Tuesday, December 23, 2025

වත්මන් හදිසි නීතිය හා  ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුම – ජයදේව උයන්ගොඩ

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළත වැඩ කරන ආණ්ඩුවක් හදිසි නීතිය පැනවීම සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගොඩනැගෙන විවේචනයේ අංග කිහිපයක් තිබේ. ඒවා මෙසේ සාරාංශ කළ හැකිය.‍

හදිසි නීතිය, පුරවැසියාගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන සාමාන්‍ය නීති අත්හිටුවයි. අති විශේෂ  නීති (ෑංැචඑසදබ්ක ඛ්අි) යනුවෙන් හදිසි නීති හඳුන්වනු ලබන්නේද ඒ නිසාය. පුරවැසියන්ගේ නිදහස සහ අයිතිවාසිකම් අරක්ෂා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සමහර මූලික අයිතිවාසිකම්වල රැකවරණ නොසලකා හැරීමට ඒ මගින් ආණ්ඩුවට බලය තිබේ.

හදිසි නීති තත්වයක් ප්‍රජාතන්ත්‍රවාදය මග ගැටීම ආරම්භ වන්නේ ඉහත කී කරුණත් හා සමගය. පුද්ගලයන් හදිසි නීතියෙන් අනීතික කර ඇති ක්‍රියාවන් සිදුකිරීමේ සැකය මත අත්අඩංගුවට ගැනීම, සාමාන්‍ය නීතියෙන් ඉඩ ලැබෙන කාලයකට වැඩි කාලයක් ඔවුන් අත්අඩංගුවේ රඳවා ගෙන තබා ගැනීම, එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ උසාවියකට ඉදිරිපත් කරනු ලැබීමේ අයිතිය අත්හිටුවනු සහ ඇතැම් අවස්ථාවල ප්‍රතික්ෂේප කරනු ලැබීම, එසේ පසුබෑමට පත්වන පත්වන පුරවැසි මෙන්ම පුද්ගල අයිතිවාසිකම්ය.

සාමාන්‍යයෙන් හදිසි නීති තත්වයක් යටතේ බරපතළ බැටකෑම්වලට පාත්‍ර වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නැතහොත් භාෂණයේ අයිතිය, පුවත්පත් නිදහස, රැ ස්වීම් පැවැත්වීමේ අයිතිය, සහ විසම්මුතියේ, එනම් ආණ්ඩුවේ අදහස්වලට පටහැණි සහ ඒවා ප්‍රශ්න කරන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි. පසුගිය කාලයේ ලංකාවේ පැවති සෑම ආණ්ඩුවක් යටතේම පැවැති හදිසි නීති තත්වයන් යටතේ භාෂණයේ සහ පුවත්පත්/ මාධ්‍ය නිදහස සීමා වීමෙන් මෙම අනතුර ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නිරන්තරයෙන් පැවැති තර්ජනයක් බව අප මතක් කරගත යුතුය.

ව්‍යවස්ථාදායකය සහ සමහර විට අධිකරණයද අබිබවා විධායකයේ බලය ඉහළට පැමිණීම, හදිසි නීති තත්වයක් යටතේ, ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවිය හැකි අනෙක් අනතුරයි. මෙයද 1970 ගණන්වල සිට දශක ගණනාවක් තුළ  ලංකාවේ සාමාන්‍ය දෙයක් වී තිබුණ නරක  අත්දැකීමකි.

විධායකයේ බලය නැගී සිටීම විශේෂයෙන් 1978 සිට ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමය යටතේ සාමාන්‍ය දෙයක්ව තිබුණු බවද අප අමතක නොකළ යුතුය.

විධායකයේ බලය නැගීම යන්නෙන් අදහස් වන්නේ, විධායක ජනාධිපතිවරයාගේ අධිකාර බලය තව තවත් ශක්තිමත් වීම, ත්‍රිවිධ හමුදාවත් සමග පොලිසියත්, ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට පමණක් වගකියන තත්වයට නිලධර  තන්ත්‍රය පත්වීම යන  මේවාය. පාර්ලිමේන්තුව රාජ්‍ය බල ව්‍යුහය තුළ ආන්තිකකරණයට ලක්වීම මෙම ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයකි.

හදිසි නීතිය යටතේ විධායකයේ බලය ශක්තිමත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් වන්නේ කෙසේද?

මේ කාරණයේදීද අපට නිදසුන් සහ පාඩම් ලබාගත හැකි වන්නේ අප රටේ අතීතයේත්, මෑත අතීතයේත් පැවැති, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මෙන්ම යහපාලන සභාග ආණ්ඩුව යටතේ වූ අත්දැකීම් මතක් කර  ගැනීමෙනි. විධායකයේ බලය ඉහළ යෑමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන හානියේ පදනම වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක  සාමාන්‍යයෙන් තිබිය යුතු, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රාජ්‍ය බලයේ ප්‍රධාන ශාඛා තුන අතර පැවතිය යුතු බල තුලනය සහ එය ආරක්ෂා කරන සංවරණ සහ තුලන ක්‍රමය, විධායකයට වාසිවන ලෙස විකෘති වීමයි.

හදිසි නීතිය සහ වර්තමාන  දේශපාලන සන්දර්භය

තමා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවගේ අයිතිවාසිකම්වලට හානි වන පරිදි භාවිත නොකරන බව ජනාධිපතිවරයා දෙතුන් වරක්ම ප්‍රකාශ කර ඇත. එහෙත් හදිසි නීතිය පිළිබඳ තම අකැමැත්ත සහ විරෝධය පළකර ඇති සිවිල් සමාජ කණ්ඩායම් හා විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එයින් සෑහීමකට පත්වි ඇති බවක් නොපෙනේ. ජනාධිපතිවරුන්ගේ එවැනි සහතික කිරීම් පිළිබඳ සැකය මේ හැම දෙනාම අතීත අත්දැකීමෙන් දනිති.

විපක්ෂයේ සිටින එජාපයට, ශ්‍රීලනිපයට හා පොදු පෙරමුණට එම අත්දැකීම තමන්ගේම ආණ්ඩුකරණ ඉතිහාසයේ කොටසකි.  එවැනි තත්වයක් තුළ සිවිල් සමාජය හා ප්‍රජාතන්ත්‍රවාදයට කැපවූ සිවිල් සමාජ බලවේග කළ යුත්තේ කුමක්ද?

වටිනා යෝජනා තුනක්

මේ සඳහා සැලකිල්ලට ගැනීමට වටිනා යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි.

පළමුවැන්න, ප්‍රජාතන්ත්‍රවාදී සහ මූලික අයිතිවාසිකම් රැකගැනීම සඳහා මීට පෙරත් දශක ගණනාවක් ගෙනගොස් ඇති අරගල සහ උද්ඝෝෂණ සම්ප්‍රදාය දිගටම ගෙනයාමයි.

දෙවැන්න, ප්‍රජාතන්ත්‍රවාදයට සහ මූලික අයිතිවාසිකම්වලට හානිකරන, ආණ්ඩුව හෝ නිලධර පන්තිය සිදුකරන සෑම ක්‍රියාවක්ම අනාවරණය කරමින් ඒවා විවේචනයට භාජනය කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසි අයිතිවාසිකම්වලට හානි නොවන පරිදි දිත්වා ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමටත්, එයින් ජනතාව බේරා ගැනීමටත් පමණක් හදිසි නීතිය භාවිත කරන බවට ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දුව, එතුමාටත්, ආණ්ඩුවටත් නැවත නැවතත් මතක් කරමින්  හදිසි නීතිය කල් නොයවා ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බලකිරීමයි.

තෙවැන්න, හදිසි නීතියට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සමග සන්ධානගත වීමේ දේශපාලන වරද නොකිරීමයි. දේශපාලන පක්ෂ සතු ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ඇති උනන්දුව පවතින්නේ, තමන්ට බලය අහිමි වූ විට පමණක්ය යන්න අමතක නොවන දේශපාලන පාඩමකි. එය දේශපාලනය ඉගෙනීමේ හෝඩි පොතේ තිබෙන පාඩමක්ද වෙයි.

හදිසි නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇත්තේ සමනය කළ නොහැකි ප්‍රතිවිරෝධයකි. එය අප රටේ පුරවැසියන්ද හොඳින් දන්නා දේශපාලන යථාර්ථයකි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අවසාන බලකොටුව වෙන කවුරුත් නොව දේශපාලන වශයෙන් පරිණත සහ  සවිඥානික, විමසිලිමත් සක්‍රිය පුරවැසියන්ය.

(ජයදේව උයන්ගොඩ විසින් අනිද්දා පුවත්පතට ලියූ ලිපියකින් උපුටා ගන්නා ලදී.)

Archive

Latest news

Related news