Saturday, June 21, 2025

ක්‍රම වෙනස නොආ පාර්ලිමේන්තුවට වෙච්ච දෙයක්: දියවන්නාවේ ඝෝෂාගාරය

ඡායාරූපය: රාජපක්ෂ කාලයේ පාර්ලිමේන්තුව

ජාතික ජන බලවේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණ නොහොත් මාලිමා ආණ්ඩුව බලයට පත්ව වසර භාගයක් ගෙවී ඇත. වෙනසක් සඳහා වූ මේ පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරනු ලැබුවේ සමාජයේ, ආර්ථිකයේ, සංස්කෘතියේ වෙනසක් සඳහා වූ පාර්ලිමේන්තුවකි. ආණ්ඩුවකි. අමාත්‍ය මණ්ඩලයකි.

වෙනසක් සිදු වී ඇත. එනම් පාර්ලිමේන්තුව දියවන්නාවේ ඝෝෂාගාරයක් බවට පත්ව තිබීමයි. වෙනත් වෙනසක් නම් අපි නොදකිමු. පාර්ලිමේන්තුව යන වචනය ඉංග්‍රීසි වචනයකි. පාර්ලි යන ඉංග්‍රීසි වචනයේ තේරුම සරල බසින් සාකච්ඡා මණ්ඩපයකි. දැන් දෛනිකව විද්‍යුත් ජනමාධ්‍යයේ අප දකින්නේ එවැනි සාකච්ඡා මණ්ඩපයක් නොව හුදෙක් ඝෝෂාගාරයකි.

මෙසේ පාර්ලිමේන්තුව හුදෙක් ඝෝෂාගාරයක් බවට පත්වීමට තුඩුදුන් හේතු මොනවාද එය හුදෙක් සමාජයේ පිළිබිඹුවක්ද?

ඓතිහාසික පසුබිම

සර්වජන ඡන්ද බලය අපට ලැබුණේ 1931 සිට ය. සාමාජිකයන් පනහකින් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාව තෝරා පත් කරගන්නා විට ඡන්දදායකයින්ගෙන් අධ්‍යාපන සාක්ෂරතාවය තිබුනේ වැඩිහිටි ජනගහනයෙන් සියයට දහයකට පමණය. එදා අපේ ප්‍රභූ පැලැන්තිය සර්වජන ඡන්ද බලයට විරුද්ධ වුණේ වුණේ එම සාක්ෂතාවය පිළිබඳ ප්‍රශ්නය උඩය.

එහෙත් ඩොනමෝර් කොමිෂන් සභාව සර්වජන බලය අපට ලබා දුන්නේය. එදා බ්‍රිතාන්‍යයේ බලයට පත්ව සිටියේ ඉතිහාසයේ පළමුවරට බ්‍රිතාන්‍ය   කම්කරු පක්ෂයයි. ඩොනමෝර් කම්කරු පක්ෂයට අයත් මන්ත්‍රීවරයෙක් විය. එදා බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂය සැබෑ කම්කරු පක්ෂයකි. රැඩිකල් මතධාරීන්ය. වාමාංශයට බර වූ මන්ත්‍රීවරුන්ය. වෙනසක් අපේක්ෂා කළ අය විය. අද බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂය ඊට ඉඳුරාම වෙනස්ය.

එය අද තවත් ධනපති පක්ෂයක් පමණි. එදා ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැලැන්තිය (සිංහල දමිළ මුස්ලිම් මුස්ලිම්) එසේ සර්වජන ඡන්ද බලය ලබාදීමට විරුද්ධ වූ අතර ඊට පක්ෂය වූයේ ඒ. . රණසිංහයන්ගේ ලංකා කම්කරු පක්ෂයයි. උගත් තරුණයින් නියෝජනය කළේ රැඩිකල් මතධාරී ලංකා තරුණ සම්මේලනයයි. දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ එදා ක්‍රියාත්මක වූයේ එම තරුණ සමුළුවේ ය .එකී තරුණ සමුළුව පූර්ණ නිදහස සඳහා කැප වූ සංවිධානයක් විය.

ඉහතින් දැක්වූ ප්‍රභූ පන්තිය පූර්ණ නිදහස විට විරුද්ධ වූයේය. ඊට හේතුව ද ඡන්දදායකයින් අකුරු නොදත් අය වීමයි. පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී පක්ෂවලට සලකුණ වූයේ පාටය. අද මෙන් අලියා, තරුව, අත නොවේ. එසේ සිදු වූයේ සාක්ෂරතාවය නිසා විය හැකිය.

දේශපාලන සාක්ෂරතාවය

ඩොනමෝර් කොමිසමේ මතය වූයේ මැතිවරණය තුළින් දේශපාලන සාක්ෂරතාවයත් ජනතාව ලබන බවයි. එම මතය අත්දැකීමෙන්ම නිවැරදි බව ඔප්පු වියපළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සහ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළින් පොදු ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය ප්‍රගුණ විය. එසේ සාක්ෂරතාවය ප්‍රගුණ වීමට තීරණාත්මකව බලපෑවේ වාමාංශික ව්‍යාපාරයයි. ශාලා රැස්වීම් එළිමහන් රැස්වීම් බවට පත් වූයේ ජනතාවට සමීප වීම සඳහාය.

ජනතාව ශාලාවලට කැඳවීම වෙනුවට කථිකයන් පිට්ටනිවලට ගියේ ජනතාව දැනුවත් කිරීම සඳහා ය. පසුව යූඇන්පීය ද එළිමහන් රැස්වීම්වලට පිවිසියේය.

රැඩිකල් මතධාරීන් වූ දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ඩී. එම්. රාජපක්ෂ තෝරා ගැනීමෙන් එදා ඡන්දදායකයා වේගයෙන් දේශපාලන සාක්ෂරතාවයට ලක්වී තිබුණු බව පෙනේ.

හැන්සාඩ් අලෙවි  වූ යුගය

එදා හැන්සාඩ් වාර්තා (පාර්ලිමේන්තු කතා ඇතුළත් පොත්) උණු කැවුම් ලෙස විකුණුනේය. හැන්සාඩ් වාර්තා මිලදී ගැනීමට මහජනයාගේ පෝලිම් ඇතිවිය. ඉන් ප්‍රකාශ වූයේ දේශපාලන සාක්ෂරතාවය වේගයෙන් ක්ෂුද්‍ර ජනතාව තුළ පැතිර ගිය බවයි.

ඒ අනුව මන්ත්‍රීවරු තම කතා සූදානම් වී පැවැත්වීමට පුරුදු වී සිටියහ. මන්ද පසුදා හැන්සාඩ් වර්තා පිටවෙන බැවිනි.

වත්මන් පාර්ලිමේන්තුව මාලිමාව බලයට පැමිණි පැමිණ මාස හයක් පමණි. මලිමාව යටතේ පාර්ලිමේන්තුව සාකච්ඡා මණ්ඩපයක් නොව හුදෙක් ඝෝෂාගාරයකි. විද්‍යුත් මාධ්‍යයෙන් පාර්ලිමේන්තු විවාද නරඹන පොදු ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය ප්‍රගුණ විය හැකිද?

1956 පාර්ලිමේන්තුවේ අති බහුතරය රෙදි බැනියම් කාරයින්ය. අද පාර්ලිමේන්තුවේ රෙදි බැනියම් කාරයෙකු දකින්නට නැත. සියලු‍ දෙනාම කලිසම් කෝට් ටයිම් කාරයින්ය. එහෙත් ඉංග්‍රීසි නොදන්නේය.

එදා 1956 පාර්ලිමේන්තුවේ රෙදි බැනියම් කාරයින් භාෂා තුනම දත් අය විය. මැද කොළඹ මන්ත්‍රීවරයා වූ එම්. එස්. තේමිය තැපැල් පියුම් කෙනෙකු වුවද භාෂා තුනෙන්ම කතා කළ ව්‍යාප්ත කථිකයෙකු විය.

අධ්‍යාපන සාක්ෂරතාව තිබුණ ද අද අපේ මන්ත්‍රීවරුන් දේශපාලන සාක්ෂරතාවයෙන් දුප්පත් ය. සාකච්ඡා මණ්ඩපය ඝෝෂාග ාරයක් වී තිබෙන්නේ දේශපාලන සාක්ෂරතාවය අඩු මට්ටමක වෙන හෙයිනි.

කළ යුත්තේ කුමක්ද

පාර්ලිමේන්තුවේ පිරිහීම සෝචනීයය. ගුණාත්මක භාවයක් නැත. සාකච්ඡා වාද විවාදවල ගුණාත්මක භාවයක් නැත. හැසිරීම ගැන අපට ඇත්තේ දුකකි. මාත්‍යවරුන්ගේ කතා, විග්‍රහවලින් තොරය. හරවත් යමක් නැත. ඝෝෂාව පමණය. උගත හැකි දෙයක් නැත. කියන දේ වටහාගැනීම අසීරුය. විපක්ෂය පැත්තෙන්ද ඇසෙන්නේ ගෝරනාඩු සහ උද්වේගවත් කතාය.

බුද්ධි ගෝචර කිසිවක් නැත. කෝපයේ ජනිත වන කතාය.

මීට මූලිකව වගකිය යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩසටහන් පිළිබඳ කමිටුවයි. දෙවනුව කතානායකයි. තුන්වෙනුව අගමැති, සභානායක, විපක්ෂ නායකයි. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද එහි වගකීමක් ඇත. දෙපැත්තේම කසකාරයේ සිටිති. එහෙත් කසකාරයෙන් සිටින්නේ සභාව හැසිරීමට නොව වඩාත් අවුල් කිරීමටය.

මන්ත්‍රීවරුන් අතර සහෝදරත්වයක් ඇති බව නොපෙනේ. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සම්බන්ධයක් ද දකින්නේ නැත.

සූදානම් කළ කතා වෙනුවට ඇත්තේ එවේලේ හඬ නගා මොර දෙන කතාය. මෙම රෝගය පළාත් සභා ප්‍රාදේහීය සභා වලට ද පැතිරෙමින් තිබේ. ඒ බව පළාත් පාලන ආයතන රැස්වූ මුල් දිනයේම හැසිරීමෙන් අපි දකිමු.

ජනාධිපතිවරයාට මේ තත්ත්වයන් ඇඟට හොඳ නැත. පාර්ලිමේන්තුව යහමගට ගැනීමට රාජ්‍ය නායකයාට සිදුවනු ඇත. පාර්ලිමේන්තුව මෙසේ වෙද්දී රට පාලනය කරලීමට බැරි වන්නේ රාජ්‍ය නායකයාටය. පාර්ලිමේන්තුව පිස්සම් කොටුවක් නොවේ යැයි අපි පතමු

ඇත්ත පුවත් පතින් උපුටා ගන්නා ලදී.

Archive

Latest news

Related news