Sunday, June 22, 2025

කමල් ගුණරත්නගේ මේජර් ජනරාල් ගායෙන් මියගිය සෙබළාට යුක්තිය ඉටු කරනු! ලොකු කුමා

(Sri Lanka Brief/22 June 2025) රණ විරු ගාය නැවත උත්සන්න වූයේ පසුගිය දිනවලදීය.ඒ ජනපතිවරයා රණවිරු දිනයේදී සෙබළුන් රණවිරුවන් ලෙස හැඳින්වූයේ නැති නිසාය.කුල්ල කුජීත වී ඇති රාජපක්ෂ දේශපාලනයට නැවත සේලයින් දෙන්නට උත්සාහ දරන්නේ රණවිරු හා ජාතිවාදය ඇවිස්සීමෙන් බව ඇසෙන්නට හා දකින්නට තිබේ.

මේ ලියවිල්ල මහා රණවිරුවෙක් ගේ කෙරුවාවක් පිළිබඳව නැවත සිහිපත් කිරීමකි.ඒ මහා රණ විරුවා විශ්‍රාමික ජනරල් කමල් ගුණරත්නය.ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුට අයත් කොට්ටාව ,පන්නිපිටිය,බෝගහවත්ත පාරේ 6 වන පටුමගේ අංක 133/3 දරණ නිවසේ අළුත්වැඩියාවක් කරමින් සිටියදී 2022 මැයි 25 වන දින හමුදා සෙබළෙකු වහලෙන් වැටී මිය ගොස් තිබුණි.එසේ මියගියේ අඩවිකන්ද එරත්න ,කුරුවිට පදිංචිව සිටි 40 හැවිරිදි කේ.චමින්ද ප්‍රේමදාස නැමැත්තෙකි.

මේ සෙබළාගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය කොළඹ හදිසි මරණ පරීක්ෂක අෂ්රෝප් රුමී ඉදිරියේ පැවැත්විනි.මේ මරණ පරීක්ෂණයේදී වහලෙන් වැටී මිය ගිය සෙබළා සමග එම වහල අලුත්වැඩියාවේ නිරත වූ තවත් හමුදා සෙබළෙකු සාක්ෂි දී තිබුණි.

එම සාක්ෂියෙන් අනාවරණය වී තිබුණේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ පරණ නිවසක වහල අලුත්වැඩියාව සඳහා ඔවුන්ට සිය කඳවුරෙන් උපදෙස් ලැබුණ බවත් ඒ උපදෙස් අනුව එම නිවසේ වැඩට ගිය බවත් 2025 මැයි 25 වනදා මරණකරු සමග තමන් එහි වහලේ වැඩ කරමින් සිටියදී වැස්සක් ආ නිසා වහලින් බැස යාමේදී මරණකරු වහලින් වැටුණු බවත්ය.මේ සෙබළා අඩි 20 ක පමණ උසකින් බිමට වැටී ඇති බවද එම සාක්ෂියෙන් වැඩිදුරටත් අනාවරණය වූ අතර වහලයෙන් බිමට වැටුන එම සෙබළා හෝමාගම රෝහලට ගෙන ගොස් එතැනින් ජාතික රෝහළට මාරු කර යැවීමෙන් පසුව මරණයට පත් වූ බවද එහිදී හෙළි විය.

මෙහිදී අපට වැදගත් වන්නේ 2021 නොවැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ විධායක ජනරාල් ශාඛාව වෙතින් සියලු රෙජිමෙන්තුවලට තම පුද්ගලික මුදලින් ණය පහසුකම් මගින් නිවාස ඉඳි කිරීම වෙනුවෙන් වැඩ කණ්ඩායම් යා කිරීම සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස්ය.මේ එම උපදෙස්ය.

අදාල කාර්යයන්හීදී යෙදවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත මෙවලම්,ඇඳුම් කට්ටල,පාවහන් හා හිස් වැසුම්,ආදී සියලු ආරක්ෂිත උපකරණ එම සෙනීන් වෙත වැඩ කණ්ඩායම් අපේක්ෂිත නිළධාරී/ සෙසු නිලයා වෙත සපයා දිය යුතු අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දැරිය යුතුය.

අනුමැතිය ලබා ගත් පුද්ගලයන් පමණක් එම කාර්යයන්හි යෙදවිය යුතු අතර ඔවුන් එම කාර්යය සඳහා යෙදවීමේදී යුද හමුදාවට හෝ රෙජිමෙන්තුවට ආවේනික වූ ඇඳුමකින් අදාල කාර්යයේ නිරත විය යුතුය.

වැඩ කණ්ඩායම්හි රාජකාරි නියුතු කාලසීමාව තුළ යුද හමුදා කීර්ති නාමයට හානියක් නොවන අයුරින් එම කාර්යන් ඉටු කිරීමටත් ,බුලත් විට කෑම,මත් ද්‍රව්‍ය ගැනීම,කොණ්ඩ සහ රුවුල් වවා සිටීම,

සිවිල් ජනතාව පීඩනයට පත් කිරීම ආදී ක්‍රියා වල එම අයවලුන්⁣ යෙදෙන්නේද සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාවෙන් පසු විය යුතු බවද,අදාල වැඩ වැඩ කණ්ඩායමේ විනය පවත්වා ගැනීම සදහා සේවය ලබා ගන්නා පුද්ගලයා වගකීම දැරිය යුතුය.

වැඩ කණ්ඩායම් වල ආහාර පාන නවාතැන් පහසුකම්,සුභ සාධනය,සෞඛ්‍ය ආරක්ෂාව,පාලන කටයුතු සහ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් සියලු වගකීම් වැඩ කණ්ඩායම් ඉල්ලුම් කරන නිධාරියා හෝ සෙසු නිළධාරී දැරිය යුතු බවද එහි අවධාරණය කර ඇත.

රාත්‍රී කාලයේ සේවයේ නොයෙදිය යුතු හා සීමාව ඉක්මවා වෙහෙසට පත් නොවන ආකාරයෙන් අදාල කාර්යයේ සෙබළුන් නිරත කරවීමට වග බලා ගත යුතු බවද එම උපදෙස් මාලාවේ දැක්වේ.

එසේම මෙවැනි කාර්යයක් සඳහා සෙබළ කණ්ඩායම් ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රයක්ද ඉල්ලීම කරන අයගේ ලිඛිත ප්‍රකාශයක්ද ,මධ්‍යස්ථාන සේනා විධායක විසින් සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්ද වෙනත් රෙජිමෙන්තුවක්/ඒකකයක් වෙතින් සෙබළුන් යොදවන්නේ නම් එම සෙනීන් ලබා දිය හැකි බවට ඔවුන් අයත් රෙජිමෙන්තු මධ්‍යස්ථාන සේනා විධායක විසින් නිර්දේශ කළ ලිපියක්ද තිබිය යුතු බවද එම උපදෙස් මාලාවේ අන්තර්ගයේ සඳහන්ය.”

යුද හමුදාවෙන් වැඩ කණ්ඩායම් යෙදවීම සම්බන්ධයෙන් ප්‍රකාශිත මේ උපදෙස් මාලාව අනුව වහලෙන් වැටී මිය ගිය සෙබළාගේ මරණය⁣ට විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වගකිව යුතු බව නිසැකවම පැහැදිලිය. එහෙත් මේ අවස්ථාව වන විට කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා වේ. ඒ ධුරයේ බල සම්පන්න භාවය නිසා යුද හමුදාව ඒ සෙබළාගේ මරණය වගකීම ඔහුට පැවරූ බවක් වාර්තා නොවේ.

ඊටත් වඩා අවධානය යොමු කළ යුතු වන්නේ මිය ගිය සෙබළා අනාරක්ෂිත ස්ථානයක වැඩ කිරීමේදී ඔහු හට ආරක්ෂිත මෙවලම් ලබා නොදීම පිළිබඳවය. උස් ස්ථාන වල වැඩ කරන සේවකයන් හට රැහැන් වලින් සම්බන්ධ කර ඇති ආරක්ෂිත කබා හා හිස් ආවරණ ලබා දීම අනිවාර්ය කාරණයකි. එය මෙරට සියලුම ඉඳිකිරිම් වැඩ බිමිවල අනුගමනය කරන ප්‍රතිපත්තියකි. යුද හමුදා උපදෙස් මාලාවේ සඳහන් වන්නේද එවැනි ආරක්ෂිත උපකරණ ලබා දීමකින් තොරව සෙබළුන් සේවයේ යෙදවිය නොහැකි බවය.

ඊළඟට සෙවිය යුතු වන්නේ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා සිය නිවසේ වහල අළුත් වැඩියාව සදහා මේ වැඩ කණ්ඩායම නිසි ක්‍රමවේදයට අනුව හමුදාපතිවරයාගෙන් ලබා ගත්තාද යන්න ගැනය. ඒ මන්ද යත් මෙසේ වැඩ කණ්ඩායම් ලබා ගන්නා විශ්‍රාමික නිළධාරීන් ඉල්ලීම් අනුමත කළ යුත්තේ යුද හමුදාපතිවරයා විසින්ම පමණක් බව නියෝග වල දැක්වෙන නිසාය. එහෙත් මිය ගිය සෙබළාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් සෙබළා පවසා ඇත්තේ තමන් කඳවුරේ සේවයේ නිරතව සිටියදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයාගේ නිවසේ වහල අලුත්වැඩියාව සඳහා සහභාගි වූ බවය.

සෙබළෙක් වහලෙන් වැටී මිය ගොස් තිබේ යන්නට එහා ගිය පරීක්ෂණයක් එම සෙබළාගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදාවෙන් සිදු නොකළ බවද අපට සහතික ලෙස සඳහන් කළ හැකිය.

ඒ ආරක්ෂක අමාත්‍යංශ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ මහා රණවීරත්වයඅසල මියගිය සෙබළාගේ ජීවතය සිල්ලර කාසියක් පමණක් නිසාය. හමුදාපතිවරයාද

ඒ ගාම්භීර මුද්‍රාව අභිමුඛ නිවටයෙකි. හමුදාපතිවරයා ගේ ඒ නිවටකම සිය පැවැත්ම සඳහා වූ අනිවාර්ය සාධකයක්ද වන්නේය.

සමාජයේ උත්කර්ෂවත්ව ඉහළට ඔසවන රණ විරු සංකල්පය හමුදාව තුළ ගණුදෙනු වන්නේ ස්වාමියා සහ වහලායන කොන්දේසි තුළය. ඒ කොන්දේසි ඒක පාර්ශිකවම කමල් ගුණරත්නගේ වාසියට මිස ඔහුගේ නිවසේ අනීතිකව සේවයට යොදා ගත් සෙබළාගේ වාසියට ⁣යොදා ගත හැක්කේ නොවේ. සමාජය පෙනී සිටින්නේද කමල් ගුණරත්නලා වෙනුවෙන් මිස අර අහිංසක සෙබළා වෙනුවෙන් නොවේ.

මේ රණවිරු ගාය රාජපක්ෂවරුන්ගේ බල අධිපත්‍යයේ පැවැත්ම තහවුරු කර ගැනීම හා ජනතාව ගොනාට ඇන්දීම සඳහා දියත් කළ තක්කඩි ව්‍යාපෘතියකි.

රාජපක්ෂවරුන් බලයේ සිටියදී ඇමති බැසිල් රාජපක්ෂගේ නිවසේ මෙහෙකාරකම් සඳහා නාවුක හමුදා සෙබළ සෙබළියන් 64 දෙනෙකු සේවයේ යොදවා තිබුණි. ඒ කාර්ය මණ්ඩලය⁣ට ප්‍රවාහන සහායකයන් 12 ක්ද ,ආහාර පිසින්නන් හා සහායකයන් 11 ක්ද, නිවාස සහායකයන් 26 ක්ද ,සුනඛ සංචිතයට 6 දෙනෙක්ද,වෛද්‍ය සහායකයන් 04 ක්ද,ශාරීරික අභ්‍යාස සදහා 02 ක්ද පුෂ්පා රාජපක්ෂගෙ පෞද්ගලික සහායිකාවන් ලෙස කාන්තා සෙබළියන් 03 ක්ද අනුයුක්ත කර තිබුණු බව හෙළි වී තිබේ.

මෙසේ අනුයුක්ත කළ සෙබළ සෙබළියන්ට ඔවුන්ගේ නිත්‍යනුකූල මාසික වැටපට අමතරව රුපියල් 5000ක දීමනාවක්ද මහජන මුදලින් ගෙවා ඇත.

රාජපක්ෂවරුන් රණවිරුවන් සිය මෙහෙකාරකම් වලට යොදා ගැනීම රාජ්‍ය මුදල් හා සම්පත් වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීමක් වන අතරම අධිකාරී බලය අවභාවිතා කිරීමක්ද විය.

රාජපක්ෂවරුන් හමුදාවේ රණ විරුවන් සිය නිවෙස්වල මෙහෙකාර කම් සඳහා යොදවා ගනිමින් සිටින විට ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන් වූ හමුදා ජනරාල්වරුන්ද රිසි සේ සෙබළුන් සිය පෞද්ගලික ⁣අවශ්‍යතා සදහා වහළුන් ලෙස යොදවා ගැනීමද සාමාන්‍යකරණය වී පැවතුනි. ගුරා හිට ගෙන හුජ්ජ කරද්දී ගෝලයන් දුව දුව හුජ්ජ කරනවා යැයි ජන වහරේ එන කියමන හා ඒ භාවිතය ගලපා ගත හැකිය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරමින් සිටියදී විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සිය නිවසේ වහල සෑදීම සදහා සෙබළුන් ගෙන්වා ගෙන ඇත්තේ ඒ ඇබ්බැහි පුරුද්දටය.ඒ සඳහා එවකට යුද හමුදාපති නිවටකම අත් උදව් සපයා ඇති බවත් පැහැදිලිය.

වහලින් වැටී මිය ගිය සෙබළාගේ කාලත්‍රයාට මේ වන විට වැටුප් ගෙවන බවට කිසිම සැකයක් නැත.වන්දි හා වෙනත් දීමනා සියල්ලද කමල් ගුණරත්න ගේ මැදිහත් වීමෙන් ගෙවා දමන්නටද ඇත.එහෙත් මෙහිදී මෙතෙක් සිදු වී නැත්තේ මේ මියගිය සෙබළා අනීතිකව සිය මෙහෙකාර කමේ යොදවා ගන්නා ලද ⁣විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගූණරත්නට එරෙහි කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමය.

මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත් වීමක් නොවීම යනු හෙට දවසේදීත් මිල්ටෙරි ජනරාල්කම් වල ප්‍රභූත්වය හා කවළම් වූ රණ විරු කුලප්පුව තුරුම්බුවක් සේ සළකා අහිංසක සාමාන්‍ය සෙබළුන් මෙහෙකාරකම් වල⁣ යොදවා ගැනීමට තව දුරටත් ඉඩ ප්‍රස්ථාව සැළසෙන එකය. හමුදාපති වරයා ගේ අවධානය මේ පිළිබඳව යොමු වෙනු ඇතැයි අපි සිතමු.

– ලොකු කුමා

Archive

Latest news

Related news