තාජුඩීන් ඝාතනය: යසාරා ගැන ව්‍යාජ පුවත් මැවූ යූ ටියුබ් සුදාට වාරණයක්
සුදා පෙනී සිටියේ ජාතික ජන බලවේගයේ යු ටියුබ්කරු ලෙසය. 2020 දී ඔහු ගොටා වෙනුවෙන් දදරදිය ඇද්දේය.
(Satahan/ Whatnews) ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් එස්.ඒ. සුදත්ත තිලක්සිරි යන අයගේ යූ ටියුබ් (YouTube) නාලිකාව හා අන්තර්ජාල නාලිකාවන් ඔස්සේ යසාරා අබේනායක මහත්මිය ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ කරන ලද අපහාසාත්මක අන්තර්ගතයන් තවදුරටත් ප්‍රකාශ කිරීම තහනම් කරමින් ඔක්තෝබර් 10 වැනිදා කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ 2004 අංක 9 දරණ මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මූලික කරගනිමින් යසාරා අබේනායක මහත්මිය විසින් එස්.ඒ. සුදත්ත තිලක්සිරි (1 වන වගඋත්තරකරු), Google LLC, D/B/A YouTube (2 වන වගඋත්තරකරු) සහ TikTok Inc. (3 වන වගඋත්තරකරු) යන ආයතන වගඋත්තරකරුවන් බවට පත් කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලද පෙත්සමක් පදනම් කරගෙන ය.
පෙත්සමේ අඩංගු කරුණු සහ පීඩාවට පත්වීම පිළිබඳ පැහැදිලි කිරීම:
පෙත්සම්කාරිය වන මාබොටු වන විතානගේ යසාරා අබේනායක මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ, 1 වන වගඋත්තරකරු වන එස්.ඒ. සුදත්ත තිලක්සිරි විසින් 2025 සැප්තැම්බර් මස 28 දින හෝ ඊට ආසන්න දිනයක, ඔහුගේ CLASSIC SUDAA නම් YouTube නාලිකාවේ (2 වන වගඋත්තරකරු) සහ THAKKADI නම් TikTok නාලිකාවේ (3 වන වගඋත්තරකරු) විකාශය වූ වැඩසටහන් හරහා අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවයි.
අපහාසාත්මක ප්‍රකාශයන්:
එම වැඩසටහන් වලදී 1 වන වගඋත්තරකරු විසින්, වෙනත් කරුණු අතර පහත සඳහන් දෑ ද ප්‍රකාශ කර ඇති බව පෙත්සමේ සඳහන් වේ:
-
වසීම් තාජුඩීන් යන අයගේ මරණය “සෙක්ස් ඇරියස් එකකට” සිදු වූ බව.
-
“යසාරා යන අය විවිධ අය විසින් පාවිච්චි කරමින් සිටි බව”.
-
“තාජුඩීන් විසින් [ඇගේ] ලපයක් අහවල් තැන ඇති බව ප්‍රකාශ කිරීමට ගිය බව”.
-
එම උපන් ලපයක් පිළිබඳ ප්‍රකාශ කිරීම හේතුවෙන් වසීම් තාජුඩීන් යන අයගේ මරණය සිදු වූ බව.
පෙත්සම්කාරියගේ ප්‍රතිචාරය සහ පුද්ගලික පීඩාව:
-
යසාරා අබේනායක මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ “වසීම් තාජුඩීන්” නම් පුද්ගලයෙකුව නොදන්නා බවත්, ඔහු සමඟ කිසිදු සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නොතිබූ බවත්ය.
-
තවද, ඇගේ සිරුරේ පවතින්නායැයි පවසන එවැනි “ලපයක්” පිළිබඳව තමාට කිසිදු දැනීමක් නොමැති බවත්, තාජුඩීන්ගේ මරණයට අදාළ පර්යේෂණ අතරතුර වෛද්‍යවරියන් විසින් සොයා බැලුවද එවැනි කිසිවක් ඇගේ අදාළ ස්ථානයන්හි නොතිබූ බවත් ඇය අවධාරණය කරයි.
-
මෙම ප්‍රකාශ සැබෑ ලෙසම නොපවතින පුද්ගලික තොරතුරක් පිළිබඳව වන අතර, 1 වන වගඋත්තරකරු “සිතාමතාම සමාජගත කරනුයේ පෙත්සම්කාරිය හිරිහැරයට ලක්කිරීමේ චේතනාවෙන්ම” බවට ඇය ප්‍රකාශ කරයි.
හිරිහැරයක්
පෙත්සම්කාරිය ප්‍රකාශ කර සිටින්නේ 1 වන වගඋත්තරකරුගේ ක්‍රියාව හේතුවෙන් ඇය මේ වන විටත් නොයෙකුත් හිරිහැරවලට මුහුණ දී ඇති බවයි. ඇය මුහුණ දුන් ප්‍රධාන හිරිහැරයන් මෙසේය:
-
සමාජීය අපහසුතාව: සමාජයේ විවිධ පුද්ගලයින් 1 වන වගඋත්තරකරුගේ ප්‍රකාශය පිළිබඳ දැනුවත් වී ඇයගෙන්, ඇයව “පාවිච්චි කිරීම හා පෞද්ගලික තොරතුරක් වන ඇගේ අහවල් තැන ඇති බව පවසන ලපය පිලිබඳ” විමසීම.
-
පවුල් ආරවුල්: ඇගේ සැමියාගෙන් පවා පුද්ගලයින් මේ පිළිබඳව විමසීම හේතුවෙන් පවුල් ආරවුල් පවා ඇති වී හා එකී ආරවුල් දුර දිග යාමේ නැඹුරුතාවයක් ඇති බව.
-
දරුණු ලැජ්ජාව: දෙදරු මවක් වන තමාගෙන් ඇගේ පෞද්ගලික තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විමසීම හේතුවෙන් ඇය මහත් ලැජ්ජාවට හා අපහසුතාවයට පත්ව ඇති බව.
-
දරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත්වීම: ඇගේ දරුවන් ද මේ පිළිබඳව ඇයගෙන් විමසීම හේතුවෙන් දරුවන් දෙදෙනා ඉදිරියේ ද දැඩි ලැජ්ජාවකට මුහුණ දීමට සිදු වී ඇති බව.
අසංවෙදී වාර්තා:
ඇත්ත වශයෙන්ම යසාරා අබෙනායක කාන්තාවකි. අසාධාරණ ලෙස මෙන්ම අසංවෙදී ලෙස මෙම ඝාතන සිදුවීමට ඇගෙ නම ඇඳාගැනීමෙදී ඇය නිතිපතා පීඩාවට පත් වනු ඇත. ඇය යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය ලෙස කලක් සිටි බව ඇයම පෙත්සමේ කියා ඇත. එය අපරාධ වරදක් නොවේ. එතැනින එහා පුද්ගලික කරුණු ප්‍රචාරයෙන් ඇයට ඇතතෙන්ම පීඩාවක් එල්ල වී තිබෙ. මාධ්‍ය වාර්තා හරහා කාන්තාවන් ඉලක්ක කරගෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ශරීරය සම්බන්ධයෙන් හෝ ඇයගේ සබඳතා පිළිබඳ අසත්‍ය ප්‍රකාශ හෝ පදනම් විරහිත අනුමාන සමාජගත කිරීම බරපතල හානිකර තත්ත්වයකි.
-
පෙත්සමේ සඳහන් වන පරිදි, මෙම ප්‍රකාශයන් කාන්තාවකගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන අතර, ඇයගේ අභිමානයට හා ගෞරවයට හානි කර ඇත.
-
අන්තර්ගතය, “තැති ගැන්වීමේ හෝ පීඩාවට පත් කිරීමේ හෝ යම් තැනැත්තකුගේ අභිමානය උල්ලංඝනය කිරීමේ හෝ බියගන්වනසුළු, අවමන් සහගත, එදිරිවාදී, නින්දා සහගත හෝ වරදකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ” බලපෑමක් ඇති කරන බැවින් එය හිරිහැර කිරීමක් බව කිව හැක.
-
පෙත්සම්කාරිය දෙදරු මවක් සහ ගෘහණියක් ලෙස සිය පවුල සමඟ වාසය කරන අතර, මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් ඇයට සමාජයේ සහ තම පවුල තුළ දැඩි අපහසුතාවයට හා ලැජ්ජාවට පත්වීමට සිදු වී ඇත.
-
මෙවැනි ප්‍රකාශයන් කාන්තාවන්ගේ ‘පෞද්ගලික තොරතුරු’ පිළිබඳ සාධාරණ අපේක්ෂාවන් කඩ කරන අතර, එය 2024 අංක 09 දරන පනතේ 20(1) වගන්තිය යටතේ වරදක් ලෙස පෙත්සමේ දක්වා ඇත. අප මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට විවේචනයක් ගෙන එන්නේ, ඇතැම් අවස්ථාවල සාධාරණ අදහස දැකවීම් සහ වැදගත හෙළිදරව පවා තහනම් කිරීමට මෙම පනතෙන නියෝග ගත හැකි වන නිසාය. අප දිගින් දිගටම කියා සිටින්නේ යම් කෙනෙකුට අපහාස කරන, හිංසනාත්මක අදහස දැකවීම් සම්බන්ධයෙන් රටේ ඇති සිවිල් නිතිය ශක්තිමත්ව සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක කළ යුතු බවය. ඒ අනුව අප කිසිදිනෙක යසාරා අබේනායකට හෝ වෙන කිසිදු කෙනෙකුට හිංසනයක් ඇති වන මොහොතක කිසිදු නීතියක් නොතිබිය යුතුයැයි කියනනේ නැ. අපි කියන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබඳ පනත අවභාවිත කළ හැකි බවය.
අධිකරණ නියෝගය:
සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් වගඋත්තරකරුවන් වන එස්.ඒ. සුදත්ත තිලක්සිරි, YouTube සහ TikTok ආයතන වලට එරෙහිව 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24(2) වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී. එමෙන්ම, 1 වන වගඋත්තරකරු වන එස්.ඒ. සුදත්ත තිලක්සිරි යන අයට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.
නඩුවේ ඉදිරි කටයුතු
2024 අංක 9 දරන පනතේ 24(1) වගන්තිය යටතේ සති 2 ක කාල සීමාවක් තුළදී ගරු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී. පෙත්සමේ අන්තර්ගතය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ද ඉල්ලා සිටී. කොන්දේසි සහිත ආඥාව අවසානයේදී පනතේ 24(7) හෝ 24(8) වගන්තීන් යටතේ නියත ආඥාවක් බවට පරිවර්තනය කරන ලෙසට ඉල්ලා ඇත.
මෙම නඩුව ඔක්තෝබර් 28 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.