ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක අර්ථසාධක මුදල් ගෙවීම මාස 13ක් පැහැර හැර ඇති බව කියමින් එහි වෘත්තීය සමිති 7ක් කම්කරු කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
ජාතික සේවක සංගමය, සමගි සේවක සංගමය, නිදහස් සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, කාර්මික නිලධාරීන්ගේ සේවක සංගමය, නිෂ්පාදන සේවා සේවක සංගමය හා රූපවාහිනී නිෂ්පාදකවරුන්ගේ සංගමය අදාළ ලිපියට අත්සන් කර තිබේ.
මෙහි පිටපත් ජනාධිපති ලේකම්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යවරයා, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් හා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකර ඇත.
අදාල ලිපියෙන් පෙන්වා දී ඇත්තේ 2023 වසරේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල ද, 2024 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු හා මැයි මාසවල ද, මේ වසරේ (2025) මාර්තු, මැයි, ජුනි, ජූලි හා අගෝස්තු මාසවල ද සේවක අර්ථසාධක මුදල් ගෙවීම පැහැර හැර ඇති බවයි.
කෙසේවුවද, ජාතික ජන බලවේගය පාලනයට පැමිණීමෙන් පසුව රූපවාහිනියේ සභාපති ධූරයට පත්වූ අය අතරින් සේවක අර්ථසාධක වැඩිම මාස ගණනක් නොගෙවූ සභාපතිවරයා ලෙස වත්මන් සභාපති ගිහාන් ද සිල්වා බවද පැවසේ.
ඔහු රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට පත්වූයේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ඔහුගේ පාලන තුළ ගෙවුණු මාස 11ක කාලයෙන් මාස 5ක්ම සේවක අර්ථසාධක මුදල් ගෙවා නොමැත.
රූපවාහිනිය තුළ සේවකයන් 600ක් පමණ සේවය කරනු ලබන අතර මේ සේවක අර්ථසාධක මුදල් නොගෙවා ඇත්තේ අදාළ සේවකයන්ගෙන් එම මුදල් අයකරගෙන තිබෙන පසුබිමකවීම ද විශේෂිතය.
මීට පෙර මෙහි සභාපති ලෙස කටයුතු කළ සෙනේෂ් බණ්ඩාර දිසානායක එම ධූරයට පත්ව තිබුණේ 2024 සැප්තැම්බර් මාසයේදී වන අතර ඔහු එම ධූරය දැරූ සමයේදී සේවක අර්ථසාධක මුදල් පියවා තිබීම ද විශේෂිතය.
