන්ට සංවිධානය වීමට ශක්තියක් වීම මේ පිළිබඳ අවධානය යොමුකර සිටින සියලු සිවිල් සංවිධානවල යුතුකමකි. රජයේ වගකීමකි.

සංචාරක කර්මාන්තය මෙරටට විදේශ විනිමය ගලා එන එක් ක්ෂේත්‍රයකි. පැවති සෑම රජයක් වාගේම පවතින රජයද සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් සිටී. ඒ වාගේම විශාල මුදලක්ද වියදම් කරයි. සංචාරකයින්ට නවාතැන් සැපයිම, පරිසරය හා ඓතිහාසික ස්ථාන නැරඹීමට පහසුකම් සැලසීම වාගේම කැසීනෝ සහ රාත්‍රී සමාජ ශාලා වැනි පහසුකම් මගින්ද සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඉහළ නැන්විය හැකි බව ඇත්තකි. නමුත් දැනටමත් නිල නොවෙන මට්ටමින් සිදුවන සංචාරකයින් සඳහා ලිංගික ශ්‍රමය සැපයීම ද ප්‍රවර්ධනය කළ හැකි තත්ත්වයකි. නමුත් ලිංගික ශ්‍රම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින නීතිමය ආවරණයක් නොමැතිවීම, සංස්කෘතික බාධා සහ සමාජ පිළිගැනීමේ ගැටළු නිසා සහ වෘත්තියක් ලෙස සංවිධානය නොවීමේ තත්ත්වය තුළ ඒ අවස්ථාව රටට මග හැරී තිබේ.

පාදඩ ආඥා පනත සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය තත්ත්වයන් භාවිතා කරමින් පොලීසිය විසින් ලිංගික ශ්‍රමික පිරිස් වඩාත් පීඩාවට පත්කරමින් තිබෙන අතර ඔවුන්ගේ වෘත්තියට සමාජ පිළිගැනීමක් ලබා නොදීම සහ නීතිමය ආවරණයක් ලබා නොදීම ඊට හේතු වී තිබේ. එය මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින ඉතා කණගාටුදායක තත්ත්වයකි.

ලිංගික ශ්‍රමය සඳහා නීතිමය පදනමක් සකස් කිරීමෙන් මේ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක ඇතැම් අපරාධ, ළමා අපචාර, මානව හිමිකම් කඩවීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ තත්ත්වයන් පාලනයට හැකියාව විවර වේ. ඒ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ලිංගික ශ්‍රමිකයින් මෙහි එක් පුරකක් ලෙස සමාජයට ඒත්තු ගන්වා ඇති නිසාය.

විශේෂයෙන් කම්කරු අමාත්‍යංශය සහ මානව හිමිකම් පළිබඳ උනන්දු සිවිල් සංවිධානවලට ලිංගික ශ්‍රමික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට අවස්ථාව තිබෙන අතර, අන්තර්ජාතික සම්මුතින් සහ අන්තර්ජාතික සංවිධානවල සහයෝගය ලබාගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන් ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) නියෝජනය කරන වෘත්තීය සමිති, සේව්‍යයන් හා රජයට එක්ව මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාව ඇත.

මේ වන විට රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන ලිංගිකාශ්‍රිත රෝග අංශය වෙතින් ලිංගික ශ්‍රමිකයින් සහ ශ්‍රමිකාවන් ලියාපදිංචි කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු සිදුකරනු ලබයි. එය සාධණීය තත්ත්වයකි. විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගැනීමේ උපදේශන සේවා සැපයීම හා ප්‍රතිකාර ලබාදීම යන කරුණු පිළිබඳ ලිංගික ශ්‍රමිකයින් දැන්වත් කර ඔවුන්ව ඒ සඳහා යොමු කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු තත්වයකි. ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කළ හැක්කේ මේ සම්බන්ධයෙන් විවෘතව කටයුතු කිරීමෙන් පමණි.

ස්ටෑන්ඩ් අප් සේවක සංගමය (Standup Workers Union) ලිංගික ශ්‍රමිකයින්ගේ ගැටළු පිළිබඳ වසර ගණනාවක් තිස්සේ වැඩ කරන වෘත්තීය සමිතියකි. ලිංගික ශ්‍රමිකයින් වෘත්තීකයින් ලෙස සංවිධානය වීමේ ප්‍රමාදය පිළිබඳ එම සංගමයේ ප්‍රධාන ලේකම් අශිලා දන්දෙනිය දරන්නේ මෙවැනි අදහසකි.

නීතිඥ සේනක පෙරේරා

“ඔවුන්ට සංවිධානය වෙන්න නීතිමය වශයෙන් කිසිම බාධාවක් නෑ. නමුත් ලිංගික ශ්‍රමිකයන් අපරාධකරණයට ලක් කරලා, නොපිළිගන්නා තත්ත්වයක් ඇති කරලා, ඔවුන් සංවිධානය වෙන එක වළක්වලා තියෙනවා. මෙය නීතිමය තත්ත්වයක් නොවෙයි. සමාජයීය හා සංස්කෘතික තත්වයක්. නමුත් පවතින නීතිය ඇතුලේ ඔවුන්ට සංවිධානය විය හැකියි.

එයාල තමන් විසින්ම පැත්තකට වෙලා ඉන්න තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. අපි ලිංගික ශ්‍රමිකයන් හඳුන්වන්නේ අවිධිමත් අංශයේ සේවකයන් හැටියට, ඒ කියන්නේ සේවා සපයන්නන් හැටියට. එහෙම කණ්ඩායමකට සංවිධානය වීමේ අයිතිය, සංවිධානය වීමේ නිදහස, ඒ අවකාශය පවතින නීතිය තුළ අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. අනිකුත් අවිධිමත් අංශයේ අය සංවිධානය වෙලා තියෙනවා නම්, තවත් ස්වයං රැකියාලාභින් සංවිධානගත වෙලා තිබෙනවා නම්, ලිංගික ශ්‍රමිකයන්ට සංවිධානය වෙන්න බැරිකමක් නැහැ කියලා අපි හිතනවා.

ලිංගික ශ්‍රමිකයින්ට සංවිධානය වීමේ හැකියාවක් තියෙනවා නම්, එයාලට වෘත්තීය සමිතියක් ගොඩනගා ගැනීමේ හැකියාවක් අනිවාර්‍යයෙන්ම තිබෙනවා. ඒ වාගේම මේ වෙනකොට ඔවුන් සංවිධානය වෙලා තියෙනවා. මේ සේවකයින් විසින්ම මහ සභාවක් පවත්වලා, නිලතල සඳහා සාමාජිකයින් පත්කරගෙන, වෘත්තීය සමිතියක් පිහිටුවල තිබෙනවා. ඒ පිහිටුවපු වෘත්තීය සමිතිය සඳහා නීතිමය පිළිගැනීමක් ඇතිකර ගැනීමට කම්කරු කාර්යාලයට යාමට සූදානමින් සිටිනවා.

මෙසේ සංවිධානගතවීමෙන් ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකම් ලැබෙනවා වාගේම ඔවුන්ට ආරක්ෂාවක් ලැබෙනවා. මේ වන විට ලිංගික ශ්‍රමිකයන් බහුතරයකට තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමේ හැකියාක් නෑ. රැකියාවේ ස්වරූපය අනුවම ඔවුන් ජීවත්වන්න උත්සහ කරන්නේ ඒ දවස තුල පමණයි. ඒ නිසා ඔවුන් සංවිධානය වීම හා ඒ වෙනුවෙන් කටයුතු කිරීම ඔවුන්ගේ අනාගතයට ශක්තියක් වෙයි. ඒ හරහා තමන් වෙනුවෙන් කාලයක් වෙන්කරගෙන, විනෝදවීමට අවස්ථාවක් හිමිකර ගත හැකියි.

ඒ වගේම ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් ලබා දීමට, සමාජ පිළිගැනීමක් ලබා දීමට ජනමාධ්‍යකරුවන්ට හා මාධ්‍ය ආයතනවලට විශාල වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් වාර්තාකරණයේදී ඔවුන්ව ආරක්ෂා කරමින් ඔවුන් පිළිබඳ තොරතුරු පළකිරීමට හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ජනමාධ්‍යකරුවන්ට හා මාධ්‍ය ආයතනවලට විශාල වගකීමක් තිබෙනවා.”

නිලන්ති රාජගුරු ලිංගික ශ්‍රමිකාවියකි. තම වෘත්තීය තත්වය පිළිබඳ ඇය දරන්නේ මෙවැනි අදහසකි. (ලිංගික ශ්‍රමිකයාගේ ආරක්ෂාව සඳහා මෙය අන්වර්ත නමකි)

“අපගේ ශ්‍රමයට සරිලන මිලක් ලැබෙනවා. නමුත් අප පිළිගැනීමක් නෑ. මේ රස්සාව නිසා තමයි අපට පිළිගැනිමක් නැත්තේ. අපි මේ රස්සාව කරන හන්දා අපිව පිළිගන්නේ අර අමුතු නමින්. ඒ මතය නැති කරන්න තමා අපි මේ උත්සාහ කරන්නේ.

අපි දන්නවා ඩ්‍රයිවින් කරන කෙනෙකුට ලයිසන් එකක් දීලා තියෙනවා. ඒ ලයිසන් එක දීල තියෙන නිසා එයාට ඩ්‍රයිවින් කරන්න පුළුවන්. අපි අර විදිහට ඉන්නකොට පොලිසියෙන් ඇල්ලුවත් අපිට පෙන්නන්න දෙයක් නැහැනේ. අපේ රස්සාව කරගෙන යන්න නීතිමය තත්වයක්, ක්‍රමවේදයක් ඇති වෙනවා නම් වටිනවා. ඒක ලබාගන්න නම් අපි හැමෝම එකතු වෙලා ඒ ගැන කතා කරන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් අපිට මොකක් හරි කරන්න බැරි ඇයි කියල විමසන්න ඕනෑ. උත්සාහ කළොත් අපිට කරන්න පුළුවන් කියන එක අපි පෙන්නන්න ඕනෑ. මේකට නීතිමය තත්ත්වයක් ලබාගන්න පුළුවන් කියලා අප විශ්වාස කරනවා. මේ රස්සාව කරන අපේ ගොඩක් ඉන්නවා. අනුරාධපුරේ, යාපනේ, මඩකලපුව වගේ හැම තැනකම සංගම් තියෙනවා. ඒ හැමෝම එක් වුනා නම් අපිට මේකට දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. මේකට තියෙන බාධාව ‘නම’ තමයි. ඒ නම නිසා තමයි අපි සමාජයෙන් කොන් කරන්නේ.”

සමාජයෙන් කොන් කරන ලද ප්‍රජාවන් වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නගන, නීතිමය මැදිහත්වීම් සිදු කරන නීතිඥ සේනක පෙරේරා මේ පිළිබඳ දරන්නේ මෙවැනි ස්ථාවරයකි.

“ලිංගික සේවා සපයන්නන්ට වෘත්තිය සමිතියක් විදිහට සංවිධාන ගත වෙන්න කිසිම නීතිමය බාදාවක් නැහැ. තියෙන්නේ සදාචාරාත්මක බාදාවක් විතරයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පොලීසිය ආගම හා සදාචාරයත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා ලිංගික සේවා සපයන්නන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. පොලීසියේ ඒ මැදිහත්වීම ලිංගික සේවා සැපයීම නීති විරෝධී එකක් බව ප්‍රචලිත වීමට බලපාලා තියෙනවා. මේ වෘත්තකයන් සම්බන්ධයෙන් නෛතික පිළිගැනීමක් ඇති කරන්න කියලා පහුගිය කාලය පුරාම රජයෙන් අපි යම් ඉල්ලීම් කළා. නමුත් යම් යම් ගැටලු මතු කරමින් මේකට ඉඩකඩක් දෙන්නේ නැහැ. මම හිතන්නේ සදාචාරය නීතියට වඩා බලවත්. ඒක තමයි තියෙන ගැටලුව.

මේකට ආණ්ඩුව යම්කිසි විදිහකට මැදිහත්වීමක් කරන්න ඕනෑ. අපි දන්නා තරමින් කම්කරු දෙපාර්තමේන්තුවට එහෙම ඉල්ලීමක් තාම ගිහිල්ලත් නෑ. එහෙම ඉල්ලීමක් ගියත් යම් යම් දුෂ්කරතා ගැටලු ඇතිවෙයි.

ලංකාවේ සිවිල් සංවිධාන මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕනෑ. යම් විදිහකට කාන්තා ආයිතිවාසකම්, නැත්නම් ස්ත්‍රී /පුරුෂ සමාජභාවය පිළිබඳ අයිතිවාසිකම් කියලා තමයි සිවිල් සංවිධාන වල මැදිහත්වීමෙන් මේ සාකච්ඡාව ලංකාව පුරා යන්නේ. ඊට වඩා ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් එහෙම නැත්නම් ලිංගික ශ්‍රමිකයන්ට නෛතික පිළිගැනීමක් දෙන්න කියන ඍජුව සාකච්ඡාව තමයි ඇති වෙන්න ඕනෑ. එවැනි සංවිධාන යම්කිසි මට්ටමකට හරි මේ වගේ මතවාදයක් ඉදිරියට අරන් යන එක හොඳයි. මොකද එවැනි සාකච්ඡාවක් වුණත් ලිංගික ශ්‍රමිකයාට හෙට දිනේ තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගන්න වැදගත් වෙනවා.“

ලිංගික ශ්‍රමිකයින් ගේ පහස ලබා ගන්නා අය බොහෝය. ඊට තරාතිරමක් නැත. සමාජයේ ඇති ලිංගික ආතතිය සමනය කරන්නේ ලිංගික ශ්‍රමිකයින්ය. ඇතැම් විට ළමා අපචාර, බලහත්කාරකම් අවම වීමට ඔවුන්ගේ මැදිහත්වීම වැදගත් වනවා විය හැකිය. ඒ අර්ථයෙන් එය සමාජ මෙහවරකි.

ලිංගික ශ්‍රමිකයින්ට තම සේවා සැපයීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම සිවිල් සංවිධානවල, සමාජයේ හා රජයේ වගකිමක් වුවත් ඔවුන්ගේ අයීතින් වෙනුවෙන් කතා කරන, පෙනී සිටින සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන් ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙනි. කතාවට පමණක් සීමා නොවී ඔවුන්ගේ අයීතින් වෙනුවෙන් ඉදිරිය පැමිණ, ඔවුන්ගේ අයිතිය ලබාදීමට කටයුතු කිරීම විද්වතුන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති හා රජයේ වගකීමකි. ඒ ලිංගික ශ්‍රමිකයින් කාටත් බරක් නොවී තම ශ්‍රමයෙන් අවංකව ජීවත් වීමට උත්සාහ දරනා ශ්‍රමිකයින් පිරිසක් වන නිසාය.

Archive

Latest news

Related news