මහත් ආන්දෝලනයකට ලක් වූ ගල්කිස්ස අධිකරණ භූමිය තුල ඇති වු ආරවුලකදී ප්‍රසිද්ධියේ නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් පරුෂ සහ කුණුහරුප භාවිත කිරීම දුර දිග යෑමට ඉඩ තිබෙන බව වාර්තා වේ. මෙම සිදුවීමෙහි දී නීතිඥ සංගමය වන්නිනායක ආරක්ෂා කල අතර පොලිසිය සිය කොස්තාපල්වරයා ආරක්ෂා කළේය.
එලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ නොසන්සුන් ලෙස හැසිරීම සහ අසභ්‍ය වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කළ හැකිද යන්න පිළිබඳව පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසනු ඇති බව ආණ්ඩුවේ සන්ඩේ ඔබ්සවර් පුවත්පත වාර්තා කරයි..
මේ සඳහා ඇති නීතිමය මාර්ග මොනවාදැයි සොයා බැලීම සඳහා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර්ස් පවසා තිබේ
“වන්නිනායකට චෝදනා එල්ල වී ඇති වැරදි සඳහා අපි දැනට බී වාර්තාව කෙටුම්පත් කරමින් සිටිමු. බී වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්නෙමු,” සහකාර පොලිස් අධිකාරී වූට්ලර් තවදුරටත් පවසා තිබේ.
ඔක්තෝබර් 10 වන දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ තමා අතර ඇති වූ ආරවුලකින් පසු රාජකාරියේ යෙදී සිටි රජයේ සේවකයෙකුට බාධා කිරීමේ චෝදනාව මත නීතිඥ වන්නිනායකට දණ්ඩ නීති සංග්‍රහයේ 183 සහ 334 වගන්ති යටතේ චෝදනා එල්ල වී තිබේ. නීතිඥ වන්නිනායක සහ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැර තිබේ.
අධිකරණ ක්‍රියාමාර්ග සහ සිරිත් විරිත්වලට ගරු නොකරන ඕනෑම පුද්ගලයෙකු අධිකරණ නිලධාරීන් හෝ අධිකරණය තුළ අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතුය. සිද්ධිය අතරතුර එසේ කිරීමට අපොහොසත් වූ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැනටමත් පියවර ගෙන තිබේ.
දේශපාලන අංශ දක්වන්නේ මෙය සාමදානයෙන් බේරා ගැනීමට කටයුතු කිරීමට උත්සාහ දැරිය යුතු බවය. එනමුත් ඒ සඳහා එක් කොන්දේසියක් වන්නේ නීතිඥ වන්නිනායක සිය පරුෂ සහ අසභ්‍ය වචන සම්බන්ධයෙන් සමාව ඉල්ලීම බව ද එම අංශ සඳහන් කරති.