හැම්මෑලිය වත්තේ මලෛයහා පවුල් 09, හෙට කන්දෙන් පල්ලට ද! – මෙලනි මානෙල් පෙරේරා
හම්මැලිය වත්ත -ඔවුන් කොහි යන්නද?
ගාල්ල දිස්ත්‍රික්කයේ , බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හැම්මෑලියවත්ත නම් වූ කුඩා වත්තක ජීවත්වන මලෛයහා කම්කරු පවුල් 09කි. පරම්පරා පහක ජීවිත කථාන්දර වත්ත පුරා දිවෙන අතර, පරම්පරා තුනක ජීවිත දියකර ඇත්තේ හැම්මෑලිය වත්තේ ම උන්නතිය වෙනුවෙනි. ආරම්භයේ සිට වත්ත හදන්නට සිය කාලය ශ්‍රමය හා දහදිය වැය කළ පවුල් 20 කින් අද ඉතිරිව ඇත්තේ පවුල් 09 ක් පමණි. ඔවුන්ගේ දහදිය මුසු වුණු ගත රැඳි ශක්තිය නිසා, වත්තේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේ සහ රබර් වගාව වත්තට හොඳ ආදායමක් ළගාකර දුණි. එහෙත් පසුකාලීනව, පෙර වගාවන් ඉවත්කකර කුරුඳු ප්‍රතිස්ථාපනය කිරීම හේතුවෙන් 2023 වසරේ සිට ඔවුනට වත්තේ රැකියා අහිමි විය.
2023 දී රැකියා අහිමි වූ ඔවුන් 2025 දී කන්දෙන් පල්ලට වැටේවි ද!
දිගු කාලයක් තුළ වත්තට කැඹූරූ කම්කරුවන් වෙත ඉටු වූණූ කිසිම හිමිකමක්, අයිතිවාසිකමක් නැත. මාස තුනක් ඇතුලත වත්තෙන් ඉවත් වන්නට කියා, දැනට මාස තුනකට ඉහතදී වත්තෙන් ලැබෙන ඉල්ලීමකි. එය ද කට වචනයෙන් මිස නිත්‍යාණූකූලව ලිඛිත දැන්වීමක් ද නොවෙයි. වසර 80ක් වත්තට කඹුරා නොව, වත්තේ පිණට ජීවත් වූ වන් සේ සළකමින් “සරළ බසකින් වත්තෙන් දොට්ට දැමීමට” වත්තේ අයිතිකාරිණිය සුදානම් වීම කොතෙක් සදාචාර සම්පන්න වන්නේ ද?
සන්දනම් වල්ලිඅම්මා යනු, දැනට හැම්මෑලිය වත්තේ ජීවත්වන පැරණිම සේවක පවුලේ, එනම් ගෝපාල් සන්දනම් (80) සහ තේක්කමලේ තංගායි (77) ගේ වැඩිමහල් දියණිය වෙයි. ඕ අවුරුදු 58ක, දරුවන් පස්දෙනෙකුගේ මව කී. සැමියා, සින්නයියා තංගරාජා ය.
වසර කිහිපයක නිශ්ශබ්දතාවයකින් පසුව, හැම්මෑලිය වත්තේ වත්මන් අයිතිකාරිනිය වන වෛද්‍යවරියක ද වන, ඇමරිකාවේ ජීවත්වන සසංකා සමරසිංහ නොහොත් සසංකා බේබි හදිසියේ ම සන්දනම් වල්ලිඅම්මාට දුරකථන ඇමතුමක් දී තමන් ලංකාවට පැමිණ සිටින බවත්, ඉක්මනින් ම වත්තේ කට්ටියව මුණගැසිය යුතු බවත් දන්වා තිබුණි.
“සසංකා බේබිගේ කෝල් එකට අනුව, ජූලි මාසේ 05 වෙනි දා දවල්හ 12.30 ට වත්තේ කට්ටිය – පවුලකින් එක්කෙනා ගානේ, බංගලාවට ගිහිං සසංකා බේබිව හම්බුණා. අපි යනකොට තවත් පිරිමි තුන්දෙනෙකුයි, කාන්තාවකුයි හිටියා. නමුත්, බේබි කියපු දෙයින් අපිව උස්සලා පොළොවේ ගැහුවා වගේ දැනුණේ” යැයි සන්දනම් වල්ලිඅම්මා කීවේය.
වල්ලිඅම්මා සහ ඇයගේ සහෝදරිය
විදෙස්ගතව සිට පැමිණි සසංකා බේබි, වල්ලිඅම්මලාට ප්‍රකාශ කළ දෙයින් ඔවුන් විශ්මයටත් කලබලයටත් පත්විය. එය වල්ලිඅම්මලාට දරාගන්නට නොහැකි තරම් බර ප්‍රකාශයක් වී ඇති සැටි ඉතාම පැහැදිළිය. ” මගේ අම්මා දැන් වයස නිසා වත්ත ගැන බලන්න බැහැ. ඒ නිසා වත්ත විකුණන්න යන්නේ. ඔයාලාට මාස තුනක් කල්දෙනවා. හැකි ඉක්මනින් වෙනත් තැනකට යන්න” කියා සසංකා බේබි දැනුම්දී ඇත.
“එහෙම කොහොමද බේබි අපි යන්නේ ? අපේ ළමයි තාම ස්කෝලේ යනවා නේ. අපිට ඡන්දේ තියෙන්නෙත් මෙහෙට. අපි හැම දේකටම ලියාපදිංචිවෙලා තියෙන්නෙත් වත්තෙන්. ඒ නිසා අපි කොහේ යන්නද?” කියා වල්ලිඅම්මා පෙරාලා ප්‍රතිඋත්තර දුන් බව කීවේය.
එහෙත් “ඒ කතාවලින් මට වැඩක් නැහැ වල්ලිඅම්මා……… දැන් උනත් තමුන්ලාව වත්තෙන් එළවන්න පුලුවන්. නමුත් මම එහෙම කරන්නේ නැහැ. අනුකම්පා කරලා මාස තුනක් කල් දෙනවා වත්තෙන් අයින් වෙන්න. තමුන්ලා වත්තේ ඉන්නකං මට වත්ත විකුණන්න බැහැ. ඒ නිසා හැකි ඉක්මනින් වත්තෙන් පිටවෙන්න. අනික, අපි වත්තෙන් යන්න කිව්ව බව ගමේ කාටවත් දැනගන්න තියන්න බැහැ. එහෙම කියලා, ගමේ අයගේ කථා අහලා නීති මාර්ගවලට ගියොත්, අපිත් නීතිමාර්ගයෙන් ම තමන්ලාට පිළිතුරු දෙනවා ” යනුවෙන් අනතුරු අගවමින් සසංකා බේබි දුන් සැර පිළිතුර වල්ලිඅම්මා ඇතුලු සැමගේ සිත් පාරා ඇති අතර, ඉතාම අසරණ භාවයට පත්කර තිබුණි.
සෙල්ලං කළ කාළේ ගැන මතක ම නැති දොස්තර බේබි
අතිීතයේ , පුංචි සන්ධියේ දී තමන් සමග, තම නංගිලා මල්ලිලා සමග බංගලා මිදුලේ කෙළි සෙල්ලං කර සතුටු වූ වල්ලිඅම්මලාගේ සසංකා බේබිගේ පිළිතුර ඔවුන්ගේ හදවත්වලට උණ්ඩයක විෂ මෙන් විය. එසේ කෙළි දෙලෙන් ගතකළ ඒ අතීතය සිහිපත් කරමින් යළි යළිත් වල්ලිඅම්මා සසංකා බේබිගේ අදහස වෙනස් කිරීමට අහිංසක උත්සාහයක් ගත්ත ද, එය නිෂ්පල විය.
“ඕවා මතකත් නැහැ දැන්. ඒ ඉස්සර නේ……. කට්ටිය පුලුවන් තරං ඉක්මනින් වත්තෙන් පිටවෙන්න.”
වත්තෙන් ලබාදෙන ප්‍රදානයක් වශයෙන් එක් පවුලකට රුපියල් ලක්ෂ 02ක බැගින් ලබාදිමට කැමැත්ත පළකර ඇති සසංකා බේබි, එයද ලබාදෙන්නේ යම්කිසි රෙගුලාසියකට අනුව බව ද අවධාරණය කර ඇත.
හම්මැලිය වත්ත -200 වසරක් ෙබාන ජලය
“තමුන්ලා වත්තෙන් පිටවෙලා වෙන තැනකට ගියාට පස්සේ මම හැම පවුලකටම බැංකු ගිණුම් විවෘත කරලා රුපියල් ලක්ෂ 02ක ගානේ දාන්නම්. තමුන්ලත් දැන් හම්බකරනවානේ , ඉතිරි මුදල් දාලා හොඳට ගෙවල් හදාගන්න. අනික, වත්තේ ඉන්න වැඩිහිටිම පිරිමියා, පළනිවේලුව ද වැඩිහිටි නිවාසයකට දාන්න. එයාටත් මම රුපියල් පනස්දහසක් බැංකු පොතට දාන්නම්.” යන්න සසංකා බේබිගේ පළමු වූ ද අවසාන වූ ද දැනුම්දීමත්, ඉල්ලීමත් විය.
“අපිට බේබිලත් එක්ක රංඩුකරන්න බැහැනේ…… ඒත් අපිට යන්න තැනක් නැහැ. කිසිම දාක මෙහෙම දෙයක් අපිට අහන්න වෙයි කියලා අපි හිතුවේනම් නැහැ…..” කබලෙන් ලිපිට වැටුණා සේ තමන්ගේ කුටුම්භය මත වැටුණු උභතෝකෝටික ප්‍රශ්නය ගැන ඇය කම්පා වන්නීය.
හැම්මෑලියවත්ත, විලේගොඩවත්ත ලෙසද හැඳින්විණි. ආරම්භයේ දී වත්තේ තේ සහ රබර් වගා කළද, 2007 වසරේදී පමණ කුරුඳු වගාව ප්‍රතිස්ථාපනය කර ඇත. පැරණි වතුයාය අක්කර 77 ක් පමණ වූ අතර කම්කරු පවුල් 20 ක් සිටියහ. ඔවුන් සඳහා කාමර 16 කින් යුත් පේළි නිවාස, පේළි දෙකක් තිබුණි. වත්තේ මුල් පවුල් ජීවත් වූ මෙම පේළි නිවාස දැන් දිරාපත්වීමේ සලකුණු පෙන්නුම් කරයි. එහෙත්, පසුකාලීනව වත්තේ අයිතිකරු ජයන්ත සමරසිංහ විසින් තමන්ට රිසි සේ අක්කර 77 කොටස්කර විකුණනු ලැබූ අතර , වත්තේ ජීවත්වන මිනිසුන් වෙනුවෙන් සූසාන භූමියක් සඳහා කුඩා ඉඩම් ප්‍රමාණයක් ද වෙන්කර තිබුණි. වර්තමානයේ දී ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 06ක් පමණි. එම අක්කර 06 හී මිනිසුන් ජීවත්වන භූමි ප්‍රමාණය හැර ඉතිරි කොටසේ තේ රබර් වෙනුවට කුරුඳු වගාකර ඇත. වසර 2002 දී පමණ ජයන්ත සමරසිංහ මිය ගිය පසුව වත්තේ පරිපාලණය ඔහුගේ බිරිඳ විසින් දරණු ලැබිණි.
අකුරු වෙනුවට බේබි එක්ක සෙල්ලමට
ඇය ප්‍රදේශයේ සිංහල පාසැලේ ගුරුවරියක සේ කටයුතු කොට පසුව එම පාසැලේම විදුහල්පතිනිය වශයෙන් ද සේවය කළේය. එහෙත් කෙදිනකවත්, තමන්ගේ වත්තේ සේවය කරන සේවකයින්ගේ දරුවන් පාසල් යවන්නට හෝ අකුරක් ඉගෙනගන්නට ඉඩක් ලබා දී නොමැත. ඒ හෙයින්, වත්තේ වැඩිහිටි කිසිවෙකු පාසැල් ගොස් නැත. අකුරුකර නැත.
“ ලොකු නෝනා එතකොට මේ ගමේ ඉස්කෝලේ ටිචර්, පස්සේ විදුහල්පතිනිය වුණා. අපේ අම්මලා අපිව ඉස්කෝලේ දාන්න ඕනේ කියලා කියපුවාම නෝනා ඇහුවලු “මොකටද උඹලා ඉස්කෝලේ යන්නේ, ඉස්කෝලේ ගිහිං කැවුම් පුච්චන්නද ? ” කියලා. ඉස්කෝලේ යනවා වෙනුවට අපිව බංගලාවට ගෙන්වා ගත්තා උගන්වන්නම් කියලා. අපි ආසාවෙන් ඉගෙන ගන්න බංගලාවට ගියාට, ඒත්, සසංකා බේබි එක්ක සෙල්ලං කරන්න දැම්මා මිසක්, අපෙන් එක එක වැඩ ගත්තා මිසක් කවදාවත් අපට ඉගැන්නුවේ නැහැ.” යනුවෙන් වල්ලිඅම්මා පැවසීය.
තම වත්තේ සේවකයින්ගේ පාසල් යන වයසේ දරුවනට ඉගෙනගැනීම් අයිති ලබා දෙනු වෙනුවට, වත්තේ බංගලාවේ මෙන් ම, තම පවුලේ හිතවතුන්ගේ නිවෙස්වල බැලමෙහෙවර කිරීම සඳහා වත්තේ ළමුන්ව යැවීමට සැමවිටම වත්තේ මහත්තයාත්, නෝනාත් පසුබට නොවූ බව අධ්‍යාපන වරම අහිමි වුණු වල්ලිඅම්මාගේ එක් සොයුරියක් වූ සන්දනම් පුෂ්පරාණී ද පැවසීය.
කාලයාගේ ඇවෑමෙන්, වයෝවෘද්ධ සමරසිංහ ඉස්කෝල නෝනාගෙන් පසුව ඇගේ දියණිය වන සසංකා සමරසිංහ හැම්මෑලිය වත්ත පාලනය කරන අතර, වසර 80 ක ජීවිත ගමනකින් පසුව වත්තේ නෝනා විසින් තම කුටුම්භය වත්තෙන් පලවා හරින්නට තීරණය කිරිීම උසුලගත නොහැකි බවත් තමන්ට වත්තෙන් පිට යන්නට ස්ථානයක් නොමැති බවත්, මේ ප්‍රශ්නයට කෙසේ හෝ සාධාරණ විසඳුමක් අවැසි බවත් වත්තේ සේවය කර, දැනට විශ්‍රාමිකව පසුවන වැඩිහිටිම පිරිමි සේවකයින් දෙපල වන පළනිවේලු පළනි (82) සහ ගෝපාල් සන්දනම් (80) කීහ.
තේක්කමලේ තංගෙයි සහ ගෝපාල් සන්දනම්
“නෝනලා යන්න කිව්වට, අපිට ඉතිං යන්න තැනක් ඇත්තේම නැහැ. කොහේ කියලා යන්නද? අපිට මේ වත්ත හැර වෙන යන්න තැනක් නැහැ. එක්කෝ අපිට වෙන ස්ථානයකින් ගෙවල් 09ක් හදලා දීලා අපිව පදිංචි කරවන්න ඕනේ” යන්න ඔවුන්ගේ එකම අදහස විය.
හිමිකම් අහිමි කරවීම
ගෝපාල් සන්දනම්ලා, පළනිවේලු ලා, තංගරාජ ලා, තංගායි ලා වසර ගණනාවක් කම්කරුවන් සේ සිය දිවි වත්තට කැප කර දැන් විශ්‍රාමිකව පසුවුව ද, ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි නැත. වතුයායේ පදිංචි පරම්පරා හතරකට අයත් කිසිදු සේවකයෙකුට ඔවුන්ගේ රැකියාවට අදාළ ලියකියවිලි කිසිවක් ලබා දී නොමැති අතර, සමහරු වසර 60 කට වැඩි කාලයක් වතුයායේ සේවය කළදසේවායෝජක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවායෝජක භාර අරමුදල (ETF) සඳහා ඔවුන්ගේ අනිවාර්ය බදු දායකත්වයන් පිළිබඳ තොරතුරු කිසිවෙකුට ලැබී නොමැත. ඔවුන් නිකම්ම නිකං තමන්ගේ ශ්‍රමය දහදිය වත්තට තිළිණකර ඇතැයි පිළිගෙන ඇතිවා මෙන් ය. වසර ගණනාවක් ශ්‍රමය යොදවා සිය වත්ත සංවර්ධනය කළ කම්කරුවන් වෙත, එදා ඉටු නොවූ වත්තේ වගකීම් – යුතුකම්, අවම වශයෙන් වත්ත විකුණා දමන්නට සූදානම් වන මේ මොහොතේ දී හෝ ඉටුකළ යුතුය යන්න සසංකා බේබිට සිහිපත් නොවීම පුදුම සහගතය.
එපමණක් නොව, වතු සේවකයින්ට කිසිම දිනෙක මුදල් වලින් සිය වැටුප් නොලැබුණු අතර, මුදල් වෙනුවට ලැබුණේ අසල ඇති කුඩා වෙළඳසැලකින් වියළි සළාක මිලදී ගැනීම සඳහා වත්තේ මහත්තයා විසින් සටහන්කරන මිලක් සහිත තුණ්ඩු කැබැල්ලකි. එහි සටහන් මිළෙහි වටිනාකමට පමණක් අවශ්‍ය දේ ලබාගත හැකිය.
“මට සහෝදර සහෝදරියෝ පස්දෙනෙක් ඉන්නවා. අපි කව්රුත් ම ඉස්කෝලේ ගිහිං නැහැ. මට වසය 14 වෙද්දි, වත්තේ වැඩට ගියා. වසය 77 වෙනකම්ම වැඩකළා. ඒ කාලේ දවසක පඩිය වුණේ රුපියල් 1.55 යි. නමුත් අපි කාටවත් පඩිය මුදල් විධියට අතට ලැබුණේ නැහැ. හම්බකරන ගාණේ හැටියට පොඩි තුණ්ඩු කෑල්ලක් වත්තෙන් දෙනවා පල්ලෙහා කඩෙන් අව්‍ශ්‍යකරන බඩු ගන්න කියලා. වත්තේ කුරුඳු දැම්මට පස්සේ , කුරුඳු හිටවන්න, නෙලන්න , කුරුඳු ගස් ගැටගහන්න , පොහොර දාන්න ආදී වැඩ කරන්න තිබුණු නිසා රුපියල් 500.00කගෙවීමක් කෙරුවා. 2023 වෙනකොට රුපියල් 1500.00 ගෙව්වා. එතකොට තමයි පඩියක් කියලා අතට ලැබුණේ. ඒ අවස්ථාව ඉතිං අපේ ළමයිට තමයි ලැබුණේ.” යැයි 1945 වසරේ ඔක්තෝබර් 04 වෙනිදා හැම්මෑලිය වත්තේ ඉපැදුණු , ගෝපාල් සන්දනම් අතීතාචර්ජනයක යෙදිණි. ඔහු , සන්දනම් වල්ලිඅම්මාගේ පියා ය.
වර්තමානයේ දී, 2022 වසරේදී උපත ලැබූ කුඩාම දරුවන් දෙදෙනෙක් ඇතුළුව පවුල් නවයක පුද්ගලයින් 25 දෙනෙකු හැම්මෑලිය වත්තේ ජීවත්වන අතර, විදේශයන්හි සේවය කරන දෙදෙනෙකු පමණක් සිටිති. ඒ අතරින් , සන්දනම් වල්ලිඅම්මා සහ සින්නය්යා තංගරාජාගේ දියණියක වන 32 හැවීරිදි සින්නය්යා පුෂ්පකාන්ති මෑතකදී, ජාත්‍යන්තර අධ්‍යයනය, මනෝවිද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්තේය.
දැඩි ආර්ථීක අමාරුකම් මැද, අභියෝගවලට මුහුණ දෙමින් කෙසේ හෝ උපාධියක් දිනාගත් ඇයගේ අපේක්‍ෂාව වන්නේ ඇයට බාල වත්තේ සිටින අනික් නංගිලා මල්ලිලාද ඇය මෙන් අධ්‍යාපනයක් ලබා දැනට සිටින තත්ත්වයට වඩා යහපත් අනාගතයක් හිමිකර ගැනීමයි. එහෙත් නොසිතූ ආකාරයෙන් වත්තෙන් එළියට දැමිමට වත්තේ නෝනා ගන්නා උත්සාහය ගැන පුෂ්පකාන්ති සිය දැඩි කනස්සල්ල පළ කළේය.
එස් . පුෂ්පකාන්ති
“මගේ නම එස්. පුෂ්පකාන්ති. මම ඉපදුණේ, හැදුණේ වැඩුණේ හැම්මෑලිය කියන මේ වත්තේ. මගේ අම්මා තාත්තා, ආච්චිලා සීයලා හැමෝම ඉපදුණෙත් මේ වත්තේ. ඒ ගොල්ල මේ වත්තේ ජීවත්වුණා විතරක් නෙවෙයි, මගේ මුත්තලාගේ ඉඳලා දහදිය මහන්සියෙන් වෙහෙසිලා හැම්මෑලිය වත්තට තමා හම්බකරලා දීලා තියෙන්නේ. 2025 වන තුරු වත්තේ පදිංචිවෙලා ඉන්න අපිට දැන් වත්තෙන් යන්න කියනවා. යන්න කිව්වට අපිට යන්න තැනක් නැහැ. අපි කොහේ යන්නද? වත්තේ කුරුඳු දැම්මට පස්සේ අපේ අයට රස්සාව නැහැ. ඒ නිසා අපේ දෙමාපියෝ එදා වේල හොයාගෙන ජීවත්වෙන මිනිස්සු. අනික මේ වත්තේ ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඒ ළමයිගේ අධ්‍යාපනයට මොකද වෙන්නේ. ඉතිං වත්තේ නෝනලාගේ ඉල්ලීම සාධාරණද කියල මම අහනවා?” යැයි පුෂ්පකාන්ති කිීවේය.
පුෂ්පකාන්තිගේ මුත්තා , එනම් ක්‍රිෂ්ණපුල්ලේ ගෝපාල් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වන ලද කම්කරුවන් සමග පැමිණ ඇති අතර, පසුව හැම්මෑලිය වත්තේ කංකාණම්වරුයෙකු ලෙසට වත්තේ රබර් කෑල්ලේ සේවයකර ඇත.
ඉල්ලීම සරළයි – සාධාරණයි
ඇය ඉතාම කාරූණීක ඉල්ලමක් අප හමුවේ තැබුවේය. “අපි ඉන්න ඉඩම් ටික අතහැරලා ඉතිරි ඉඩම් ටික විකුණන්න හොඳටම පුලුවන්නේ. දැනටත් අපි ඉන්න මායිම කිට්ටුවටම විකුණලා කුරුඳු දාලා තියෙනවානේ. ඒ නිසා මම අපි හැමෝම වෙනුවෙන් ඉල්ලා සිටින්නේ එක්කෝ අපි ඉන්න ටික අතහැරලා ඉතිරිය විකුණන්න. නැත්නම්, මේ වත්තේම පර්චස් 15ගාණේ අපේ පවුල් නවයට බෙදා දීලා ඉතිරිය විකුණන්න. එහෙම කරන්න අපහසුම නම් අපිට වෙන කොහොන්හරි නිවාස හදලා දෙන්න. එතකොට අපි අකමැති වුනත් යන්න පුලුවනි. එහෙම නැතිව අපි කොහේ යන්නද?” දැයි ඇය පවසන්නීය.
සංවිධානයක් වශයෙන්, 2024 වසරේ අග සිට ම හැම්මෑලිය වතුයායේ මලෛයහා ජනතාවගේ පොදු ප්‍රශ්න සඳහා නිසි විසඳුම් ලබාගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම්, ගරු අගමැතිනිය, දකුණු පළාත් ආණ්ඩුකාරතුමා, වතු හා යටිතල පහසුකම් නියෝජ්‍ය ආමාත්‍යතුමා යනාදි බලධාරීන් මුණගැසී සාකව්ඡා පවත්වමින් සිටි බවත් , එවැනි අවස්ථාවක, මෙවැනි අකාරූණීක තීරණයක් පිළිබඳව ඇසීමට ලැබීම ඉතාම කණගාටුදායක බැව් වතුකරයේ ජනතා හඬ සංවිධානය (VOPP) ප්‍රකාශ කළේය.
“වත්තේ අයිතිකාර මහත්මියගේ ඉල්ලීම හරිම අසාධාරණයි. මෙපමණ කාලයක් වත්තේ සේවය කරපු අයට මේ ආකාරයෙන් සැළකීම ඉතාම අකාරූණීකයි. අනික, ඔවුන් වත්තේ සේවය කරන කාලය තුළිදීවත් ඒ මිනිස්සුන්ට යුක්තිය ඉටුවෙලා නැහැ. එවැනි පසුබිමක් තිබිය දී ත්, සසංකා මහත්මිය මෙවැනි තීරණයකට එළඹීම කොයි පැත්තෙන් බැලුවත් එතරම් යහපත් නැහැ” යැයි වතුකරයේ ජනතා හඩ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂක ඇන්තනි ජේසුදාසන් පැවසීය.
“ඒ මිනිස්සු වෙනුවෙන්, ඔවුන්ගේ ඉල්ලීමට සාධාරණ විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් අපි ඔවුන් සමග දිගටම ක්‍රියාකාරීව පෙනීසිටිනවා” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
වතුයාය ට ආසන්නව පිහි පුරාණ සල්ගමු රජ මහා විහාරස්ථානයේ හිමිවරුන්ගේ අදහස ද වන්නේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් පිළිබඳව මීට වඩා යහපත්ව සිතිය යුතු බවයි. ප්‍රායෝගික විසඳුමක් ලබාදිය යුතු බවයි. “ඔවුන් ඉතා සාමකාමිව, යහපත්ව ජීවත් වෙන කණ්ඩායමක්. එයාලා හින්දු වුනත් අපේ පන්සලේ වැඩ කටයුුතු වලටත් සහභාගි වෙනවා. පන්සලත් එක්ක හොඳ සම්බන්ධතාවක් තිබෙනවා. එපමණ කාලයක් සේවය කළ ඔවුන් වත්තෙන් නෙරපා දැමීම නොවෙයි කළ යුත්තේ, ඔවුන්ට හිමි නිසි ගෞරවයෙන් ඔවුන්ව පිළිගැනීමයි. ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතුයි.” යනුවෙන් ගෞරවනීය විහාරාධිපති හිමිනම ද පැවසූහ.
ඉංදියාවේ සිට පැමිණ, හැම්මෑලිය වත්තේ කංකාණම්වරයෙකු සේ සේවය කළ ක්‍රිෂ්ණපුල්ලේ ගෝපාල් මුත්තාගේ සිට ශාස්ත්‍රවේදි උපාධියක් හිමිකරගන්නට තරම් දක්‍ෂතාවක් දැක් වූ සින්නය්යා පුෂ්පකාන්ති මිනිබිරිය දක්වා මලෛයහා දමිළ කුටුම්භය, ජීවිත පූජාකරමින් හැම්මෑලිය වත්තට ලබා දී ඇති වහල් ශ්‍රම දායකත්වය තුළ අවසන් වශයෙන් අපට පෙන්වා දෙන යාථාර්තය වන්නේ, දැනට ඉතිරිව සිටින පවුල් 09, තග දමා හෝ නීතිය නවා හිස් අතින් වත්තෙන් පිටමං කරවන්නට නොව , එවැනි තුච්ච්‍ය ක්‍රියාමාර්ගයකට පිඹුරුපත් සකසන සසංකා සමරසිංහ වතු අයිතිකාරණිය නීතියේ සත්කාරය ලබාදී, සේවක පවුල් වත්තෙන් නෙරපා හැරීම වෙනුවට, ඔවුන් ඉල්ලා සිටින පර්චස් 15 බැගින් වූ භූමි ප්‍රමාණය හා අහිමි වූ කම්කරු අයිතිවාසකම් ලබාදීමට කටයුතු සිදුකරවීම නොවන්නේ ද? මන්දයත්, ගෝපාල් සන්දනම්ලා හැම්මෑලිය වත්තේ නිත්‍ය ශ්‍රමිකයින් ලෙස ට ඔවුනට හිමිවිය යුතුව තිබූ කිසිඳූ අයිතිවාසිකමක් වත්තෙන් ලබා දී නොතීබීම ම, ඊට අවශ්‍ය සහතිකය ලබා දී ඇත.
ක්‍ෂේත්‍ර චාරිකා සටහන සහ ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා