ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් අනුව, පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් 56 දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 13 ඉක්මවූ මුදල් වෛද්‍ය ආධාර ලෙස ලබා දී ඇති බව හෙළිවී ඇත.
මෙම මුදල් ලබා දී ඇත්තේ 2005 සිට 2024 දක්වා වූ කාලසීමාව තුළ බව වාර්තාවේ සඳහන් වේ. වාර්තාවට අනුව, රු.131,371,110 ක් පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් 56 දෙනෙකුට වෛද්‍ය ආධාර ලෙස ලබා දී තිබුණද, මෙම ආධාර ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කර නොමැති බව ප්‍රධාන වශයෙන් පෙන්වා ඇත.
විශේෂයෙන්ම, අයදුම්පතක් ඉදිරිපත් කිරීම, අයදුම්කරුගේ මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තාවක් හෝ මූල්‍ය තක්සේරු කිරීම, සහ ලබා දිය හැකි මුදල් සීමාව පිළිබඳ අවධානය යොමු නොකිරීම වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදුකරන අතර, එහි ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කළමනාකාරිත්වය සඳහන් කර ඇත. ඒ අනුව, පවතින නීති, රීති සහ නියමයන්ට අනුකූලව ක්‍රියා කළ යුතු බව විගණන වාර්තාව නිර්දේශ කරයි.
ජනාධිපති අරමුදලෙන් ණය ලෙස මුදල් ලබාදීම සඳහා නියමයක් නොමැති නමුත්, මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට නැවත ගෙවීමේ කොන්දේසියක් යටතේ මුදල් ලබා දී ඇති බවත්, එවැනි ණය ලබාදීමේ සිදුවීම් වාර්තා වී ඇති බවත් සඳහන් වේ.
ජනාධිපති ලේකම්ගේ ලිපියකට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රු.710,908,798 ක් ජනාධිපති අරමුදලෙන් නැවත ගෙවීමේ කොන්දේසියක් යටතේ ලබා දී තිබුණද, 2025 ජූනි වන විට එම මුදල් නැවත අය කර නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
2012 සහ 2014 වර්ෂවලදී හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට වෛද්‍ය පහසුකම් සඳහා රු.29,809,143 ක් ලබා දී ඇති අතර, ඒ අතරින් රු.13,748,217 ක් නැවත ගෙවීමේ කොන්දේසියක් යටතේ ලබා දී තිබුණද, 2025 ජූනි වන විට එම මුදල් නැවත අය කර නොමැති බව සඳහන් වේ.
මෙම කාලය තුළ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන්ගේ ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් හෙළිදරව් කර ඇත. එම ලැයිස්තුවෙන්, රුපියල් මිලියන 131 කට වැඩි මුදල් ලබාගත් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු වී ඇත. මෙම මුදල් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ධුර කාලය තුළ අනුමත කර ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.
ඉහත ලැයිස්තුවෙන්, අග්‍රාමාත්‍ය ඩී.එම්. ජයරත්නට රු.30,000,000, මන්ත්‍රී රංජිත් සොයිසාට රු.18,800,000, හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට රු.12,000,000, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රු.11,000,000, රාජිත සේනාරත්නට රු.10,000,000, ජයන්තා වීරසිංහට රු.9,000,000, ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකාට රු.5,500,000, ටී.බී. ඒකනායකට රු.4,800,000, ජෝන් අමරතුංගට රු.4,000,000 ලබා දී ඇත.
එසේම, විමලවීර දිසානායකට රු.3,000,000, ජෝසප් මයිකල් පෙරේරාට රු.2,700,000, ඇලෙක් අලුවිහාරේට රු.2,200,000, ලකී ජයවර්ධනට රු.1,600,000, විදුර වික්‍රමනායකට රු.1,500,000, පී. චන්ද්‍රසේකරන්ට රු.1,400,000, එස්.ඒ. ජගත් කුමාරට රු.1,000,000, ජයලත් ජයවර්ධනට රු.1,000,000, නාමල් ගුණවර්ධනට රු.1,000,000, ධර්මදාස බණ්ඩාට රු.1,000,000, කේ.පී.එස්. කුමාරසිරිට රු.953,430, රංජිත් අලුවිහාරේට රු.860,000 ලබා දී ඇත.
අමාත්‍යවරයා තවදුරටත් මුදල් ලබාගත් නමුත් මුදල් ප්‍රමාණය සඳහන් නොකළ දේශපාලනඥයන්ගේ නාම ලැයිස්තුවක්ද හෙළි කර ඇත. ඒ අතර පී. හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී. දයාරත්න, එස්.සී. මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, ජේ.පී. දයසිරි පද්මාකුමාර ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය යන අය සිටින බව සඳහන් වේ.
(සටහන් /වට් නිව්ස් වෙබ් අඩවිය ඇසුරිණි)

