අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින, හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අද (11) අධි චෝදනා භාරදීම සිදු කර තිබේ.
ඒ, මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
ඉන් අනතුරුව, විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරු නියෝග කර ඇත.
2022 ජනවාරි 01 වැනිදා සහ 2023 නොවැම්බර් 14 වැනිදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් විසිනවකෝටී හැටපන්ලක්ෂ හැටහයදහස් හාරසිය හතලිස් හතරයි ශත හැත්තෑ හයක් (රු. 296,566,444.76) වටිනා වත්කම් හා දේපළ උපයාගෙන, ඉන් රුපියල් විසිහත්කොටි පනස්තුන් ලක්ෂ දෙදහස් හයසිය දහසයයි ශත හයක් (රු. 275,302,616.06) වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර තිබේ.
( Lanka Truth)

