හිටපු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාවක් ප්රකාර, රනිල් වික්රමසිංහ පාලනය විසින් ශ්රී ලංකාවට වීසා ලබාදීම විදේශීය සමාගමකට පැවරීම හේතුවෙන් ශ්රී ලංකාවට කිසිදු ආදයමක් නොලැබුන බව විගණන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.
ඒ පිළිබඳව Sunday Times පුවත්පත පළකරන ලද වාර්තාවක දැක්වෙන පරිදි, ඊ වීසා නිකුත් කිරීමට අදාළ සමාගමට අනුමැතිය ලැබීමෙන් පසුව ඊ වීසා නිකුත් කළ 2024 අප්රේල් 17 සිට අගෝස්තු 02 දක්වා කෙටි කාලය තුළ පමණක් සමාගම ලැබූ ආදායම ඩොලර් මිලියන 1.8කට (USD 1,820,418) නො අඩු විය හැකිය. එම කාලය තුළ සංචාරකයින් 98,401 දෙනෙකුට වීසා ගාස්තු අය කිරීමෙන් තොරව වීසා නිකුත් කොට ඇතත්, එම වීසා නිකුත් කිරීම සඳහා විදේශීය සමාගම ගාස්තුවක් අය කොට තිබේ. විගණන වාර්තාව උපුටා දක්වමින් පුවත්පත පවසන පරිදි විදේශීය සමාගම (GBS Technology Services & IVS Global ± FZCO and VFS VF Worldwide Holdings Ltd) එතරම් ආදායමක් උපයද්දී ශ්රී ලංකාවේ භාණ්ඩාගාරයට කිසිදු ආදායමක් ලැබී නැත.
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ඒ වනවිට ශ්රී ලංකාව රටවල් ගණනාවකට වීසා ගාස්තු අය නොකිරීමට තීරණය කොට තිබුණත්, විදේශීය සමාගම ඊ වීසා නිකුත් කිරීම සඳහා ගාස්තුවක් අය කළ බැවින් අදාළ රටවල සිට පැමිණි සංචාරකයින්ට ද නොමිලේ වීසා ලබාගැනීමේ පහසුකම අහිමි විය.
ඊ වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට පැවරීමේ ජාවාරමට එරෙහිව චම්පික රණවක, එම් ඒ සුමන්තිරන් සහ රවුෆ් හකීම් මන්ත්රීවරුන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ ශ්රේෂ්ඨාධිකරණය වහාම යළි පැරණි ක්රමයට වීසා නිකුත් කරන මෙන් නියෝග කළත් එවකට ආගමන විගමන පාලකවරයා වූ හර්ෂ ඉලුක්පිටිය එම නියෝගය පිළිපැදීම මග හැර කෙටි කලෙකට විදේශගත විය.
පැමිණිලිකාර මන්ත්රීවරුන් තිදෙනා ඒ පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ හර්ෂ ඉලුක්පිටිය දැනට වසර දෙකක සිර දඩුවමක් ගෙවමින් සිටී.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව ද ඊ වීසා මගඩිය දැඩි විවේචනයට ලක් කළත්, එයට සෘජුවම වගකිව යුතු කැබිනට් අමාත්ය ටිරාන් අලස් ගේ නම කිසි විටෙක සඳහන් නොකිරීමට ආණ්ඩුවේ ඇමතිවරු ප්රවේශම් සහගත වූහ. පදවියෙන් පහකරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පදවියට පත්කිරීම සහ කුප්රකට ‘යුක්තිය’ මෙහෙයුමේ මානව හිමිකම් උල්ලංඝනයන් ඇතුළු බොහෝ චෝදනා එල්ල වී තිබුණ ද, මෑතක් වනතුරුම ටිරාන් අලස් හිටපු අමාත්යවරයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් පවා සපයා දී තිබිණ.
– සරෝජ් පතිරණ
2025 ඔක්තෝබර් 26

