පසුගිය 14 දා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක විසින් ඇප ලබා දී නිදහස් කරන ලදී.
නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේදී එනම් 2010 වසරේදී අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංඟුවට ගන්නා ලද්දේ පසුගිය ජූලි 28දාය. එම තරුණයා නාවික හමුදා කඳවුරේ රඳවා තිබූ බව ඔහු දැන සිටි බව චෝදනාවෙන් කියැවේ. පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් නොතිබුණි.
මෙම ඇප ලබා දීමෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙහි අධ්‍යක්ෂ (එනම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර) මහාධිකරණ විනසුරුවරයා විසින් දෝශදර්ශනයට ලක් කළ බව සමාජ මාධ්‍ය ප්‍රචාරය කළේය.
මුහුණූ පොතෙහි නීතිමය කරුණූ සම්බන්ධයෙන් අවබෝධය ඉහළ නංවන ජනප්‍රිය ප්‍රසිද්ධ නීතිඥයකු වහාම මෙසේ සටහන් කළේය. එය අත්වැරුද්දක් වීමට පුලුවන. නමුත් එම අදහස වයිරස් විය.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න අත් අඩංගුවට ගැනීමේදී අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කටයුතු කල ආකාරය දෝෂ සහගත බවද, සීඅයිඩී අධ්‍යක්ෂවරයා විසින් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ සදහන් නියමිත ක්‍රමවේදය අනුගමනය කර නැති බව ද මහාධිකරණ විනිසුරුවරයා කී බව එහි අදහස විය. එම සටහන කියා සිටයේ මෙවැනි දේ කරනු වෙනුවට ශානි අබේසේකර ගෙදර යෑම නම්බුකාර බවයි.
එම සටහන බෙදා ගත් මුහුණූ පොත්කරුවෝ ශානි අබේසේකර මිය යා යුතු අන්දම ද අපහාසාත්මක කතා කීහ. වහාම රාජපක්ෂවාදී වර්ගවාදීහු ශානිට එරෙහිව වෛර ව්‍යාපරයක් පටන් ගත්හ.
එවැනි ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා කර නැති බවට ඉක්මණින්ම සනාථ විය. තරුණ යූ ටියුබිකරුවකු ඒ පිළිබඳව වැඩ සටහනක්ද කළේය.
එසේ තිබියදීත් මෙම දුෂ්තොරතුර සති අන්තයේ ටිරන් අලස්ට අයත් ඉංග්‍රිසි පත්තරය වන සිලෝන් ටුඩේ හි කතුවැකියට ද රිංගා තිබුණී.
එය මෙසේ කියයි:
“එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ, සම්මානලාභී යුද ප්‍රවීණයෙකු වූ උළුගේතැන්න මහතාට ඇප ලබා දෙමින් කුරුණැගල මහාධිකරණය, සීඅයිඩී හි හැසිරීම දැඩි ලෙස විවේචනය කළ අතර, එහි ක්‍රියා පටිපාටි අපරාධ නඩු විධාන සංග්‍රහය උල්ලංඝනය කර ඇති බව සඳහන් කළේය. සීඅයිඩී අධ්‍යක්ෂවරයාගේ (එනම් ශානි අබේසේකරගේ) හැසිරීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට නොගැලපෙන බවත්, පරීක්ෂණ නීතියට අනුව දැඩි ලෙස පැවැත්විය යුතු බවත් විනිසුරුවරයා සඳහන් කළේය. ඔහුගේ වචන නීතිය ආරක්ෂා කිරීමට අදහස් කරන ආයතනයටම දැඩි චෝදනාවක් වූ අතර, බොහෝ දෙනා සැක කරන දේශපාලනීකරණය තහවුරු කළේය.”
කතුවරිය මෙම උදෘතය ලබා ගත්තේ කුමන නඩු වාර්තාවකින්ද නැත්නම් කුමන අධිකරණ වාර්තාකරුගෙන් ද යන්න එහි දක්වා නැත.
මෙයට කලින් මෙම පුවත්පත නන්දන ගුණතිලකගේ කර පිට නැගී අල්ලසස් සහ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාටද ප්‍රහාරයක් එල්ල කළේය.
දැන් ටිරන් අලස් සතු යැයි කියන විදේශ ධන සම්පත් පිළිබඳව පෙරටුගාමී පක්ෂය අල්ලස් කොමිසමට පැමිණිළි කර තිබේ. ප්‍රහාර උග්‍රවනු නොඅනුමානය.
පසුගිය 16 වන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු හමු වූ මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක, තමා නොකළ ප්‍රකාශයක් නිර්මානය කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙහි අධ්‍යක්ෂ ශානි අබේසේකරට තමා දොස් පැවරුවේය යන ව්‍යාජ පුවතක් ප්‍රචාරයවීම ගැන කණස්සල්ල පළ කර තිබේ. ඔහු එම කනස්සල්ල ශානි අබේසේකර වෙත දන්වන ලෙස ද ඉල්ලා සිට තිබෙන බව අපේ ආරංචි මාර්ග දක්වයි.
ශානි අබේසේකර මුලින්ම ගෙදර යැවුවේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඔහු ගෙදර යැවීම අදත් දූෂිත සහ භීෂිත දේශපාලන බලවේග වල උවමනාවයි.
සුනන්ද දේශප්‍රිය/ SriLanka Brief