විශේෂ ලියුම්කරුවකු විසිනි.
(Sri Lanka Brief/01 June 2025)
වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු හට නව වටයකින් මඩ ගැසීමේ මාධ්‍ය මෙහෙයුමක් අරඹා තිබේ.කවර ක්ෂේත්‍රයක වුව හෘද සාක්ෂියට එකඟව දිවි පරදුවට තබා වැඩ කරන ඕනෑම තරාතිරකම පුද්ගලයන්ට වැඩියෙන් අත් විඳින්නට වන්නේ නින්දා ගැරවුම්ය.
යුද හමුදාපතිවරයාට ඉලක්ක කර ගනිමින් අසත්‍ය අවලාද පැතිරවීම සිඳු කරන්නේ නිදහස් මාධ්‍ය භාවිතය ඉතා අවිනීත හා අවලස්සන ආකාරයෙන් යොදා ගනිමිනි.හමුදාපතිවරයාට එසේ අවලාද නගන්නන් අතුරෙන් එක් යූ ටියබයක විලාප තියන්නෙකු තමන් හඳුන්වා ගන්නේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ හා එක්සත් ජාතීන්ගේ ජිනීවා වාර්තාකරු විදියටය.
මේ වෘෂභයා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වාර්තාකරුවකු වීම තබා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය මාධ්‍ය භාවිතයෙදී අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳව හාංකාවිසියක දැනුමක් අවබෝධයක් නැත්තෙක් බව පෙනී යයි.බ්‍රිතාන්‍යයේ ගුවන් විදුලි සේවයේ වැඩ සටහන් නිෂ්පාදනය කළ වසන්ත රාජා ,නන්දන වීරරත්න ,චන්දන කීර්ති බණ්ඩාර සරෝජ් පතිරණ,රෙඩ්ලි සිල්වා,ඉන්ද්‍රා රාමනායක,
එම්.ජේ.ආර්.ඩේවිඩ් ,විමලසේන හේවගේත් ලංකාවේ බීබීසී වාර්තාකරුවන් ලෙස කටයුතු කළ එල්මෝ ප්‍රනාන්දු හා අසාම් අමීන් වැන්නන් ගැන අප දනී.
මේ සැම දෙනාම මාධ්‍යවේදය ප්‍රගුණ කළ හා ඒ ක්ෂේත්‍රයේ බහුශ්‍රැත අත් දැකීම් සපුරන ලද ඇත්තන් වූහ. එහෙත් මේ ටියුබ විලාප දෙන හාල් පාරුවා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ හතර මායිමේ සිටි බවක් වත් අපට දැන ගැන්මට ලැබුණේ නැත. අප මේ බව වඩාත් තහවුරු කර ගන්නට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාවේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කරන සරෝජ් පතිරණ ඇමතුවෙමු.
“…ඔබ සඳහන් කරන පුද්ගලයා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වාර්තා කරුවෙක් නොවෙයි. ඔහු ව්‍යාජ වෘත්තීය බලධාරිත්වයක් සමාජ ගත කරල තමන්ගෙ යූ ටියුබය ප්‍රවර්ධනය කරනවා ඇති. මෙවැන්නන් මාධ්‍යකරණයේ ආචාර ධර්ම හා ප්‍රතිපත්ති බරපතල ලෙස උප්ලංඝනය කරන්නන් විදියට හඳුන්වන්න හැකියි.”
සරෝජ් පතිරණ අප සමග පැවසුවේය.
ඊළඟට මේ ටියුබයා සඳහන් කර ඇත්තේ තමන් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් වාර්තා කරු බවය. එය එසේ වන්නේ නම් ජිනීවා මානව හිමිකම් රැස්වීම් ආවරණය කරන මාධ්‍යවේදීන්ට මේ යූ ටියුබයා මුණ ගැසී තිබිය යුතුය.
යුද හමුදාපතිවරයාට එරෙහිව නින්දා සහගත අවලාද ප්‍රචාරය කරන්නාගේ පැටිකිරිය එසේය.
මේ ටියුබයා හමුදාපතිවරයාට එරෙහිව නින්දා සහගත ප්‍රලාපයන් අන්තර්ජාලයට මුදා හැරෙන්නේ හමුදාපතිවරයා කතෝලිකයෙක් බව සඳහන් කරමිනි.
හමුදාපතිවරයාගේ ආගමික භාවිතය ගැන සඳහන් කරමින් මෙම යූ ටියුබයා ප්‍රයත්නය දරන්නේ සිංහල බෞද්ධ උන්මාදය යොදා ගනිමින් ජාතික වාර්ගික හා ආගමික වෛරය සඳහා හමුදාව පෙළඹවමින් රට තුළ නොසන්සුන් භාවයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් විය හැකියැයි සැකයක් ඇතිවේ. මේ සැළසුම බරපතල රාජ ද්‍රෝහී කුමන්ත්‍රණයක මුල් අදියර ලෙසද සැළකිය හැකිය.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය(අයි.සී.පී.ආර්) පනතේ 2 වන වගන්තියේ දැක්වෙන්නේ සෑම තැනැත්තකුටම නීතිය ඉදිරියේ තැනැත්තකු ලෙස පිළිගනු ලැබීමේ අයිතිය ඇත යනුවෙන්ය. එම පනතේ 3(1) වගන්තියේ කිසිම තැනැත්තකු විසින් යුද්දය පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට, එදිරිවාදිකමිවලට හෝ ප්‍රචන්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය සඳහන් වේ.
මෙම වරදවල් සිඳු කිරීමට තැත් කරන ,සිඳු කිරීමට ආධාර අනුබල දෙන හෝ සිඳු කරන බවට තර්ජනය කරන සෑම තැනැත්තෙක්ම මේ පනත යටතේ වරදකට වරදකරු වන බවද මේ පනතේ දැක්වේ. එහිදී පනත යටතේ වරදක් කර ඇති බවට තීරණය කරනු ලබන තැනැත්තකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීමේදී බරපතල වැඩ ඇතුව අවුරුදු දහයකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කළ හැකිය.
අප සදහන් කරන යූ ටියුබයා විසින් හමුදාපතිවරයාගේ ආගමික විශ්වාසය ඉස්මතු කරමින් ජනතාව ඔහුට එරෙහිව පෙළඹවීම ලේසි පහසු කාරණයක් නොවේ. එහි පවතින වඩාත් බරපතල කාරණය වන්නේ මේ යූ ටියුබයා සිය වට්ස් ඇප් සමූහය හරහා ඉදිරි පොසොන් පොහොය උත්සවය සැමරීමට යාපනය තිස්ස විහාරයට යාමට සිංහල බෞද්ධයන් සංවිධානය කිරීම නිසාය. තිස්ස විහාරය ආශ්‍රිතව මේ වන විටත් පවතින සුළු නොසන්සුන්තාව ප්‍රවර්ධනය කිරීම මොහුගේ අපේක්ෂාව වී ඇති බව පැහැදිලිය. මෙය ඉතා බරපතල ජාතිවාදී අරගලයකට මුල පුරන හා හමුදාව නොසන්සුන් කරවන සැළසුම් සහගත කුමන්ත්‍රණයක් බව රජයේ ආරක්ෂක අංශ වල අවධානයට යොමු විය යුතුය
බෞද්ධ නොවන අයකු මෙරට හමුදාපති ධුරයට පත්වූ පළමු අවස්ථාවද මෙය නොවේ.
මෙරට හමුදාව ඉතා විශිෂ්ට ආකාරයෙන් වෘත්තීමය හැඩයකට සංවිධානය කළ ලුතිනන් ජනරාල් ඩෙනිස් පෙරේරාද කතෝලිකයෙකි.මෙරට යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමෙන්තුව හා කාන්තා බලකාය පිහිටුවන ලද්දේ හමුදාපති ලුතිනන් ජනරාල් ඩෙනිස් පෙරේරාය.එහිදී ඉතා වැදගත්ම කාරණය වූයේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ “කමාන්ඩෝ ඔෆ්ද ෆාදර්” ලෙස සැළකෙන ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් ද කතෝලිකයෙක් වීමය. මේ ඡ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ රණ කාමිත්වය වෘත්තීය භාවය හා විශිෂ්ටත්වය ඔවුන් විශ්වාස කළ ආගම නිසා බිඳ වැටුණ බවක් හෝ ඉන් මෙරට රාජ්‍යයට අතුරු ආන්තරාවක් වූ බවක් නම් කිසි දිනක වාර්තා වී නැත. ඔවුන් ඉටු කරන ලද සේවාවෙන් හමුදාව බැබළුන බව නම් නිසැකය.
වර්තමාන හමුදාපතිවරයා අවුරුදු 36 ක හමුදා සේවා කාලයක් සපුරන ලද හමුදා නිළධාරියෙකි.ඔහු දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ නිළධාරී අධ්‍යයන මධ්‍යස්ථානයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානී සහ ප්‍රධාන උපදේශක,යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක සහ පුහුණු කණ්ඩායම් ප්‍රධානී,යුද හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ 66වන බල සේනාවෙි බල සේනාධිපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක, ආරක්ෂක සේනා ආඥාපති(මධ්‍යම)යුද හමුදා සේවෙච්ඡා බල සේනාවේ සේනා විධායක ආදී තනතුරු රැසක් හොබවා ඇත. එමෙන්ම ඔහු යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙසද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සේනා විධායක ධුරයද ඉසිළීය. බොහෝ දෙස් විදෙස් ආරක්ෂක හමුදා පාඨමාලාවන් ගණනාවක් හදාරා ඇති වර්තමාන හමුදාපති වරයා වොෂින්ටනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ත සහයෝගිතා වැඩ සටහනේ හොඳම විදේශ ශිෂ්‍යයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.
දීර්ඝ සේවා කාලයක් සපුරා ඇති හා හමුදාවේ විවිධ ධුරයන්හි රාජකාරි කර ඇති ලුතිනන් ජනරාල් ලසන්ත රොඩ්රිගු එම රාජකාරි කටයුතු වලදී සිය පෞද්ගලික ආගමික විශ්වාසය පටලවා ගත් බවට කිසිවෙකු චෝදනා කර නැත.
එසේ නම් මේ කීර්තිමත් නිළධාරියා හමුදාපති වරයා වීමෙන් පසුව සිය ආගමික භාවිතය රාජකාරිය හා පටලවා ගනිතැයි කිසිවකු චෝදනා කරන්නේ නම් ඒ පුද්ගලයාගේ ඔළුව මානසික වෛද්‍යවරයකුට පෙන්වීම සුදුසුය.
ඒ අතරේම මේ යූ ටියුබයා යුද හමුදාපති වරයා කාන්තාවක හා අනාචාරයේ යෙදුන බවටද චෝදනා කරමින් හඬ පටයක් පවා ඉදිරිපත් කරයි. ඉන් අනාවරණය කෙරෙන්නේ කාන්තාවන් කුට්ටනය කරන පිම්පියෙකු ලෙස සැළකෙන තැනැත්තෙකු තව අයෙකු යුද හමුදාපති වරයා ගේ නම සඳහන් කරමින් කරන සංවාදයකි. මේ සංවාදය ඉතා පහළ ග්‍රාමීය බස් වහරින් සිඳුවී ඇත්තෙකි. ඉහළ සමාජය තුළ මෙවැනි ගනුදෙනු කරන්නන් ඉංග්‍රීසි බස හසුරවන්නන් මිස ප්‍රාථමික ගැලරි බස භාවිතා කරන්නන් නොවේ.ඉන් හෙළි වන්නේ මේ යූ ටියුබයාගේ ගොන් කමය.
යුද හමුදාපති වරයා මෙලෙස මඩ අවලාද නගන මේ යූ ටියුබයා පිටුපස සිටින්න මිල්ටෙරි නන්දසේන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාව සිටියදී ඔහු සමීපයේ සිට බොහෝ දූෂණ හා ජාවාරම් කල ලුතිනන් කර්නල් වරයෙකි.ඒ අවදියේ ආරක්ෂක අමාත්‍යංශයට අනුයුකත්ව සිටි මේ ලුතිනන් කර්නල් වරයා එහි සේවයේ නිරතව සිටියදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මිල්ටෙරි නන්දසේන ගේ නම විකුණා ජාවාරම්වල නිරත වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ලැබූණ පැමිණිලි විමර්ශනයෙන් පසුව මිල්ටෙරි නන්දසේන විසින් මෙම ලුතිනන් කර්නල් වරයා සිය කාර්යාල සේවාවෙන් නෙරපා හැර ඇත.මොහු පොදු සේවා බලකායේ නිළධාරියෙකි.එහෙත් මේ වන විටත් මේ ලුතිනන් කර්නල් වරයා සිය මුහුණු පොත් ගිනුම මගින් තමන් කමාන්ඩෝ රාජකාරිවල නිරත වූ බවක් අඟවා තිබේ.
පොදු සේවා බලකායේ නිළධාරියකු කමාන්ඩෝ රෙජිමෙන්තුවට අනුයුක්ත වීමට කමාන්ඩෝ පාඨමාලාව හැදෑරිය යුතුය.එම පාඨමාලාව ඉතා දුෂ්කර පාඨමාලාවකි. එසේම මොහු කමාන්ඩෝ පාඨමාලාව හදාරා නැති බවද අප විසින් සොයා බැලීමේදී අනාවරණය විය.
මේ ලුතිනන් කර්නල් වරයා තමන් කමාන්ඩෝ වරයකු බව අඟවමින් සිටින්නේද වංචනිකවය.කෙසේ වෙතත් මේ වන විට මෙම ලුතිනන් කර්නල් වරයා ගේ විෂමාචාර පැවැත්ම නිසා මොහු හමුදාවෙන් ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.කොමිෂන් ලත් ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු හමුදා සේවයෙන් ඉවත් කිරීමේ අධිකාරිමය බලයක් හමුදාපතිවරයාට නැත. එය සිද්ධ වන්නේ උපදේශක මණ්ඩලයක නිර්දේශ මතය.
මේ ලුතිනන් කර්නල් වරයාට එරෙහිව ඇති චෝදනා මෙසේය.
1.කූඨ ලේඛන සකසා උසස්වීම් සඳහා නිර්දේශ ලබා ගැනීම.
2.යුද හමුදා නිල ඇඳුම් භාවිතා කර ව්‍යාපාරික අවශ්‍යතාවන් සදහා ප්‍රචාරය කිරීම.
3.දූෂිත දේශපාලඥයන් ලවා තම පුද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීම සදහා හමුදාව වෙත බලපෑම් කිරීම.
4.හමුදාවේ අරමුදල් පුද්ගලික පරිහරණය සදහා යොදා ගැනීමට වරදකරු වීම.
5.දේශපාලන සබඳතා මත බොල්ගොඩ වැව අසල පරිසර නීති උල්ලංඝනය කරමින් හෝටලයක් ඉඳි කිරීම.
6. පසුගිය රජයන් සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ වසර ගණනාවක් රාජකාරි සිඳු කිරීමේදී ආරක්ෂක කටයුතු සඳහා භාණ්ඩ ගෙන්වීමේ මුවාවෙන් වෙනත් භාණ්ඩ රට තුළට ගෙන්වා ඒවා අලෙවිකර ව්‍යාපාර සිදු කිරීම.
7. යුද හමුදා සෙබළුන් තම පුද්ගලික හෝටලයේ අරක්කැමියන් ලෙස යෙදවීම
ව්‍යාජ ලේඛන සකසා යුද හමුදාව වෙත කුලී පදනම මත වාහන යොදවා වංචා කිරීම.
8.තමන් විසින් හමුදාව තුළ සිඳු කරන ලද වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ හා දඬුවම් දුන් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් වෙත සමාජ මාධ්‍ය තුළින් සාවද්‍ය ප්‍රචාර සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වීම.
මෙතෙක් කාලයක් ගජබාකරණයට ලක්ව බිමට සමතලා වී තිබූ යුද හමුදාව
විනයානුකූලව නැවත ඉහළට එසවීමට හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගු දරන උත්සාහය හා කැපවීමට සියළු සෙබළුන්ගේ ගෞරවය හිමි වෙමින් පවතී. යුද සෙබළුන්ගේ සුබ සාධනය සඳහාද ඔහු දැඩි අවධානයක් දක්වා තිබේ.යුද්ධයේදී ආබාධිත වූ සෙබළුන් හා මියගිය සෙබළුන්ගේ පවුල් වල මතුවන ප්‍රශ්ණ විසඳා ගැනීම සඳහා එම අයවළුන් සිය රෙජිමෙන්තුව මූලස්ථානය වෙත යා යුතුව තිබුණි. එහිදී ඇතැමකුට බොහෝ දුර ඈත පිහිටි රෙජිමෙන්තු මූලස්ථාන වලට යාමට සිඳුවූ අවස්ථා බොහෝය. එහෙත් වර්තමාන හමුදාපතිවරයා ආබාධිත සෙබළුන් හා දිවි පිදූ සෙබළුන් ගේ පවුල් වල ප්‍රශ්ණ විසඳා දීමට දිවයිනේ පිහිටි සෑම රෙජිමෙන්තුවකම සුබ සාධන සම්බන්ධීකරණ අංශයක් පිහිටුවීමට කටයුතු කර තිබේ. මේ නිසා එම ගැටළු මතුවන සෑම අයෙකුටම තමන් පදිංචි ප්‍රදේශයේ ආසන්නතම යුද කඳවුර වෙත ගොස් ප්‍රශ්ණය විසඳා ගත හැකිය.
වර්තමාන යුද හමුදාපති වරයා ගේ සේවාව ගැන විවේචනයක් එල්ල වේ නම් ඒ චෝදනා නැගිය යුතු වන්නේ හමුදා නිළධාරීන්ගෙන් හා සෙබළුන් ගෙනි. එහෙත් හමුදාපති වරයාගේ සේවාව ගැන හමුදාව තුළ පවතින්නේ යහපත් ප්‍රසාදයකි.
එහෙත් සිය පෞද්ගලික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම පිණිස හමුදාපතිවරයාට නින්දා අවලාද නගන කුප්ප මාධ්‍ය භාවිතය හෙළා දැකිය යුතුය.
ඉතා කෙටියෙන් සඳහන් කරතොත් හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රුද්‍රිගු යුද හමුදාව අනුරාධපුරයේ ඥානක්කාගේ ආඥාපතිත්වයෙන් මුදා ගැනීම ගැනද ස්තූති කරන්නට වචන නැත.ඥානක්කා ගේ නියෝගයෙන් යන්තර දහයක් පහලොවක් බෙල්ලේ එල්ලා ගත් අත් දණ්ඩ පුරා පිරිත් නූල් බැඳගත් ඥානක්කාගේ දේවාලයේ කොට්ටෝරු වැඩ වලට සෙබළුන් යෙදවූ ජනරාල් වරුන් දැන් හමුදාවේ හතර මායිමේ දකින්නටද නැත.