Tuesday, November 11, 2025

රහස් පොලිසියේ ලොක්කො දෙන්නෙක් ඇවන්ට් ගාඩ් සේනාධිපති ළග වැඩ!

පසුගිය කාලයෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානීන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු විශ්‍රාම ගැනීමෙන් පසු නිශ්ශංක සේනාධිපතිගේ  ඇවන්ට් ගාඩ් සමුද්‍රීය සේවා ආරක්ෂක(පුද්ගලික) සමාගමෙහි  රැකියා කරන බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 23 (2) යටතේ 2015.09.22 දින  ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් අගමැති වෙත ප්‍රශ්ණ පත්‍රයක් යොමු කරන ලදී.

එම ප්‍රශ්නවලට දෙන ලද පිළිතුරු අනුව ඇවන්ට් ගාඩ් ආයතනය සතු පාවෙන අවි ගබඩාවේ ගබඩා කර ඇති අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරයක් ලබා දී නොතිබුණි. එබැවින් එම ආයුධ ප්‍රමාණය හෝ ඒවා කුමන රටවල ආයුධ ද යන්න හෝ පිළීබඳව ලිය කියවිලි ආරක්‍ෂක අමාත්‍යාංශය සතුව නොතිබුණි. ගාලු වරායේ පවත්වා ගෙන ගිය මෙම අවි ගබඩාව ගැන පොලිසිය දැනවත්ව සිටියේ නැත. දෙස් විදෙස් මුහුදු ආරක්ෂක නිලධාරීන් හට යුද පුහුණු වැඩසටහන් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඇවන්ට් ගාඩ් සමාගමට අනුමැතිය ලබා දී  තිබුණි.

නිශ්ශංක සේනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරකු යැයි කියනු ලැබේ. එජාප සභාපති වජිර අබේවර්ධන සමඟ එක්ව අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනියට විරුද්ධව සංස්කරණ කරන ලද හඬ පටියක් මුදා හැරීමට ද සේනාධිපති හවුල් විය.

ඔහු යටතේ සේවය ගොස් ඇති නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු නිංස්සංක සේනාධිපතිට එරෙහිව යහ පාලන කාලයෙහි පවරන ලද නඩුව පැවරීමට සම්බන්ධ වූ අයෙකි. ඔහු විශ්‍රාම ගියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙසිනි. තාජුඩීන් ඝාතනය පිළිබඳ පරීක්ෂණය ඔහු යටතේ පැවැත්වුණි. නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ්‍රාම ගිය අනෙක් නිලධාරියා  රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩළ නිලධාරියකුව සිටි ඉවත්ව ගිය අයකුගේ සමීපතමයෙකි.

 යහපාලන සමයේ පවරන ලද නඩුවෙන් සේනාධිපති නිදහස් වීම  විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා අතර සම්බන්ධයක් උඩ සිදුවීදැයි දැන් සැකයක් ද මතුව තිබේ.

මෙම නිලධාරියා එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂක වූ ශානි අබේසේකර සමඟ සමීපව කටයුතු කරන ලද අයෙකි. ඇවන්ට් ගාඩ් සේනාධිපති,  ගෝටාභය පිහිටු වූ උපාලි අබේරත්න ප්‍රධානියා වූ පිළිගැනීමේ කොමිසමට ශානි අබේසේකරට විරුද්ධව පැමිණිල්ලක් පවා ඉදිරිපත් කරන ලදී. උපාලි අබේරත්න කොමිසම ශානි අබේසේකට දඩුවම් කිරීමට නියම කළේය. දැන් ශානි අබේසේකර සමඟ දුෂණ වංචා සෙවීමට කටයුතු කළ නිලධාරියා, දූෂණ වංචා චෝදනා ලද සේනාධිපති යටතේ ඉහළ වැටුපකට සේවය කරයි.

වත්මන් ජාජබ ආණ්ඩුව, ගෝටාභය සහ රනිල් යන රාජපක්ෂවරුන් විසින් ඔහුට ලබා දී තිබූ සමුද්‍ර ආරක්ෂක සේවය යළි නාවික හමුදාව වෙත ලබා දී තිබේ.

වාර්තාවන පරිදි දැන් නයිජීරියාව සම්බන්ධ සමුද්‍ර ආරක්ෂක සේවාවක් සේනාධිපති පවත්වා ගෙන යයි. 2015 වසරෙහි දී පා.ම. අනුර කුමාර විසින් අගමැති වික්‍රමසිංහට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලියෙහි එක් ප්‍රශ්ණයක් වූයේ නයිජීරයාව සමඟ ඇවන්ට් ගාඩ් සමාගමට ඇති සම්බන්ධයයි. නයිජීරියාව වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ අගයක් දරන රටකි.

ඔහුගේ ඇවන්ට් ගාඩ් සමාගමෙහි විශ්‍රාමික නාවික හමුදාපතිවරු හතර දෙනෙකු සේවය කර තිබේ.

මෙම පුද්ගලයින්ට ගෙවනු ලබන වැටුප් ප්‍රසිද්ධ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි එවකට ප්‍රධානියාට  ලක්ෂ 60 මාසික වැටුපක් එම සමාගම විසින් යෝජනා කරන ලද බව පැවසේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක නැවත නැවත ප්‍රකාශ කරන යටිබිම් ගත කලු රාජ්‍ය නොහොත් පාර රාජ්‍යයේ සෙවණැලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැටී තිබුණ බව මෙමගින් පෙනේනනේ යැයි  එහි ප්‍රධානියකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත ප්‍රකාශ කලේය.

යහ පාලන කාලය තුල ද මෙම පුද්ගලයින් සේනාධිපති සමඟ සබඳකම් පැවැත්වීද යන්න දැන් බිය ජනක ප්‍රශ්ණයක් වී තිබේ.

 

Archive

Latest news

Related news