නේපාලයේ කොන්ග්‍රස්- කොමියුනිස්ට් සභාග ආණ්ඩුව නිරායුධ Gen Z විරෝධතාකරුවන් 19ක් ඝාතනය කරයි.
2025 සැප්තැම්බර් මාසයේ ආරම්භයේදී, නේපාලය තුළ තරුණ පරපුර විසින් නේපාලයේ දේශපාලන පද්ධතියට දැඩි බලපෑමක් සිදු කරමින් විරෝධතාවයක් සංවිධානය කරන ලදී. ඒ රජය විසින් Facebook, Instagram, WhatsApp, YouTube ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා 26ක් තහනම් කිරීම නිසාය. මෙය තරුණ තරුණියන් අතර දැඩි කෝපයක් ඇති කළේය. Gen Z පරපුරට මෙම අන්තර් ජාල වේදිකා සරසවිවල අධ්‍යාපනය, ව්‍යාපාර, සන්නිවේදනය සහ නිර්මාණශීලීත්වය සඳහා අත්‍යවශ්‍ය මෙවලම්ය.
නේපාලයෙහි මහාජන බලමුලු ගැන්වීම් සම්ප්‍රදායක් තිබේ. එරට රාජාණ්ඩුව පෙරලා දම්මේ එවැනි බලමුළු ගැන්වීම් මගිනි.
තහනම පනවා කෙටි වේලාවකින්, කාටමණ්ඩු නගරයේ මාර්ග Gen Z නේපාලය නමින් හැඳින්වූ විරෝධතාකරුවන්ගෙන් පිරී ගියහ. සිසුන්, කලාකරුවන්, ඩිජිටල් ව්‍යාපාරිකයින් සහ සාමාන්‍ය ජනතාව විසින් රජයට එරෙහිව නිහඬව විරෝධය පළ කළහ. නමුත් පාර්ලිමේන්තුව අසළදී පොලිසිය නිරායුධ විරෝධතාකරුවනට වෙඩි තැබීමෙන් 19ක් ජීවිතක්ෂයට පත්වූ අතර සිය ගණනකට ආසන්නව තුවාල ලැබීය. මිය ගිය අය අතර දොලොස් හැවිරිදි දරුවකු ද වේ.
මෙම වෙඩි තැබීමට අණ දුන් නේපාල ආණ්ඩුවේ තීරාණාත්මක බලයක් කොමියුනිස්ට්වාදී යැයි හදුන්වා ගන්නා පක්ෂයකට අයත්ය.
විරෝධතාකරුවෝ අගමැතිවන කොමියුනිස්ට් පක්ෂ නායක ‘කේපී හොරෙක් (KP Sharma Oli ) ගෙදර පලයව්’ කියමින් කෑ ගැසූහ. ඔහු දැන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන බවට ප්‍රකාශ කර තිබේ. විරෝධතාකරුවෝ දූෂණය පිටු දකින ලෙස කියන සටන පාඨ රැගෙන ආහ.

විරෝධතා හමුවේ සැප්තැම්බර් 9 දින රාත්‍රියේ, නේපාල රජය විසින් Facebook, Instagram, WhatsApp, YouTube, X ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26කට පනවා තිබූ තහනම ඉවත් කළේය.
තහනම ඉවත් කිරීම Gen Z විරෝධතා වලින් ඇති වූ බලපෑම හමුවේ සිදු වූ අතර, රජය විසින් ඝාතන ගැන සෙවීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. විරෝධතා තවම අවසන් වී නැත.
මෙම ඝාතන ලොව පුරා ජනමාධ්‍ය සංවිධානයන්හි විරෝධයට ලක්ව තිබේ.
නේපාලය පාලනය කරන්නේ කවුරුන්ද?
2025 වන විට, නේපාලය පාලනය කරන්නේ නේපාල කොංග්‍රසය (NC) සහ එක්සත් මාර්ක්ස්-ලෙනිනිස් පක්ෂය (CPN-UML) අතර ඇති සන්ධානයකි. 2024 ජූලි මාසයේදී මෙම සන්ධානය බලයට පැමිණි අතර, මාවෝවාදී මධ්‍යස්ථ පක්ෂය (CPN-MC) ද මෙහි දේශපාලන බලපෑම්වලට දායක වේ.
පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වුවද, NC පක්ෂය සහ CPN-UML අතර අභ්‍යන්තර ආරවුල් පවතී.
නේපාල පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ:
ආණ්ඩු පක්ෂය
-
නේපාල කොංග්‍රසය (NC) ආසන 88
-
නේපාල කොමියුනිස්ට් පක්ෂය (එක්සත් මාක්ස්වාදී–ලෙනින්වාදී) 76
-
අනෙකුත් 11
විපක්ෂය
CPN-මාඕවාදී මධ්‍යස්ථානය ආසන 32 ( ආණ්ඩුවට වක්‍ර සහයෝගයක් දෙයි)
රාස්ට්‍රිය ස්වතන්ත්‍ර පක්ෂය 21
අනෙකුත් 36
නේපාලයෙහි සෙනට් සභාවක් ද තිබේ. එහි බලයද මීට සමානුපාතිකය.
නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අනාගතය
නේපාලය 2008 දී රාජධානිය අවසන් කිරීමෙන් පසුව 2015 දී නව ව්‍යවස්ථාවක් සම්මත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය බලා ගිය නව මාර්ගයකට පිවිසීය. නමුත්, තවමත් බාධක රැසක් පවතින අතර, දැන් අනාගතය සඳහා විවිධ මාර්ග විවර වී ඇත.
තරුණ පරපුරේ ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදය
Gen Z පරපුර තොරතුරු තාක්ෂණය සහ ගෝලීය දැනුවත්කමෙන් සමන්විතය. ඔවුන්ගේ සක්‍රීයත්වය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නව ආලෝකයක් විය හැක. මෙම විරෝධතා බංගලිදේශයේ මෙන් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත්වනු ඇත්දැයි තවම නිශ්චිත නැත. ඔවුහු පාර්ලිමෙන්තුව අල්ලා ගත්තේ, ලංකාවේ අරගලය සිහි ගන්වමිනි.
සන්ධාන ආණ්ඩු පාලනයේ අඛණ්ඩ වෙනස්වීම් එහි විශ්වසනීයත්වය අඩු කර තිබේ. 2027 මැතිවරණය ප්‍රතිසංස්කරණයකට හෝ තවත් අර්බුදයකට මඟ විවිර කිරීමට ඉඩ තිබේ.
ප්‍රාදේශිය ආණ්ඩු පද්ධතිය ජනතාව අතර විශ්වාසය ලබා ගනිමින් පවතින අතර, එය ජාතික අස්ථිරතාවයට විකල්පයක් විය හැකි යැයි කල්පනා කෙරේ. නේපාලය පෙඩරල් ක්‍රමයක් ඇති රටකි.
සමාජ මාධ්‍ය තහනම අධිකාරිවාදය කරා ගමන් කිරීමේ අනතුරු හැඟවීමක් විය. ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අවධානයෙන් සිටිය යුතු බව විරෝධතාකරුවෝ කියති..
Gen Z පරපුර නේපාලයට පැවසූයේ—“අපි නිහඬ නොවන්නෙමු.” ඔවුන්ගේ විරෝධතාව සමාජ මාධ්‍ය සඳහා පමණක් නොව, තමන්ගේ අයිතිවාසිකම් සඳහා වූ සටනක් විය. නේපාලය අනාගතයට පිවිසෙමින් සිටියදී, එහි නායකයින් සහ ජනතාව විසින් ගන්නා තීරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කරනු ඇතද, නැවත අඳුරු කරනු ඇතද යන්න දැන් තීරණය වනු ඇත.