ශ්‍රී ලංකාවේ සිට ගාසා තීරය දක්වා: මාධ්‍යවේදීන් ඝාතන සඳහා දණ්ඩ මුක්තියට එරෙහි ලෝක ව්‍යාප්ත අරගලය
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය – නොවැම්බර් 2
2013 නොවැම්බර් 2 දින, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 68 වන සැසිය මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සේවකයන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්ති සංස්කෘතිය අවසන් කිරීමට කැඳවූ වැදගත් යෝජනාවක් අනුමත කරන ලදී. මෙම යෝජනාව රටවල්වලට එවැනි අපරාධ විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කිරීමට බල කළ අතර නොවැම්බර් 2 දින “මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දඬුවම් නොකිරීම අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය” ලෙස නම් කළේය.
ලෝක පුරා දණ්ඩ මුක්තියේ ගැටලුව
මෙම වගකීම තිබුණත්, ලෝකය පුරා දණ්ඩ මුක්තිය තවමත් දැඩි ගැටලුවක්. යුනෙස්කෝ සහ ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවට CPJ අනුව අනුව, 1993 සිට මාධ්‍යවේදීන් 1,600කට වැඩි සංඛ්‍යාවක් මරා දමා ඇත. ඉන් 90%කට වැඩි අවස්ථාවලදී අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර නැත. මෙක්සිකෝ, ෆිලිපීන, සෝමාලියාව, සිරියාව වැනි රටවල් මාධ්‍යවේදීන්ට ඉතාමත් අවදානම් සහිත ස්ථාන ලෙස තවමත් පවතින අතර නීතිමය ක්‍රියාමාර්ග අසාර්ථකය.
ගාසා: මාධ්‍යවේදීන්ට මරණය කැඳවන යුද්ධය
ගාසා ජනඝාතනය මාධ්‍යවේදීන්ට මරණ කැඳවූ දරුණුතම කාලය බවට පත්ව ඇත. 2025 ඔක්තෝබර් වන විට ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවට CPJ අනුව 2023 ඔක්තෝබර් සිට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 241ක් මරා දමා ඇත. ඒ අතරින් 198ක් ගාසා තුළ මරා දමා ඇති පලස්තීනුවන්ය. ඉන් 59 දෙනෙකු ඝාතනය කර ඇත්තේ ඉලක්ක කර වෙඩි තැබීමෙනි.
තවද CPJ විසින් ගාසාහි ජනමාධ්‍යවේදීන් 162ක් තුවාල ලබා ඇති බව, 92ක් අත්අඩංගුවට ගත් බව, සහ මාධ්‍ය කාර්යාල විනාශ කිරීම, අන්තර්ජාල ප්‍රහාර සහ තර්ජන වාර්තා කර ඇත. මෙය මාධ්‍යවේදීන්ට එරෙහි යුද්ධ අපරාධයක් වන අතර, ලෝකය පුරා වගකීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වයි.
ශ්‍රී ලංකාව: දණ්ඩ මුක්තියේ දිගු සෙවණැල්ල
ශ්‍රී ලංකාවේ, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා වගකීමේ ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු රජයක් සාර්ථක වී නැත. මරණ, අතුරුදහන්වීම්, මර්දන, තර්ජන, මාධ්‍ය ආයතනවලට ප්‍රහාර සහ ගිනි තැබීම් වැනි සිදුවීම් ගණනාවක් සිදු වී ඇතත්, නීතිය ක්‍රියාත්මක කර නැත.
කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක නායකත්වය යටතේ 2024 දී ආණ්ඩුව 2024 ඔක්තෝබර් 14 දින ලසන්ත වික්රමතුංගගේ මරණය සහ ප්‍රගීත් එක්නෙලිගොඩගේ අතුරුදහන්වීම පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව වාර්තා විය. අද 2025 නොවැම්බර් 2 වන විට, මෙය එම යහපත් ප්‍රකාශයේ කැපී පෙනන ප්‍රගතියක් තවමත් නොපෙනේ.
ශ්‍රී ලංකාව සහ ලෝක ප්‍රවණතා
ජනමාධ්‍යවේදී ඝාතන අරභයා ශ්‍රී ලංකාවේ වගකීමේ අසාර්ථකත්වය ලෝකයේ පවතින රටාකාර ගැටලුවෙහි කොටසකි. ගාසා යුද්ධය මාධ්‍යවේදීන්ට අධික මරණ නියෝජනය කළත්, මූලික ගැටලුව එකම වේ: වගකීමේ අඩුව අපරාධකරුවන්ට බලය ලබා දී මාධ්‍ය නිදහස බිඳ දමයි. එය පෙන්වන්නේ දණ්ඩ මුක්තිය ජාතික ගැටලුවක් නොව, ලෝකය පුරා පුරවැසි සහ මිනිස් අයිතිවාසිකම් සඳහා තර්ජනයක් බවයි.
දණ්ඩ මුක්තියට විරුද්ධ සටනේ වැදගත්කම
මෙම දිනයේදී අවධාරණය කළ යුතු වන්නේ දණ්ඩ මුක්තිය අවසන් කිරීම පුරවැසියන්ගේ වගකීමක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සහ මාධ්‍ය නිදහස රැක ගැනීමේ මූලික පියවරක් බවයි. දඬුවම් නොකිරීම නීතියේ බලය බිඳ දමයි. ඝාතකයන්ට සහ බලය දරන්නන්ට ආරක්ෂාව ලබා දේ. සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් අඩු කරයි. එය අවසන් කිරීමට රාජ්‍ය ආයතන, මාධ්‍ය, සිවිල් සමාජය සහ අධ්‍යාපන ආයතන එක්ව ක්‍රියා කළ යුතුය.
මාධ්‍ය නිදහස රැක ගැනීම මෙම සටනේ මූලික කොටසකි. නිදහස් මාධ්‍යයක් නොමැතිව, දූෂණය සහ බලධාරීන්ගේ අපයෝජන හෙළි කිරීමට නොහැක. එබැවින් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, තොරතුරු ලබාගැනීමේ අයිතිය, සහ අන්තර්ජාල නිදහස ඇතුළු ඩිජිටල් අයිතිවාසිකම් අත්‍යවශ්‍යය.
ජාතික ජන බලවේග ආණ්ඩුවට දැන වසරක් ගත වී තිබේ. එනමුත් විවිධ අපරාධ සඳහා පවතින දණ්ඩ මුක්තිය අවසන් කිරීමට නිසි පියවරක් ගෙන නැත. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සම්බන්ධ නඩුව. විශේෂ මහාධිකරණයක් හමුවේ දැන් වසර පහකට වඩා විභාග වෙයි. එවැනි අධිකරණ පිහිටුවන ලද්දේ නඩු විභාග ඉක්මන් කිරීම සඳහාය. පසුගිය සතියෙහි එම නඩුව විභාගයට ගත් අවස්ථාවෙහි එය යළි කල්තබන ලද්දේ ජනාධිපතිවරයා විසින් එම අධිකරණයේ විනිසුරු පුරප්පාඩු පුරවා නැති නිසාය.
කතාව දෝලාවෙන් වුවත් ගමන පයින් යැයි කියන්නේ මෙවැනි ක්‍රියාකාරකම් වලටය.