Thursday, September 4, 2025

යස්මින් සූකාගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිමලරාජන් ඝාතනය කිරීම – සුනන්ද දේශප්‍රිය.

මුලින්ම කිව යුත්තේ මට රැස්වීම්වල කතා කිරීමට අහවල් ආසාවක් නැති බවයි. මා එවැනි ආරාධනයක් පිළිගන්නේ විශේෂ අවස්ථාවක දී පමණි.  මෙය එවැනි කතාවකි.

යස්මින් සූකා යනු ප්‍රසිද්ධ මානව හිමිකම් රාජ්‍ය නොවන නායිකාවකි. ඇය නායකත්වය දරන අන්තර් ජාතික සත්‍ය සහ යුක්තිය නම් සංවිධානයක් තිබේ. ඔවුන් මෑතකදී 2000 ඔක්තොම්බර් මාසයේදී ඝාතනය කරන ලද දෙමළ මාධ්‍යවේදී  මයිල්වාගනම් නිමලරාජන් සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබේ. එය යහපත් කාරියකි.

නිමලරාජන් ඝාතනය කළ අවස්ථාවෙහි එම ඝාතනයට විරුද්ධව එකල අප ක්‍රියාකාරී වැඩ කොටසක් කල නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහු වෙනුවෙන් යුක්තිය ලබා ගැනීම පිනිස පෙනී සිටියේය. එකල යස්මින් සූකා සිටියේ කොහි දැයි මා දන්නේ නැත.

ඉන්පසු නිමලරාජන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ද අපි කිහිප දෙනෙකු ක්‍රියාකාරීව මැදිහත් වූයෙමු. ඔවුන්ට කැනඩාවට වීසා ගැනීමට කලක් ගතවිය.

නිමලරාජන් වෙනුවෙන් මා ඒ යුද්ධ කාලයේදී යාපනයේ පැවැති රැස්වීමක කතා කරමින් අපරාධකරුවන් නීතියේ රැහැණට හසු කර ගත යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෙමි.

නිමලරාජන් ඝාතනය කිරීමේ ප්‍රථම සංවත්සරය වෙනුවෙන් කොළඹ පොස්ටරයක් ඇලවීමට සහභාගිවීමට සිටි මාධ්‍ය සගයින් කිහිප දෙනෛකුටම නොහැකි වූ නිසා ඒ වගකීම රැය පුරා අපි තිදෙනෙකු විසින් ඉටු කළෙමු.

නිමලරාජන් යනු විවිධ අදහස් ඉවසීමට සහ විවිධ පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට හැකියාවක් තිබූ මාධ්‍යවේදියෙකි. අප ඔහුගේ තිරිංග නැති  පා පැදියේ නැගී අනතුරුදායක ගමන් ගණනාවකම යෙදුනේ යුද සමයේ මාධ්‍ය වාර්තාකරණයන් වෙනුවෙනි.

මා මේ කරුණූ සඳහන් නිකමට නොවේ. පුරාජේරු කීමට නම් පිටු ගණනාවක් ලිවිය හැක.

යස්මින් සූකා ගේ සංවිධනය විසින් සකස් කර ඇති වාර්තාව තම සංවිධානය විසින් එළි දක්වන බවත් එහිදී එම වාර්තාව සහ නිමලරාජන් ගැන අදහස් දක්වන ලෙසත් බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා මට සතියකට පෙර ආරාධනය කළේය. මම එය පිළිගත්තෙමි. පසුගිය 31 දා හමුවකදී ද ඔහු එම ආරාධනය තහවුරු කළේය.

ඔහුගේ මාධ්‍ය නිලධාරියා පැමිණ මගෙන් ඒ සදහා ප්‍රචාරක වීඩියෝවක් ද ලබා ගත්තේය.

නමුත් 03 දින එම මාධ්‍ය නිලධාරියා මට එවන ලද ප්‍රචාරක පෝස්ටරයේ තිබුණේ වෙනත් කථිකයින් තිදෙනෙකුගේ නම්ය. මට කළ ආරාධනය ඉවත් කල බව අතුරුදහන් වූ පවුල් එකතුවේ ප්‍රධානියා වූ බ්‍රිටෝ ප්‍රනාන්දු හෝ මට දන්වා නොතිබුණි.

මම බ්‍රිටෝ සහෝදරයාට කතා කර මේ වෙනස ගැන ඇසුවෙමි. ඔහු කීවේ එම රැස්වීමට මුදල් දෙන, එම වාර්තාව ප්‍රසිද්ධ කල සංවිධානය එනම් යස්මින් සූකාගේ සංවිධානය මා එහිදී කතා කිරීමට විරුද්ධවය දන්වා ඇති බවයි.

මුදල් ආධාර දෙන සංවිධානයක එවැනි තහනම් නියෝගයක් හමුවේ මෙරට හිමිකම් ක්‍රියාකාරිකයකු වෙනුවෙන් පෙනී සිටීමට අසමත්වීම යටත් වීමකි.  අද මට පණවන ලද යස්මින් සූකාගේ තහනම හෙට වෙනත් විදෙස් ආධාර සංවිධානයක් වෙනත් හිමිකම් ක්‍රියාකාරිකයකුට නොකරනු ඇතැයි කිව හැක්කේ කාටද? යස්මින් සූකා පිහිටුවා ඇත්තේ භයානක පූර්වාදර්ශයකි.

ඉන් අදහස් වූයේ මගේ මාධ්‍ය නිදහස එනම් කතා කිරීමේ නිදහස යස්මින් සූකාගේ සංවිධානයේ මුදලට යටවී ඇති බවයි. නිමලරාජන් ජීවත්වූයේ නම් ඔහු කුමක් කියනු ඇත්දැයි මට සිත්විය. ඔහු කියන්නට තිබුණේ ‘ උන්ගේ සල්ලි  රෝල් කර පස්සා පැත්තේ ගහගන්න කියපන්’ කියා විය හැක.

මට විරුද්ධව යස්මින් සූකා සතුව යම් චෝදනාවක් ඇතොත් එය ප්‍රසිද්ධියේ ලියා දැන්වීම මානව හිමිකම් භාවිතය විය යුතුය. එම චෝදනා අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුවට දැන්වූයේ නම් ඔවුන් හෝ ඒවා ප්‍රසිද්ධ කළ යුතුය. චෝදනා නොමැතිව තහනම් නියෝග පැනවිය නොහැකිය.

යස්මින් සූකා  සහ ඇයගේ කණ්ඩායම 2009 වසරින් පසු ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ දී මා සමඟ සුහදව කටයුතු කළ කාලයක් තිබුණි.

මෙරට ජනවාර්ගික සාමය සහ මාධ්‍ය නිදහස  වෙනුවෙන් අප මෙන් බොහෝ ලාංකිකයින් ජීවිත පරිත්‍යගයෙන් ක්‍රියා කර තිබේ. බ්‍රිටෝ ප්‍රනාන්දු යන දශක ගණනාවක හිමිකම් ක්‍රියාකාරිත්වයේ නිර්භීත සහ ගෞරවනීය සංකේතයකි. යස්මින් සූකාගේ සංවිධානය මුදල් ටිකක් ලබා දී අහවලා ගන්න එපා යැයි කීමෙන් කරන්නේ ඔහුගේ ඒ ඉතිහාසය නොසළකා හැරීමකි. දුර්වර්ණ කිරීමකි. රැස්වීමක අදහස් දක්වන්නේ කව්දැයි තීරණය කිරීමට මුදල් බලයට හැකි නම් එය කණගාටුවට පමණක් නොව හෙළා දැකිය යුතු වර්ධනයකි.

හදිසියේ යස්මින් සූකා ගේ සංවිධානය මෙවැනි තීරණයකට ඒමට හේතුව ලෙස මට එක් කරුණක් සිහියට එයි. එනම් හිටපු නාවික  හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ලියන ලද ‘ ද ටර්නින් පොයිනට්’ නම් කෘතිය බ්‍රිතාන්‍යයේ විකිණිමට විරුද්ධව  ඇයගේ සංවිධානය විසින් ගෙන ගිය ව්‍යාපාරයයි. බ්‍රිතාන්‍යය එය තහනම් කළේය.  අන්තර් ජාල යුගයෙහි එක් රටක පොතක් තහනම් කිරීම හුදෙක් ප්‍රචාරක ක්‍රියාවකි. වසන්ත කරන්නාගොඩ යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සම්බාධක පණවා ඇති පුද්ගලයෙකි.

එම පොත තහනම් කරමින් ගෙන ගිය ව්‍යාපාරයට අදාළව මම එක් ප්‍රශ්ණයක් ඇසුවෙමි. එනම් බ්‍රිතාන්‍යයෙහි නාසි නායක සහ ජන ඝාතක ඇඩ්ලොප් හිට්ලර් විසින් ලියන ලද “මයින් කාම්ප්” යන කෘතිය තහනම් කර තිබේද යන්නයි. එය එරට තහනම් නැත.

එපමණක් නොව අන්තර් ජාතික යුද අධිකරණය විසින් යුද අපරාධකරුවකු ලෙස නම් කර ඇති ගාසාහි ජන ඝාතක ඊශ්‍රායල් අගමැති නෙතෙනයාහු බ්‍රිතාන්‍යයේ තහනම් පුද්ගලයකු නොවේ.

යස්මින් සූකාගේ මානව හිමිකම් දේශපාලනය නිමලරාජන්ගේ මාධ්‍ය සහ සමාජ භාවිතවට සපුරා පටහැණිය. එවැනි සංවිධානයක මුදලට යටවීම මාධ්‍ය නිදහස රැක ගැනීම නොව පාවාදීමක් බව කණගාටුවෙන් වුව කියා සිටිය යුතුය.

වාර්තාව ප්‍රසිද්ධ කිරීමේ අතුරුදහන් වූ පවුල් එකමුතුවේ රැස්වීමට සුභ පතමි.

Archive

Latest news

Related news