සුරාබදු ජෙනරාල්කම මුල්වරට දේශපාලන ඥාතියකුට!
කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරතන් මින් පෙර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේය. නාවික හමුදාවේ ස්වේච්ඡා හමුදාවේ නිලධාරියකු වූ ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම මීට දෙතුන් සතියකට ඉහතදීය. විශ්‍රාම ලැබූ කොමදෝරු ප්‍රේමරත්න ගැන ගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ලොකු කතාබහක් ඇති විය. ඒ, හමුදා කාරණාවක් අරභයා නොවේ. ඔහු දැන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාය.
අනුර කුමාර වාර්තා කඩයි
වසර එකසිය දහතුනක ඉතිහාසයක් ඇති සුරාබදු දෙපාර්තමේන්තුවේ මින් පෙර මුල් පුටුවේ වාඩි වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. නැතිනම් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි. ඒ ක්‍රම දෙකටම අයත් නොවූ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න රාජගිරියේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයට ගිය සතියේ පැරෂුටයකින් ගොඩ බැස්සේය. ඔහු සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණේ මුදල් ඇමැතිවරයා වන අනුර කුමාර දිසානායක ජනපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගිනි.
මුදල් අමාත්‍යංශයේ කුළුණු තුනම දේශපාලන ඥාතීන්ට
ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන කුළුණු තුනක් තිබේ. ඒ, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවය. රජයට වැඩියෙන්ම ආදායම් ලැබෙන මාර්ගය වන්නේ මේ දෙපාර්තමේන්තු තුනය. ජනාධිපතිවරයා දෙතුන් සතියකට ඉහතදී මේ ආයතන තුනේ ප්‍රධානියා වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් පුටුවටද දේශපාලන පත් කිරීමක් කළේය.
ඔහු තම නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මංත්‍රී ධුරයෙන් අස් කරවාගෙන මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස පත්කර ගත්තේය. පුරප්පාඩු වූ මංත්‍රී ධුරයට පත් කෙරුණේ ජාතික ලැයිස්තුවේ පැත්ත පළාතේවත් නොසිටි අයෙකි. ඔහු වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස කලක් රාජකාරි කළ, ජනාධිපති අතිරේක ලේකම් නිශාන්ත ජයවීරය.
මුදල් අමාතයංශ ලේකම් ධුරයට දේශපාලන පත් කිරීමක් කළ ජනාධිපතිවරයා ඒ පාරේම යමින් සුරාබදු කොමසාරිස් ධුරයට විශ්‍රාමික නාවික කොමදෝරුවකු පත් කළේ ඇයි? පොතේ හැටියට ජනාධිපතිවරයාට එවැනි පත් කිරීමක් කළ හැකි බවට හිත හදාගෙන ඒ පත් කිරීම අමතක කළ යුතුද? එය අමතක කළ යුතු නැත්තේ ජාතික ජන බලවේග ආණ්ඩුවකින් මෙවැනි දේශපාලන පත් කිරීම් ඡන්දය දුන් ජනතාව අපේක්ෂා නොකළ නිසාය.
මෙතෙක් පැවැති සියලුම ආණ්ඩු රාජ්‍ය සේවයට දේශපාලන පත්කිරීම් කළ බව සැබෑවය. මාලිමාව ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාව දෙවනත් කරමින් කෑමොර දුන් හැත්තෑ හය වසරක ශාපයට මේ දේශපාලන පත් කිරීමද අයත්ය.
රාජපක්ෂ සම්ප්‍රදාය
එවැනි දේශපාලන පත්කිරීම්වල ප්‍රතිපල අදත් එළි පිට දක්නට තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විනාශයට පාර කැපුණේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ සභාපති පුටුවට පත් වූ දා පටන්ය. මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහවත් සියවසකට වඩා පැරණි සුරාබදු දෙපාර්තමේන්තුවට මේ සා කලක් දේශපාලන පත්කිරීමක් කළේ නැත. දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව ඒ කාර්යයත් ඉටුකර තමන්ද ශාපයේ කොටස්කරුවකු බවට පත්වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු සිය ගණනක් සිටියදී එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්නට පමණක් සුරාබදු කොමසාරිස් ජනරාල් වීමට තිබූ විශේෂ සුදුසුකම කුමක්ද?
කැළණි සරසිවි නයාගේ විස්කම්
ඒ ප්‍රශ්නයට උත්තරය සොයා ගැනීමට නම් නව සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ ජීව දත්ත පත්‍රිකාව පරීක්ෂා කර බැලිය යුතුය. ඔහු තඹුත්තේගම, මකුලෑවේ උපන් අයෙකි. තඹුත්තේගම යනුවෙන් කී විට ඉස්සර අපට සිහි වූයේ ආර්ථික මධ්‍යස්ථානය පමණි. දැන් තඹුත්තේගම කී විට එකවර මතකයට එන්නේ ජනපති අනුර කුමාර දිසානායකගේ ගමය.
තඹුත්තේගම පාසල් ගිය එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න, කැලණිය සරසවියට ඇතුළු වූයේ එක්දහස් නවසිය අනූ එක අනූ දෙක අධ්‍යයන වර්ෂයටය.
අනුර කුමාර දිසානායකද කැලණිය විශ්වවිදයාලයට ඇතුළු වූයේ එම අධ්‍යයන වර්ෂයටය. අනුර කුමාර විද්‍යාවේදී උපාධිය හැදෑරුවේය. ප්‍රේමරත්න ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරුවේය. ශාස්ත්‍රවේදී උපාධියෙන් පසු ඔහු ශ්‍රාස්ත්‍රපති උපාධියක් දිනා ගත්තේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බළකායට බැඳුණේය. අවුරුදු පනස් පහක් සම්පූර්ණ වීම නිසා ඔහු ඉකුත් විසිතුන් වැනිදා රාජකාරි දිවියෙන් ඉසිඹු ලැබීය. කොමදෝරු ප්‍රේමරත්න විවාහ වී සිටින්නේ ජ්‍යෙෂඨ මහාචාර්ය වසන්තා සුබසිංහ සමගය.
සුරාබදු ලොක්කාගේ ඇඹේනිය ගුවනට
සැමියාට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ මුලින් කතාබහට ලක් වූයේ ඇගේ නමය. ඈ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තුවේ සිටි අපේක්ෂිකාවකි. ඇයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේය. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සේවය කළ ඈ, ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ පසු යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරිය ලෙස පත්වීම් ලැබුවාය. විශ්වවිද්‍යාලයක උප කුලපති පත් කිරීමේ බලය ඇත්තේද ජනපතිවරයාටය.
ජනපතිවරයා සිය පක්ෂයේ සහෝදරවරියක වන ජාතික ලැයිස්තුවේ සිටි අපේක්ෂිකාව උප කුලපතිනිය කර නතර වූයේ නැත. සමාජ සංවර්ධන ආයතනයේ සභාපතිනිය වශයෙන්ද නව ආණ්ඩුව යටතේ පත්ව සිටියේ ඇය ය.
කොළඹ සරසවි උපකුලපතිත් පක්ෂයෙන්
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුබසිංහ පමණක් නොවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස ජනාධිපති විසින් පත් කරනු ලැබුවේ මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයට සහාය දක්වමින් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ මහාචාර්යවරයෙකි.
ඒ කතා කෙසේ වෙතත් කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්නට රැකියා විරහිත උපාධිධාරී විශ්‍රාමිකයකු ලෙස වැඩි දිනක් ගෙදර නතර වී සිටීමට ඉඩ ලැබුණේ නැත. ජනපතිවරයා සිය මිතුරාට හොඳ රස්සාවක් සොයා දුන්නේය. එක අතකින් එය වරදක් ලෙස දකින්නට බැරි බව තර්ක කළ හැකිය. තමන්ගේ ගමේ, තමන්ගේ විශ්වවිද්‍යාලයේ බැචාට රස්සාවක් දෙන්නට බැරි නම් විධායක ජනාධිපති පුටුවෙන් ඇති වැඩේ කුමක්දැයි ජනාධිපතිවරයාට හිතෙන්නට බැරිකමක් නැත.
ජනපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සිය හිතවතුන්ට රස්සා දුන් මුල්ම අවස්ථාව සුරාබදු කොමසාරිස් ජෙනරාල් පත් කිරීම නොවේ. එය අවසාන පත් කිරීමද නොවනු ඇත.
මේ ආකාරයට මැති ඇමැතිවරුන් සිය හිතවතුන් දේශපාලන ආධාරකරුවන් සංස්ථා සභාපතිවරුන් කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දැඩි ලෙස විවේචනය කළේය. එසේ විවේචනය කළ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ගැනීමත් සමග මුල් වටයේම දේශපාලන පත්වීම් තොග පිටින් දුන්නේය.
රාජ්‍ය මාධ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කරන බව කියමින් බලයට පත් ආණ්ඩුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත්කර ගත්තේ සිය හිතවතුන්ය. එමතු නොව කලා මණ්ඩලය හා ඒ යටතේ ඇති අනු මණ්ඩලවලට තොග පිටින් පුරවනු ලැබුවේ ගිය ඡන්දයේදී මාලිමාවේ වේදිකාවට නැගි කලාකරුවන්ය.
කඩේ ගිය කලාකරුවන්ගේ කල්ල මරේ
එහෙම නැතිනම් වචනයකින් හෝ මාලිමාවට උපකාර කළ අයය. කොටින්ම කියනවා නම් ජාතික කලා මණ්ඩලයේ සභාපති ධුරයට පත්කෙරුණේ ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මංත්‍රී ධුර අපේක්ෂක කීර්ති වැලිසරගේය. ඔහු ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මාලිමාවේ වේදිකාවට නැගි කිසිවෙකුටත් පාඩුවක් වූයේ නැත.
පක්ෂ සමාජික සම්පත් තුයියකොන්තා
ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා එකතුවේ මුල් පෙළේ සිටි විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කළේය. මේ පත් කිරීමට ගුවන් හමුදාවේ මහත්මයෙක් සේම ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස යුද්ධයේදී ඔහු දැක්වූ විශිෂ්ට භූමිකාව අදාළ කරගත යුතු නැත. ඔහු තවමත් සිය මහත්මාකම රැකගෙන සිටින නිලධාරියෙකි. ඔහුට පෙර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය හෙබවූයේ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවේ සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නය.
මින් පෙර සිටි ජනාධිපතිවරුන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට හිටපු හමුදා ප්‍රධානීන් පත්කර ගත් බව අපට මතකය. ජෙනරාල් සේපාල ආටිගල, ජෙනරාල් සිරිල් රණතුංග, ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ ඊට උදාහරණය. එනමුත් මේ කිසිවකු දේශපාලන වේදිකාවට ගොඩවී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට පත්වූයේ නැත. ඒ නරක පූර්වාදර්ශය මුලින්ම දුන්නේ කර්නල් සී.ඒ. ධර්මපාලය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයට පත්කර ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයාය.
ඊළඟට තමාට දේශපාලන උපකාර කළ, තමා ගැන පොතක් ලියූ කමල් ගුණරත්න ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට පත්කරනු ලැබීය. සම්පත් තුයියකොන්තා තමා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට පත් කරමින් අනුර කුමාර දිසානායක ජනපතිවරයා පෙන්වූයේ තමාගේත් ගෝඨාභයගේත් අතර පත්කිරීම්වලදී වෙනසක් නැති බවය.
එමතු නොවේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් වූයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානියා වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නය. ඔහු පොලිසියේ සිටි කීර්තිමත් නිලධාරියකු බව ඇත්තය. එනමුත් ලේකම් ධුරයට පත්වීමට ඔහුට තිබූ මූලික සුදුසුකම වූයේ මාලිමාවේ වේදිකාවට නැගීම මිසක් සිය කීර්තිමත් පොලිස් ඉතිහාසය නොවේ.
මාලිමා ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කළේ විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහය. ඔහු සිය විෂය ක්ෂේත්‍රයේ ප්‍රාමාණියකු වුවද වරාය සභාපති ධුරය ඔහුට ලැබුණේ මුහුද ගැන දන්නා නිසා නොවේ. එය එසේ නම් මුහුද ගැන දන්නා විශ්‍රාමික නාවික හමුදාපතිවරු දුසිමක් පමණ ජීවතුන් අතර සිටිති. ඔවුන් අතරින් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ වරාය සභාපති වූයේ ඔහු මාලිමාවේ විශ්‍රාමික හමුදා සාමූහිකත්වය නියෝජනය කළ නිසාය.
ජනාධිපතිවරයා යටතේ ඇති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වන්නේ මාලිමාවේ ආධාරකරුවතු වන විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත්ය.
තවත් වාර්තාවක්
රණවිරු සේවා අධිකාරියේ සභාපති ධුරයට ආණ්ඩුව පත් කළේ මාලිමාවේ ආධාරකරුවකු වන විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොනය. ඔහු යුද හමුදා ස්වේච්ඡා බළසේනාවේ රාජකාරි කළ නිලධාරියෙකි. මෙතෙක් රණවිරු සේවා අධිකාරියට පත් කෙරුණේ ස්ථිර හමුදාවේ සිටි විශ්‍රාමික නිලධාරින්ය. මේජර් ජෙනරාල් ප්රියාන්ත නාපාගොඩ, මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ, මේජර් ජෙනරාල් කිත්සිරි ඒකනායක ඊට උදාහරණය. බ්‍රිගේඩියර් සෙනරත් කොහොන යටතේ පළමු වරට මෙවර පැවැති ජාතික රණවිරු සැමරුමේදී ජනාධිපතිවරයා දැඩි අපහසුතාවට ලක් විය. ඒ, රණවිරු සේවා සැමරුමට ජනපති නොයන බවට කී කතාව නිසාය. ඊට ජනපතිවරයාට එරෙහි දැඩි විරෝධයක් එල්ල විය. අවසානයේදී ඔහු රණවිරු සැමරුමට ආවේය.
මාලිමාව ආණ්ඩුව යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූවේ විශ්‍රාමිකමේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදරය. ඔහුත් මාලිමාවේ ආධාරකරුවෙකි.
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිද මාලිමාවේ ආධාරකරුවකු වන විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රමය. මහින්ද රාජපක්ෂ යුගයේ එම ධුරය හෙබවූයේ විශ්‍රාමික කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය ය. ඔහු මහින්ද රාජපක්ෂගේ ඥාති පුතෙකි. ප්‍රසන්නගේ සොයුරු ජාලිය වික්‍රමසූරිය එකල ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිය. තවත් ඥාති සොයුරකු වූ උදයංග වීරතුංග රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිය.
ජනතා විමුක්ති පෙරමුණ එදවස මේ පත්කිරීම් පට්ටා ගැසුවේය. විදේශ සේවය දේශපාලන හිතවත්කම් හා ඥාති සබඳතාවලින් පුරවා ඇති බව චෝදනා කළේය. නව රජය පත් වූ පසු තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් පහළොස් දෙනකු වහාම ලංකාවට කැඳවූයේ ඔවුන්ගේ නිල කාලය අවසන් වීමටත් පෙරය.
තානාපතිකම් බෙදා ගැනීම
එසේ දේශපාලන හේතූන් මත කැඳවූ තානාපති හා මහ කොමසාරිස්වරුන් වෙනුවට ජාතික ජන බලවේග ආණ්ඩුව පත් කළෙත් සිය පක්ෂයේ හිතවතුන්ය. ආණ්ඩුව එන විට පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සිටියේ විශ්‍රාමික අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නය. ඔහු තරු හතරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ඉහළම ධුරය වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරූ නිලධාරියෙකි. නව ආණ්ඩුව ඔහු ලංකාවට කැඳවා පත් කළේ මාලිමාවේ ආධාරකරුවකු වූ විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්නය. ඔහු තරු දෙකේ නිලධාරියෙකි.
මීට පෙර කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස රාජකාරි කළේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නය. නව ආණ්ඩුව ඔහු ධුරයෙන් ඉවත් කර සිය පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පරාද වූ මහින්ද රත්නායක පත් කළේය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආණ්ඩුව පත් කළේ සිය හිතවතකු වන මහාචාර්ය පිවිතුරු ජනක කුමාරය. කුමන ආණ්ඩුව බලයට පත් වුවද එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ලෙස පත් කරන්නේ විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ එසේ නැතිනම් විදේශ කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති අයෙකි.
ආණ්ඩුව එන විට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස රාජකාරි කළේ හිටපු විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගෝල්ලාගමය. නව රජය ඔහු ලංකාවට කැඳවා පත් කළේ වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට ගොස් සිටියදී සුළු රැකියාවක් කරමින් සිටි බව කියන නිමල් සේනාධීරය.
නව ආණ්ඩුව සිය දේශපාලන හිතවතුන් ප්‍රධාන තනතුරුවලට පත් කළා පමණක් නොවේ, සිය හිතවතුන් තනතුරුවලට පත්කර ගැනීම සඳහා එම තනතුරු දැරූ අය අත්තනෝමතිකව ඉවත් කළේය. ඊට එරෙහිව දෙතුන් දෙනෙක් අධිකරණයට ගියහ. අන්තිමේදී උසාවිය නියෝග කළේ ඔවුන් පෙර තනතුරුවලටම පත් කරන ලෙසය.
විගණාධිපති දූරයට අනුර කුමාර මිත්‍රයෙක්
විගණකාධිපති ධුරයට පිටස්තරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයා දැරූ උත්සාහය වැළැක්වුණේ ඊට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබී යාම හේතුවෙනි. එසේ පත් කිරීමට හැදූ නිලධාරියාත් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අයෙකි.
පුදුන කොටම කාපි යකා – සගයකු ඉහළම තනතුරට
කොටින්ම කියනවා නම් රාජ්‍ය සේවයේ ඉහළම තනතුර වන ජනාධිපති ලේකම්ද ජනපතිවරයා සමග කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් මිතුරෙකි. ඔහු රේගු දෙපාර්තමේන්තුවේ සිටි කනිටු නිලධාරියෙකි. ඔහු රේගුවේ රාජකාරි කළ සමයේ ඔහුගේ සර් වූයේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්ය. දැන් රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ සර් එසේ නැතිනම් ජනාධිපති ලේකම් වන්නේ ඔහු යටතේ සේවය කළ කනිටු නිලධාරී ආචාර්ය නන්දික සනත් කුමානායකය. රාජ්‍ය පරිපාලනයේ කිසිදු අත්දැකීමක් නැති ඔහු ජනාධිපති ලේකම් ලෙස පත්කර ගැනීමට තිබූ ප්‍රධාන සුදුසුකම වූයේ ජනපතිගේ බැචා වීමය.
රාජ්‍ය සේවයේ ඉහළම තනතුරටත් එසේ වූවා නම් සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට පැරෂුට්කාරයකු බැස්සීම ගැන මෙසේ කිව හැකිය.
‘බුලත්හේපුවට හෙණ ගැහුවා නම් කිල්ලෝටය ගැන කවර කතාද’
මිහිරි ෆොන්සේකා විසින් සතිඅග අරුණ. 2025.7.20 පුවත්පතට ලියූ තඹුත්තේගමද?උපාධිය කැලණියේද? එහෙනම් බඩු ෂුවර් නම් ලිපියයි.