Wednesday, October 15, 2025

“සුදු කොඩි රැගත් එල්ටීටීඊ නායකයින්ට වෙඩි තැබීමට ගෝටා, ශවේන්ද්‍රට අණ දුන්නා; වීඩියෝවක් තියෙනවා. එය සිදුවුණේ නැහැ!” – සරත් පොන්සේකා

(Sri Lanka Brief/14 October 2025) තිස් අව්රුදු යුද්ධයේ අවසාන දිනයක එල්ටීටීඊ නායකයින් වන බාලසිංහම් නඩේසන් සහ සීවරත්නම් පුලිදේවන්, ඔවුන්ගේ පවුල් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය, නෝර්වේ, එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ඇතුළු ජාත්‍යන්තර මැදිහත්කරුවන් හරහා යටත් වීම සඳහා සාකච්ඡා කර තිබුණි. යටත් වීමේ ලකුණක් ලෙස සුදු කොඩි රැගෙන ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකයට යටත් වන ලෙස ආණ්ඩුව ඔවුන්ට උපදෙස් දී තිබුණි. කෙසේ වෙතත් එලෙස යටත් වීමට පැමිනි විශාල සංඛ්‍යාවකට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල විය.

58 වන සේනාංකයට  අණ දුන්නේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. 2020 දී ජනාධිපති ගෝඨාභය ඔහු ආරක්ෂක හමුදාවන්හි ප්‍රධානියා ලෙස පත්කර ගත්තේය.

දැන් යුද්ධ කාලීන හමුදාපති වූ පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු කොඩි රැගෙන එන පිරිසට වෙඩි තැබීමට එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට දුරකතනයෙන් දැනුම් දී තිබූ බව සනාථ කරයි.

ගෝටගේ ඇමතුම

මෙම දුරකථන ඇමතුම ලැබුණේ 2009 මැයි 17වනදාය. එදින මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මෙරට රතු කුරුස ආයතනයේ සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ප්‍රධානියා සාකච්ජාවක් පැවැත් වූ බවත් සුදු කොඩි රැගෙන යටත්වීමට එල්ටීටඊ නායකයින් ගණනාවක් සූදානම් බව එහිදී දැනුම් දී ඇති බවත් සරත් පොන්සේකා පවසයි.

එසේ නමුත් ගෝඨාභයගේ ඝාතන නියෝගය යුද භූමිය කරා නොගිය බවත් යුද හමුදාව සටන් කළේ තමා යටතේ  බවත් සරත් පොන්සේකා පවසයි.  ඔහු තවදුරටත් පවසන්නේ එම යුද්ධය ඇරඹුණේ 18 දින අලුයම එළිය වැටීමට පෙර බවත් එවැනි අවස්ථාවකදී සුදු කොඩි නොව කුමක් ගෙන ආවද මරණයට පත් වන බවයි.

එනමුත් ඒ අවස්ථාවෙහි එම සුද පෙරමුණ බාරව සිටියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාය. සරත් පොන්සේකා එම යුද බිමෙහි සිටියේ නැත.

මෙම සිදුවීම දුටු සාක්ෂිකරුවකු සඳහන් කරන්නේ එදින උදෑසනම තමා එහි ගිය බවත් සුදු කොඩි රැගෙන මිය ගොස් සිටි එල්ටීටීඊ ප්‍රධානීන්ගේ සහ අනෙක් පිරිස් වලට පිටුපසින් සහ ඉදිරියෙන් වෙඩි තබා තිබූ බව පෙනෙන්නට තිබූ බවය. අවි ගත් එල්ටීටීඊ සාමාජිකයින් ද මිය ගොස් සිටි බවද ඔහු සඳහන් කර තිබේ.

සුදු කොඩි රැගත් පිරිසක් පැමිණියේ නැතැයි සරත් පොන්සේකා ස්ථිරවම නොකියයි. ඔහු කියන්නේ සුදු කොඩි ගෙන ආවද හමුදා වෙඩි පහර හමුවේ මරණයට පත්වන්නට ඉඩ තිබූ බවයි.

පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සමඟ යූ ටියුබ් සාකච්ජාවකට එක් වෙමින් මෙම කරුණ අරභයා පළ කරන ලද අදහස් පහත දැක්වේ.

“එතකොට මේ  සුදු කොඩි කතාව  මම 17 රෑ ආවේ ආපහු චීනයේ ඉඳලා… මම නැති අතරේ 17 දා  උදේ වරුවේ මේ ගොල්ලෝ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල් අයි සී ආර් සී., ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ලංකාවේ ප්‍රධානියා,  ඊළඟට එරික් සෝල්ඩ් හයිම් ඔය වගේ මිනිස්සුත් එක්ක ලොකූ සාකච්ඡා කියලා තියෙනවා. සුදු කොඩි අරං එන්න පුලුවන්. යටත් වෙන්න පුලුවන් වගේ කතා.

හැබැයි මට කිව්වේ නෑ. මං ආවායින් පස්සේවත්  මට වචනයක්වත් කිව්වේ නැහැ ගෝඨාභය.  මම ආවේ 17වනදා රෑ නමයට.

ඒ කතාව අතරේ ගෝඨාභය කෝල් එකක් දීලා තියෙනවා ශවීන්ද්‍ර සිල්වාට. ටෙලිෆෝන් එක තියලා ශවේන්ද්‍ර කනිෂ්ඨ නිලධාරීන්ට කියල තියෙනවා, ‘කෝල් එක ආවේ ආරක්ෂක ලේකම්ගෙන්. මේ සුදු කොඩි අරගෙන යටත් වෙන්න කැමතියි කියලා කට්ටිය කියල කියනව. මෙයා කියනවා මරලා දාන්න ඔක්කොම කියලා.’ ඔය වගේ බහුභූත කතාවක් කියලා. මාධ්‍යවේදීන් එතන හිටියනේ කැමරා හයි කරගෙන. එහෙම තමයි මාධ්‍යවේදී අතට ඕක ගියේ.  “මං ළග ඒ වීඩියෝව තියෙනවා. මම ළඟදි ඒක ජනගත කරනවා.”

හැබැයි ගෝඨාභයයි ශවේන්ද්‍රයි  කිව්වට සුදු කොඩි  ප්‍රශ්නයක් යුද්ධ භූමියට ආවේ නෑ. මොකද  රෑ දෙකහමාරට තමයි යුද්දෙ පටන් ගත්තේ කරුවලේ. එතකොට ත්‍රස්තවාදීන් කුඩා ප්‍රදේශවලට කොටු වෙලා හිටියේ. එතකොට සුදු කොඩි අරන් එන්න පුළුවන් තත්වයක් නෑ.

ත්‍රස්තවාදී තමයි ඉස්සෙල්ලා වෙඩි තියන්න පටන් ගත්තෙත්. එතකොට අපේ පාබල හමුදා සෙබලුයි, කමාන්ඩෝ භටයොයි, විශේෂ බලකා භටයොයි ඔක්කොම එකපිට එක වෙඩි තියන්න ගත්තා. එතකොට සුදු කොඩි නොවෙයි මොනව අරං ආවත් බේරෙන්නේ නැහැ. කරුවලේ.

යුද්ධ භූමියේ කට්ටිය මගේ නියෝග අනුව සටන් කරා. එතකොට ඒ පණිවිඩ ගිහිල්ලා තිබුණේ නෑ යුද්ධ භූමියට. ඔය කියපු  කතාව මම හිතන්නේ ඒක එතනින්ම ඉවර වෙන්න ඇති.

2010 ජනාධිපතිවරණ වෙලේ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මගෙන් ඇහුවා සුදු කොඩි අරන් එන අයට මරන්න කියලා නියෝග දීලා තියෙනවා නේද කියලා.  මං දුන්නේ එක උත්තරයයි. ඒ තමයි මාධ්‍යවේදීන් දෙදෙනෙකුත් ඕක මගෙන් ඇහුවා කියලා.

ඊට පස්සේ ප්‍රෙඩ්රිකා ගිහිල්ලා පස්සෙන්ද එයාගේ ලීඩර් පත්තරේ හෙඩ් ලයින් එතේ ලිව්වා ‘සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්න  කිව්වා කියලා ජෙනරල් කියනවා’ කියල.  .  මම දන්නවද ඔය කියපු කතාවකුත් කිව්වෙත් නැහැ. එතකොට මම ඔය කතා මොකක්ද දන්නෙත් නැහැ.”

210 ජනාධිපතිවරණයෙන් පසු ප්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ ලිපිය මත පදනම්ව ෆොන්සේකා අත්අඩංගුවට ගෙන චෝදනා කිහිපයක් ඉදිරිපත් කරන ලදී. සුදු කොඩි සිදුවීම පිළිබඳ කරන ලදැයි කී ප්‍රකාශය මත ඔහු වැරදිකරැ බවට නිගමනය කර  2011 දී වසර තුනක සිර දඬුවමක් නියම කරන ලදී.

එම නඩුව අවස්ථාවෙහි දී පොන්සේකා තමා  ළඟ ඇති බව කියන වීඩියෝව ප්‍රසිද්ධ කළේ නැත. මෙම ප්‍රකාශය ශවේන්ද්‍ර සිල්වා කළ අවස්ථාවෙහි එහි සිටියේ එකම එක රෑපවාහිනී මාධ්‍යවේදියෙකි. ඒ ජාතික රෑපවාහිනී සංස්ථාවේ වසන්ත රාමවික්‍රමය.

මෙම වීඩියෝව රජයේ රූපවාහිනිය වෙනුවෙන් යුද්ධ වාර්තා කල රාමවික්‍රම සතුව ඇතයි වාර්තා විය. පසුව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ ලබා එම වීඩියෝව එරට  අදාළ නිතී අංශයන්ට ලබා දුන් බවට නිල නොවන වාර්තා ඒ කාලයේම අසන්නට ලැබුණි.

සරත් පොන්සේකාට එම වීඩියෝව ලැබෙන්නට ඇත්තේ කවරකුගෙන්ද යන්න දන්නේ ඔහුම පමණි.

Archive

Latest news

Related news