Sunday, July 20, 2025

හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කම්මුතුයි – ලොකු කුමා

යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට පොලිස් කොමිෂන් සභාව තීන්දු කර ඇති බව වාර්තා වේ. පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග නොගැනීම පිළිබඳව සිඳු කරන ලද විනය පරීක්ෂණයකින් ඔහු වැරදිකරු වී ඇති බවට ගත් තීන්දුවක් පදනම් කරගනිමින් පොලිස් කොමිෂම මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව ඉදිරිපත් වූ විනය පරීක්ෂණ වාර්තාව පිළිබඳව සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිෂන් සභාව විසින් සාකච්ඡා කර මේ තීන්දුව ගත් බවද වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට දුන් නියෝගයක් පොලිස් කොමිෂම විසින් නිසි පරිදි ක්‍රියාත්මක නොකර තිබුණි.ඒ සම්බන්ධයෙන් 2023 නොවැම්බර් 01 දින ශ්‍රේෂ්ඨාධිකරණ සත් විනිසුරු මඩුල්ල විසින්  ජාතික පොලිස් කොමිෂම වෙත බරපතල දෝෂාරෝපණයක් පවා එල්ල කෙරිණි.

එම විනය පරීක්ෂණය කඩිනම් කර එහි ප්‍රගතිය ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන ලෙසටද එහිදී නියෝග කෙරිණි.පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 කට අදල වන්දි ගෙවී⁣මේ කටයුතු වල ප්‍රගතිය විමසා බැලීම සඳහා කැඳවන ලද අවස්ථාවේ මේ නියෝගය නිකුත් කරන ලදී.

එදින සත් විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අගවිනිසුරුවරයා නිලන්ත ජයවර්ධනට එරෙහිව මීට පෙර ලබා දී ඇති නියෝගය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපති වරයා වනුවෙන් එහි පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස්⁣ ගෙන් කරුණු විමසා තිබුණි.

එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ⁣ජනරාල් දිලීප පීරිස් පැවසුවේ නිලන්ත ජයවර්ධනට එරෙහිව පවතින චෝදනා විමර්ශනය කිරීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු චම්පි ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පොලිස් කොමිෂම විසින් පත් කර ඇති බව සඳහන් කර තිබුණු බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.

හිටපු අගවිනිසුරුවරයා ජාතික පොලිස් කොමිෂම වෙත දෝෂාරෝපණය කර තිබුණේ ඒ අවස්ථාවේය.

චෝදනා පත්‍ර බාර දී තිබේ නම් ඒ විමර්ශනය ප්‍රමාද කරන්නේ මක් නිසාද කමිටුව පත් කරලා මාස දෙකකට වැඩි කාලයක් නිකම් බලා ගෙන සිටියේ ඇයි.

පොලිස්පතිවරයා මේ පිළිබඳව සොයා නොබලා සිටින්නේ මන්ද ?ජාතික පොලිස් කොමිෂමට මෙහෙම කටයුතු කරන්න හැකියාවක් නෑ.නීතිපතිවරයා ඇයි මේ කටයුතු අධීක්ෂණය නොකරන්නෙ.

නීතිපතිවරයා මේ කටයුතු වලට මැදිහත් විය යුතුයි යැයි ඒ අවස්ථාවේ හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණි.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව  පාස්කු ප්‍රහාරයේ වින්දිත පාර්ශවයන් විසින් මීගමුව මහාධිකරණයේ නඩු 182 ක් ද කොළඹ මහාධිකරණයේ නඩු 116 ක්ද ගොනු කර කර ඇති ⁣බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙදින අනාවරණය විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් සැපයීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව 2019 ඔක්තෝමබර් මස 23 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව දැක්වේ.එහිදී එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති එවකට නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කරන ලද ආනන්ද කුමාරසිරි පවසා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු එම ප්‍රහාරයට බලපා තිබෙන බවය.මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් ආරක්ෂක හා බුද්ධි අංශ⁣ වල කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක්ද එම වාර්තාවේ දැක්වේ.

1.ආරක්ෂක සහ බුද්ධි අංශ වල අවශ්‍ය ප්‍රතිසංස්කරණ

2.ශක්තිමත් මුල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම

3.ආගමික අන්ත වාදයේ  නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව

4.අධිකරණ ප්‍රමාද සම්බන්ධ⁣යෙන්  කටයුතු කිරීම ;නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම

5.වහාබ්වාදය හා ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව

6.මාධ්‍ය වාර්තා කරණය ,ව්‍යාජ පුවත් සහ අවධානය යොමු කළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර

7.දේශපාලකයන්/ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීමය

8.නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ යනාදී 

නිර්දේශ පාර්ලමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ දැක්වේ.

කෙසේවෙතත් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකද රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද නිලන්ත ජයවර්ධන සියලු බුද්ධි තොරතුරු වාර්තා කරන ලද්දේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට බව සඳහන් කර තිබුණි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා හා ජනපතිවරයා අදාල යැයි හැඟුණ අවස්ථාවලදී  පමණක් හුදෙක් දැන ගැනීම පිණිස පමණක් හැර අනෙක් කිසිම අවස්ථාවකදී තමන්ට බුද්ධි තොරතුරු ලබා නොදුන් බවද ඔහු එහිදී පවසා ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිෂම විසින් අනිවාර්ය නිවාඩු යවන ලද්දේ 2024 ජුලි 18 දිනය.2023 ජනවාරි 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවට අනුව ඔහුට එරෙහිව මූලික විමර්ශනයක් කිරීම සදහා ජාතික පොලිස් කොමිෂන් සභාව 2023 දෙසැම්බර් මස 17 වන දින චෝදනා පත්‍රයක් නිකුත් කර තිබූ බවද සඳහන්ය.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය⁣ පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම ⁣නිලධාරියා වේ.ඔහු වානිජවේදී උපාධිය,ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධියක් හා ගැටුම් නිරාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරූ අයෙකි.

Archive

Latest news

Related news