සුනන්ද දේශප්‍රිය.
මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක වළ දමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක ගැන අමෙරිකානු බුද්ධි ඒජන්සියක් මඟින් මෙරටට කල් තියා දැනුම්දීමක් කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කරයි.
මිද්දේනිය යනු රාජපක්ෂ දේශපාලනයේ තෝතැන්නකි.
එසේ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයන්හිදී මෙන් මේ අවස්ථාවෙහිදීද මෙම බුද්ධි තොරතුර මත අවශ්‍ය පියවර ගැනීමට මෙරට පොලිස් සහ අනෙකුත් අදාළ ආයතන අසමත් වී තිබේ. මෙම තොරතුරු ලබා දී ඇත්තේ 2024 අග භාගයේදීය. කන්ටේනර් මෙරටට ළගා වීමෙන් පසු නිදහස් කර ඇත්තේ 2025 ජනවාරි මාසයේදීය.
කන්ටේනර් අංක මෙන්ම මේ කන්ටේනර් දෙක ඉරානයේ ටෙහෙරාන් සිට මෙරටට එවා ඇති බවත්, ඒ තුළ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවත් එම බුද්ධි තොරතුරු මඟින් දැනුම්දී තිබේ.
මේ බුද්ධි ඒජන්සිය ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන එකක් බවත්, මීට පෙර ද එම බුද්ධි අංශය විසින් සාර්ථක තොරතුරු මෙරටට දී ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කරයන බව රජයේ පාලනය යටතේ ඇති දිනමිණ පුවත්පත වාර්තා කරයි.
මේ තොරතුර එම බුද්ධි ඒජන්සිය විසින් දී ඇතැයි පැවසෙන්නේ ඉකුත් වසරේ අග හෝ මේ වසරේ මුලදීය. ඒ වන විටත් එම කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කර තිබී නැත. මේ ගැන පොලිස් බලධාරීන් වහාම ක්‍රියාත්මක වී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද සහාය ඇතිව රේගු භාරයේ තිබු එම කන්ටේනර් දැඩි පරීක්ෂාවකට ද ලක් කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙන්ම ශ්‍රී ලංකා රේගුව ද මේ කන්ටේනර්වල තිබූ යම් කුඩු වර්ගයක් මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන උපකරණ මඟින් පරීක්ෂා කර ඇති බව ද සඳහන්ය.
එහෙත් පුදුමයකට මෙන් එහි මත්ද්‍රව්‍යයක් හෝ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනිකයක් ඇති බව තහවුරු කර නැතයි පරීක්ෂන මගින් තහවුරු කර ඇතැයි ප්‍රකාශ කර එම කන්ටේනර් මුදා හැරීමට පියවර ගෙන තිබේ.
එසේ නමුත් දැන් පොලිසිය වාර්තා කරන්නේ මෙම කිලෝ 50,000 අතර අයිස් නම් මත්ද්‍රව්‍ය සැදිමට ගන්නා මෙතැන්පිටින් නම් රසායනිකය අඩංගු බවයි. එසේ නම් 2025 ජනවාරි මාසයේදී කරන ලද පරීක්ෂණ මගින් ඒ බව සොයා ගැනීමට නොහැකි වූයේ මන්ද?
මේ කන්ටේනර දෙක මේ වසරේ ජනවාරි 27 වැනිදා රේගු භාරයෙන් මුදා හැර තිබේ.
මේ කන්ටේනර් තුළ රැගෙන ආ ද්‍රව්‍ය කුමක්දැයි පැහැදිලි නැතත් මේ තුළ අයිස් කිලෝ 2000කට වැඩි ප්‍රමාණයක් ඇති බව බුද්ධි ඒජන්සිය මඟින් දැනුම්වත් කර තිබී ඇත.
කිලෝ 50.000ක වෙනත් තුඩුවර්ගයක් සමඟ මිශ්‍රකර මෙම එකී අන්තරායකාරී මත්ද්‍රව්‍ය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනැවිත් ඇති බව පැහැදිළිය. එය දැන දැනම වසං කරන ලද්දේ ද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.
මේ කන්ටේනර් මෙරටදී පරීක්ෂාවට ලක් කළ බවත්, එහි කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී හමු නොවූ බවත් මෙරටින් එම බුද්ධි ඒජන්සියට මෙරට අදාළ බුද්ධි අංශ විසින් දන්වා යවා තිබේ.
.පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිට මේ වන විට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද මේ කන්ටේනර් දෙකේ මත්ද්‍රව්‍ය ඇති බවට එහි අංක ද සහිතව එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයාට තොරතුරක් යොමු කර ඇත.
රජයේ පාලනය යටතේ ඇති දිනමිණ පුවත්පතට අනුව මෙම බුද්ධි තොරතුර ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස එකල සේවයේ නිරතව සිටි වත්මන් නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි විසින් වැඩබලූ පොලිස්පති සහ වත්මන් පොලිස්පති වන ප්‍රියන්ත වීරසූරිය වෙත දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ලෙස පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට දැනුම් දුන් නමුත් එහිදී අදාළ තොරතුරු පාර්ශ්ව වෙත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් වාර්තා කර ඇත්තේ එම තොරතුර ඊට කලින් තමන් වෙත ලැබුණු බවත්, කන්ටේනර් දෙක පරීක්ෂා කර කිසිවක් නොවූ බැවින් මුදා හැරිය බවත්ය.
එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව ද එම උසස් නිලධාරියා පැවසූ බව පොලිස් තොරතුරු සඳහන් වේ. කන්ටේනර් දෙක නිදහස් කර ගෙන ගියේ ගෘහ කර්මාන්තයේ නියුතු බාස් කෙනෙක් බව ද එහි සඳහන් වේ. බාස් කෙනෙකු කන්ටේනර් දෙකක් නිදහස් කර ගෙන යෑමම වැඩි දුර පරීක්ෂණ සඳහා නිමිත්තක් විය යුතුව තිබුණි.
මේ කන්ටේනර් දෙක මෙරටට එවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් බවත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මේ කන්ටේනර් තුළ රසායනික ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවත් හෙළි කර ඇත්තේ ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැක කැරෙන බැකෝ සමන් විසිනි. බැකෝ සමන් හමුවේ පවසා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සූදානම් වූ බවත්, ඒ සඳහා නුවරඑළියෙන් නිවාසයක් ද කුලියට ගත් බවත්ය. අයිස් නිෂ්පාදනය සඳහා සහාය වීමට පකිස්තානුවන් දෙදෙනෙක් ද මෙරටට ගෙන්වා ගත් බවත්ය. අයිස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉරානයේ සිට මෙරටට ගෙන්වූ බවත්, එම කන්ටේනර් දෙක කොළඹ වරායෙන් නිදහස් කිරීමෙන් පසු මිද්දෙණියට රැගෙන ගිය බවත් බැකෝ සමන් පවසා තිබේ.
ඇමෙරිකානු බුද්ධි අංශයකින් ලද තොරතුර නොසළකා හැරි පොලිසියට මෙම තොරතුර නොසළකා හැරිය නොහැකි වූයේ වෙනත් පොලිස් කණ්ඩායමක් මෙම බැකෝ සමන්ගෙන් ප්‍රශ්ණ කළ නිසාය.
එම කන්ටේනර් දෙක සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය සති අන්තයේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මිද්දෙණියට යන විට කන්ටේනර් දෙක තිබූ ස්ථානවලින් අතුරුදන්ව තිබුණි. පසුව වළදමා තිබූ කන්ටේනර් දෙක සොයා ගන්නා ලදී.
මෙම පරීක්ෂණය කර ගෙන යන්නේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල අධ්‍යක්ෂ ධුරය දරන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස 2019 වසරේ කටයුතු කළ මේ වන විට ලී ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් වන පියල් සේනාධීර මනම්පේරි නමැත්තා සහ ඔහුගේ සහෝදරයෙක් වන අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට මෙරවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි යන දෙදෙනා විසින් කන්ටේනර් දෙක තිබූ ස්ථානයෙන් අස්ථාන ගත කර ඇති බව විමර්ශණ නිලධාරීන් සොයා ගත්තේය.
කොහෙල්බද්දර පද්මේ නම් සංවිධානාත්මක අපරාධ සැකකරු විසින් නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට වූ ප්‍රවෘත්තිය මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වීමත් සමඟ මොවුන් දෙදෙනා විසින් මේ කන්ටේනර් දෙක තාප්පයකින් වට කරන ලද හිස් ඉඩමකට රැගෙන ගොස් එහි වළක් කපා ඒ තුළට කන්ටේනර් දෙකේ ඇති ද්‍රව්‍ය දමා වසා ඇති බවය. එම ස්ථානය කොන්ක්‍රීට් කිරීමට ද සූදානම් කර ඇති බව ද පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි.
සිකුරාදා එම ස්ථානයේ කැණීමක් කර වළ දමා තිබු යම් සුදු පැහැති කැට වර්ගයක් මතු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් විය. ඒවා අයිස් නිෂ්පාදනයට රැගෙන ආ රසායනික ද්‍රව්‍ය බවට සැක ඇති වූයේ ඉන් පසුය. කන්ටේනර් දෙකේම කිලෝ 50,000ක පමණ වූ ප්‍රමාණයක් එම ද්රව්යවලදමා තිබුණි.

මේ ස්ථානයට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාර පරීක්ෂකවරුන් ගෙන්වා කළ පරීක්ෂාවේදී සාම්පල් 20කින් 05කම අයිස් මත්ද්‍රව්‍යය අඩංගු සංඝටකයක් වන මෙතැන්පිටමින් තිබී ඇතැයි තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී උදය කුමාර වුඩ්ලර් දැන් පවසයි.
නමුත් වරායෙහි දී කළ පරීක්ෂණයේදී එම ප්‍රතිපලය ලැබුණේ නැත.
වළ දමා තිබු එම ද්‍රව්‍ය සියල්ල ගොඩගෙන රසායනාගාර පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත ද යොමු කර තිබේ.
ඒ අතර මේ කන්ටේනර් දෙකේ තිබු ද්‍රව්‍ය වළ දැමීමට සම්බන්ධ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් පෙරේරා 6 දා අත්අඩංගුවට ගන්නා ලදී. පියල් විරාජ් මනම්පේරි ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වී ඇත.
ශ්‍රී ලංකා පොදු පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් රැසක් සමඟ ඉතා කිට්ටුවෙන් මේ සැකකරු ඇසුරු කර ඇති බවටත්, ඇතැම් දේශපාලනඥයන්ගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් ද මොහු කටයුතු කර ඇති බවටත් තොරතුරු ඇති බවත් වාර්තා වේ.
පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද පියල් විරාජ් මනම්පේරි 2006 වසරේ ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකි. රවිරාජ් ඝාතන නඩුවෙන් සැකකරුවන් නිදහස් වූයේ පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පැමිණිල්ළට විරුද්ධව සැකකරුවන් වෙනුවෙන් දුන් සාක්ෂිය නිසාය.
මොහු එම නඩුවේ රජයේ සාක්ෂිකරු වූයේ නීතිපති සමාව යටතේය.ඒ වන විටත් පියල් විරාජ් මනම්පේරි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් වරයෙක් ද වේ.
රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවකු වීමට පෙර මොහු ගුවන් හමුදා නිලධාරියකු වූ නිශාන්ත ගජනායක සමග කොළඹ සිටි වෙළඳ ව්‍යාපාරිකයකු කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා පැහැර ගෙන ගොස් කප්පම් ගෙන ඝාතනය කිරීමේ වරදට චෝදනා ලබා සිටියේය.
ඒ වන විට මෙරටට සීනි පොල්තෙල් හා පරිප්පු වැනි පාරිභෝගික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ වෙළඳ අධිකාරිය මේ දෙමළ ව්‍යාපාරිකයා සතු විය.ඔහු ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ කෝටි 3000ක් වටිනාකමැති දේපොල ප්‍රබල දේශපාලඥයන් හා ආරක්ෂක හමුදා ඡ්‍යෙෂ්ඨයකු විසින් අත් පත් කර ගන්නා ලදැයි පැවසේ.කෙසේ වෙතත් ඔහු සතුව පැවැති එම වෙළඳ අධිකාරිය ඔහුගේ මිය යාමෙන් පසුව අත් පත් කරගත්තේ පිරමීඩ් විල්මා ආයතනයේ සජාන් මව්සාත් බව පැවසේ.සජාන් මවුසාත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකි.වෙළඳ ව්‍යාපාරික නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා ඝාතනය කිරීමත් ඔහු සතුව පැවැති ව්‍යාපාරික ජාලය ගෝඨාභයගේ හිතවතකු අතට පත් වීමත් අහඹු සිදුවීමක් නොවිය හැකි යැයි කවරකු හෝ සැක කිරීමද සාධාරණය.
පියල් විරාජ් මනම්පේරි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට ඒමට පෙර නැගෙනහිර කරුණා අම්මාන් ගේ ආරක්ෂක අංශයේ සේවය කළ බවද අනාවරණය වී ඇති බව හිටපු කමනේඩෝ භටයකු සහ ලේඛකයකු වන කිර්ති ලොකු ලියන සදහන් කරයි.කෙසේ වෙතත් පියල් විරාජ් මනම්පේරි රවිරාජ් ඝාතන නඩුවේ රජයේ නීතිපතිවරයා විසින් රජයේ සාක්ෂි කරුවකු කරන ලදී.
පියල් විරාජ් මනම්පේරිගේ එම අපරාධකාරී ඉතිහාසය රාජපක්ෂවරුන් විසින් හොඳින් දැන සිටිය දීත් පොලිස් සේවාවෙන් ඉවත්ව සිටි ඔහුට පොදු ජන පෙරමුණු දේශපාලනයේ නිරත වීමට අවස්ථාව ලබා දුන්නේය. ඉන් පැහැදිලි වන්නේ පියල් විරාජ් මනම්පේරි හා රාජපක්ෂවරුන් අතර පැවැති සමීපතාවයයි.
මෙම මත්ද්‍රව්‍ය සැඟවීමට සහ ජාවාරමට දේශපාලන ආවරණය ලැබෙන්නට ඇත්තේ රාජපක්ෂවරන්ගෙන යැයි සැක කිරීම සාධාරණය. මෙය කෝටි ප්‍රකෝටි ගණනක ජාවාරමකි.
නඩරාජා රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ විසින් පැරා මිලිටරි සංවිධානයක් වූ කරුණා පාර්ශවටයට රුපියල් කොටි 5ක් ලබා දුන් බවට එම නඩුවේ පැමිණිල්ල චෝදනා කළේය. ගෝටභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි සිදු කරන ලද ඝාතන ගණනාවකට ට්‍රිපොලි හමුදා කඳවුර, කරුණා සහ පිල්ලෙයාන් කණ්ඩායම් සමබන්ධ බවට චෝදනා එල්ල විය.පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන්ද පිල්ලෙයාන්ට චෝදනා එල්ල කළේ හිටපු ඔහුගේ ලේකම් වූ අසාද් මවුලානා විසිනි.
පසුගියදා මිද්දෙනියේදී ඝාතනය කළ අරුණ විදානගමගේ නොහොත් කජ්ජාගේ ඝාතනය කරන ලද චෝදනාව බැර වූයේ දැනට අත් අඩංගුවේ සිටින බැකෝ සමන් නැමැත්තාටය.මේ වන විටත් එම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙක් බන්ධනාගාර ගත කර සිටී.එම සැකකරුවන් අතර සිටින ජීවන් ප්‍රසාද් නැමැති සැකකරු සම්පත් විරාජ් මනම්පේරිගේ හිමිකාරිත්වය යටතේ පවතින මිද්දෙනිය කොළඹ බස් රථයේකොන්දොස්තරවරයා බවත් කීර්ති ලොකු ලියන සඳහන් කරයි. මෙම සැකකරු අරුණ විදානගමගේ ඝාතනය සඳහා යතුරු පැදිය පැදවූ හෝ වෙඩි තැබූ තැනැත්තා වියහැකි බව තොරතුරු අනාවරණය වී තිබේ. ඝාතනය යොදා ගත් යතුරු පැදිය දමා ගොස් තිබූ ගල්වලෙහි හිමිකරුද සම්පත් විරාජ් මනම්පේරි වේ.සඟවා තිබූ හෙරොයින් තොගයක් පිළිබඳවඔත්තුවක් ලබා දුන්නේ යැයි සැකයට අරුණ විදානගමගේ ඝාතනය කළ බවට තොරතුරු සමාජ ගත වූවද ඔහු ඝාතනය කිරීමට සැබෑ අවශ්‍යතාව තිබුණේ කවරෙක් හටද යන්න මින් තවදුරටත් පැහැදිලි කර ගත හැකිය.
මේ අපරාධයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් බැකෝ සමන් ගේ නමට මිනීමරුමේ බිල්පත ලියා ඇත්ත වසන් කර තිබෙන බවද පෙනෙන්නට තිබේ. බැකො සමන්ගේ හෙළිදරව් කිරීමක් අනුව අත්අඩංගුවෙහි සිටින සංවිධානාත්මක අපරාධ සැකකරුවකු වන කෙහෙහල්බද්දර පත්මේ ඝාතනය කිරීමට සකස්කරන ලද කැමරාවක් තුලට පිස්තේලයක් අතුල් කර තිබී සොයා ගත්තේ සති කිහිපයකට පෙරය. ඉන් පෙනීයන්නේ මෙම අපරාධ ජාලයන් කොතරම් සූක්ෂමද යන්නයි.
මෙම අපරාධකාරී ජාලය දෙස බලන විට පෙනී යන්නේ සංවිධානාත්මත අපරාධකරුවන්, පොලිසියේ සහ රජයේ උසස් නිලධාරීින් මෙන්ම රාජපක්ෂ පවුල අතර තිබී ඇති නිල සහ නිල නොවන සම්බන්ධයයි. පාස්කු ප්‍රහාරය පිටුපස එවැනි පාර රාජ්‍ය ජාලයක් තිබූණි. මෙම අතිවිශාල මත්ද්‍රව්‍ය ජාවාරම හෙළිදරව් විමත් සමඟ එම අපරාධකාරී පාර රාජ්‍යමය ජාලයක තවත් පැත්තක් නිරාවරණය වී තිබේ.
මෙම අපරාධකාරී පාර රාජ්‍ය ජාලයන් දේශපාලනික අරමුණූ සඳහා යොදවා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා සුලුකොට නොතැකිය යුතුය.
(දිනමිණ පුවත්පතට ගයාන් කුමාර වීරසිංහ සහ මුහුූණු පොතෙහි කීරිති ලොකු ලියන විසින් පළ කරන ලද කරුණූද ඇසුරු කරන ලදී)