Sunday, June 1, 2025

මහින්දාන්ද සහ නලින් වැළිකඩ මොරුන්ගේ වාට්ටුවට යැවුණූ බැසිල්ගේ අංචිය! – ලොකු කුමා

(Sri Lanka Brief/30 May 2025)

රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් දූෂණය කිරීමේ වරදට දඩුවම් ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේත් හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දුත් මේ වන විට රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේය.මෙරට අධිකරණයකින් පළමු වරට වරදකරු වන තැනැත්තන් රඳවා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

2015 ජනපතිවරණයේදී සතොස ආයතනයේ මුදල් ප්‍රතිපාදන යොදවා කැරම් බෝඩ් 14000 ක් හා දාම් බෝඩ් 11000ක් අවිධිමත් ආකාරයෙන් මිලට ගෙන ක්‍රීඩා සමාජවලට බෙදා දී රජයට මිලියන පාඩු කිරීම මහින්දානන්දට හා නලින් පුනාන්දුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂම වෙතින් නැගුන චෝදනාවන්ය.⁣ මේ⁣ දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිලි කරන ලද්දේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද සමරසිංහය.

මේ නඩුකරයේදී දාම් බෝඩ් හා කැරම් බෝඩ් ක්‍රීඩා සමාජ වලට බෙදා දුන් බව සඳහන් කෙරුනද මේ සියල්ල දුන්නේ මැතිවරණ කොට්ඨාශවල පිහිටුවන ලද පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාල වලටය.

මේ වන විට දඬුවම් ලැබූ හිටපු අමාත්‍යවරුන් දෙපොළ වැලිකඩ බන්ධනාගාරයේ ජම්පර ඇඳුමෙන් සැරසී සිටින බව තහවුරුය. ඔවුන්ට අයිතිවාසිකම් කිව හැකි එකම දේපොළ වන්නේ බෙලෙක් පිඟානත් බාල්දියත් පැදුරක් කොහු කොට්ටයක් ජම්පර ඇදුම් කට්ටලයක් හා රෙට්ටුවක් පමණි.හඳුන්වන්නේද අංකයකිනි.

මෝරුන්ගේ වාට්ටුව

ඉදිරියේදී මේ දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශයට යොමු කෙරෙනු ඇත.මේ සිරකරුවන් දෙදෙනා මේ වන විට රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේය.මේ වාට්ටුව හිරකරුවන් හඳුන්වන්නේ මෝරුන්ගේ වාට්⁣ටුව ලෙසය. බන්ධනාගාර බස් වහරේ මෝරුන් යනුවෙන් හැඳින්වෙන්නේ සිර දඬුවම් ලබා සිටින ධනවතුන්ය.⁣ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින දුමින්ද සිල්වා සිටින්නේද මේ කේ වාට්ටුවේය.

මහින්දානන්ද මේ වළඳන්නේ අනුන්ගේ පරිප්පුවකි.ඒ පරිප්පුව වෙනින් කාගේවත් නොව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ⁣ගේය. මහින්දානන්ද සමග හිර බත් කන අනෙක් සගයා වන නලින් ප්‍රනාන්දු බැසිල් රාජපක්ෂ හා බඩ බැඳ ගත් සමීපත⁣මයෙකි. ඔහු සතොස සභාපති කරන්නේ බැසිල් රාජපක්ෂය. මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වූ නලින් ප්‍රනාන්දු බැසිල් රාජපක්ෂගේ සගයකු වීම පුදුමයට කාරණයක් නොවේ. රාජපක්ෂ පවුලේ ජාවාරම් සදහා අත හිත දෙම්න් සිටියේ මෙවැන්නන්ය. මහින්දානන්ද රාජපක්ෂවරුන්ගේ ජාවාරම්වලට සම්බන්ධ කරගන්නේ ඔහුගේ අධ්‍යාපනික මට්ටමේ පහත්කම හා අමු මෝල් කම නිසාය.

මහින්දානන්ද අළුත්ගමගේ විදුලිබල රාජ්‍ය ඇමතිවරයාව සිටියදී විදුලිබල ඇමති වූයේ ඇමති ජෝන් සෙනෙවිරත්නය. එම අමාත්‍යංශයේ ලේකම්වරයා වූයේ ප්‍රදිනැන්දුය.⁣ ඇමති ජෝන් සෙනෙවිරත්න සිය ඇමති ධුරයෙන් හම්බ කරගෙන කෑ දේශපාලඥයෙක් නොවීය. එහිදී අමාත්‍යංශ ලේකම් ප්‍රදිනැන්දු හා නියෝජ්‍ය ඇමති මහින්දානන්ද යන දෙදෙනා නියම ගැලපීමක් වූ අතර මොවුන්ගේ කෙරුවාවද ජාඩියට මූඩිය විය.

නොරොච්චෝලේ ආදී විදුලි ව්‍යාපෘති වලින් මහින්දානන්දත් ප්‍රදිනැන්දුත් ඉස්ම යන තුරු කොමිස් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල විය. මේ දෙදෙනා ඕස්ට්‍රෙිලියාවේ එංගලන්තයේ ගේ දොර ඉඩ කඩම් මිලයට ගත්තේ විදුලියෙන් ගසා කෑ කොමිස් මුදල් වලින් යැයි ද ඒ චෝදනාවලින් කියැවුණි.

මේ ⁣ජාවාරම් ගැන මහින්ද රාජපක්ෂ නොදැන සිටියා නොවේ.ආණ්ඩුවෙි ජාවාරම්කාර දේශපාලඥයන් පිළිබඳව නොදන්නා ගානට සිටීම ඔහුගේ දේශපාලන සට කපට දේශපාලනික භාවිතයයි.තමන්ට පරාණ භුක්තිය ලියා දුන් දේශපාලනික වහලෙක් මහින්ද රාජපක්ෂ නිර්මාණය කර ගන්නේ ඒ භාවිතයෙනි. සිය පක්ෂයේ දූෂිතයන් වූ ඒ ඒ දේශපාලඥයාගේ කෙරුවාව සඳහන් කෙරුණ ගොනුවක් මහින්ද රාජපක්ෂ සතුව තිබුණි. සිය දේශපාලනික පැවැත්ම වඩාත් තහවුරු කර ගැනීමට මහින්ද රාජපක්ෂ යොදා ගත්තේ එම ගොනුවයි.

ඒ ගොනුව තමන්ට එරෙහිව ජනපතිවරයා විසින් යොදා ගනිතැයි බියෙන් වහලා නිතරම සිටියේ ජනපතිවරයාගේ පැවැත්ම වෙනුවෙන් මරා ගෙන මැරෙන්නට තරමේ කැපවීමකිනි. සිය හෘද සාක්ෂිය දන්නා සොරකම් නිසා වහලාට ඉන් පිටස්තර සිතීමක්ද නැතිවිය.මහින්දානන්ද අළුත්ගමගේද ඒ වහල් කණ්ඩායමේ සාමාජිකයෙකි. කෙසේ වෙතත් රාජපක්ෂ වරුන් සිය අන්තේවාසිකයන් මෙවලම් ලෙස පරිහරණය කිරීමට දක්ෂයන්ය.

කපුටාගේ සැළැස්ම

ජනපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍ය වරයා ලෙස කටයුතු කෙරුවේ මහින්දානන්ද අළුත්ගමගේය.අමාත්‍යංශ ලේකම්වරයා වූයේ ⁣විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිය. ඒ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස විශ්‍රමික ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරියකු වූ එල්මෝ පෙරේරා සිටියේය. ක්‍රීඩා සංවර්ධන දෙපාර්⁣තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වූයේ රාජ්‍ය පරිපාලන සේවයේ නිළධාරිණියක වූ රංජනී ජයකො⁣ඩි වේ.

එම ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු බාරව සිටියේ බැසිල් රාජපක්ෂය.

මැතිවරණයේ ප්‍රචාරක කටයතු සදහා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මැතිවරණ කොට්ඨාශ ආවරණය කරගනිමින් පිහිටුවන ලද කාර්යාල

සඳහා කැරම් බෝඩ් හා දාම් බෝඩ් බෙදා දීම සඳහා සතොස ආයතනයේ මුදල් ප්‍රතිපාදනයන් වැය කිරීමට බැසිල් රාජපක්ෂ එහි සභාපති නලින් පුනාන්දුට උපදෙස් දුන්නේය. සතොස ආයතනයෙන් රාජ්‍ය මිලදී ගැනීම් පරිපාටියෙන් පිටස්තරව අවිධිමත්ව මිලදී ගත් එම භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යංශය හරහා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය වෙත බාර දෙන ලදී.

අනතුරුව ක්‍රීඩා ඇමති මහින්දානන්ද උත්සාහ දැරුවේ එම භාණ්ඩ තොගය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා නිත්‍යනූකූළව මිලට ගත් බවට ලියකියවිලි සකස් කරන්ටය. ඔහු සිය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම් වරයා වූ එල්මෝ පෙරේරා ⁣අත එසේ සකස් කරන ලද ලියකියවිලි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ රංජනී ජයකොඩි වෙත යවන ලද්දේ ඇය ගේ අත්සන ලබා ගැනීමටය.

එහෙත් රාජ්‍ය පරිපාලන සේවයේ දීර්ඝ කාලීන අත් දැකීම් ඇති ඇය එම ලියකියවිලි වලට අත්සන් නොතබා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් එල්මෝ පෙරේරා එළවා දැමුවේ ඒ ක්‍රියාවලිය තුළ පැවති බරපතල මුල්‍ය විෂමාචාරය තේරුම් ගත් නිසාය.

එහෙත් අවසානයේදී එම ලිය කියවිලි වලට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි අත්සන් කෙරුවේය. හමුදා විශ්‍රාමික මේජර් ජනරාල් වරයකු වූ ඔහුට රාජ්‍ය පරිපාලනයේ මුදල් විනය පිළිබඳව අවබෝධයක් හා අත් දැකීමක් නොතිබිණි.

හිටපු ඇමති මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට සිර දඬුවම් හිමි වූයේ මේ සිද්ධියටය.

රාජපක්ෂ බළල් අත්

එම මුදල් අවභාවිතවෙන් මේ දෙදෙනාට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවූ බව සහතිකය. සැබැවින්ම එම සිද්ධිය තුළ මේ දෙදෙනා හුස්ම ගන්නා රූකඩ පංචස්කන්දයන් පමණක්ම විය. මේ රූකඩ තමන්ට ඕනෑ විදියට නැටවූයේ ඇමති බැසිල් රාජපක්ෂය. එහෙත් අවසානයේදී පරිප්පු කන්නට වූයේ මේ දෙදෙනාටය.රාජපක්ෂ වරුන් බොහෝ ජාවාරම් කෙරුවේ මේ හැඩයටමය.ඒ සෑම ජාවාරමකදීම රාජපක්ෂ වරුන් තමන්ගේ දෑත් පුච්චා නොගැනීමට තරමේ ආරක්ෂාකාරී වූහ. එහෙත් රාජපක්ෂ වරුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින රූකඩ වහළුන් කණ්ඩායම නිරන්තරයෙන් ඔවුන් සමීපයේ සිටයහ.

දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඒ වහළුන් දුර දිග නොබලා සිය ස්වාමිවරුන් වූ රාජපක්ෂවරුන්ගේ පැවැත්ම සඳහා දූෂිත ආකාරයෙන් වැය කරන ලද පොදු මහජන මුදල් අවභාවිතාවන්ටය.මේ වහළුන් සිතා ගෙන සිටියේ රාජපක්ෂවරුන්ගෙන් මෙරට දේශපාලන බලය කිසි⁣දිනක ගිලිහෙනු නැති බවය. එහෙත් සිදු වූයේ නොසිතූ සමාජමය මැදිහත් වීමකි.

මහින්දානන්ද හා නලින් ප්‍රනාන්දු මේ භුක්ති විඳින්නේ ඒ මැදිහත් වීමේ ප්‍රතිඵලයයි.

වැලිකඩ සිර දඬුවම් විඳින මහින්දානන්ද හා නලින් ප්‍රනාන්දු හ⁣ට ශ්‍රේෂ්ඨාධිකරණයට එක් අභියාචනයක් කිරීමට අවස්ථාව පවතී.සාමාන්‍යයෙන් මහාධිකරණයෙන් දඬුවම් ලබන වැරදිකරුවෙකු හට අභියාචනා අවස්ථාවන් දෙකක් පවතී.එහෙත් මහින්දානන්ද හා නලින් ප්‍රනාන්දු දඬුවම් ලැබුවේ විනිසුරුවරයන් තිදෙනෙකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ම⁣හාධිකරණයකිනි.

ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් දඬුවම් ලැබූවෙකුට අභියාචනා අවස්ථාවන් ඇත්තේ එක් වරක් පමණි.මේ අවස්ථාව තුළ දින දහ හතරක් තුළ සිර දඬුවම් විඳින මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දු හට තමන්ට ලැබුණු සිර දඬුවම් පිළිබඳව අභියාචනා කළ හැකි වන අතර එහිදී ඔවුන් හට ඇප ඉල්ලීමට හැකියාව පවතී.

මේ දෙදෙනාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විභාගයට ගන්නේ විනිසුරු වරුන් පස් දෙනෙකු යටතේය.

මහින්දානන්ද අළුත්ගමගේට හා නලින් ප්‍රනාන්දුට සිදු වූ විපත එසේ මෙසේ විපතක් නොවේ. මේ දෙදෙනාට වැලිකඩ ලගින්නට සිඳු වන කාලය ඉලක්කම් වලින් ගණන් හැදුවොත් ඔවුන්⁣ට බන්ධනාගාරයෙන් එළියට බසින්නට සිඳු වන්නේ ජීවිතයේ අවසාන භාගයේය.

එහෙත් අපට ඒ ගැන අනාවැකි කියන්නට නොහැකිය.ඒ මන්ද යත් ඔවුන්ට කඩඉම් අවස්ථාවක් උරගා බලන්නටද වාසනාව ඇති බැවිනි.මෙරට දේශපාලන බිමෙහි අනාගතයේදී සිඳුවිය හැකි වෙනස්කම් තුළ ඔවුන්ගේ සිර ජීවිතය වෙනස් වෙන්නට ඉඩ තිබේ.

අහෝ දුකකි!

එළිමහන් ජීවිතයේ අධි සුඛෝපබෝගී ජීවිත විඳි මොවුන් දෙදෙනාට වැලිකඩ කේ වාට්ටුවේ මුහුණ පාන්නට සිඳුවන දුෂ්කරතාව ගැන අප අමුතුවෙන් ලියන්නට ඕනෑ නැත.

1947 වර්ෂයේ ඒ.ආර්.පී.ජේමිස් අප්පුහාමි නම් කවියකු රචනා කරන ලද සිපිරි මාලයනම් මාල කාව්‍ය සංග්‍රහයේ හිර ගෙදරදී සිරකරුවකු හට විඳින්නට

සිඳුවන කරදරය සඳහන් කර තිබේ. මීට අවුරුදු හැත්තෑ අටකට පමණ පෙර මේ මාල කාව්‍ය සංග්‍රහය රචනා කරන ලද්දේ වුවද ඉන් අනාවරණය කරන විස්තරයන් අතර හා වර්තමානයේ සිරකරුවන් විඳවන දුෂ්කරතාවන් අතරද කිසිම වෙනසක් නැති බව අපේ අත්දැකීමයි.

මේ එම මාල කාව්‍ය සංග්‍රහයේ කවි දෙකකි.

කලිසම පල්ල දඟලන ඉනිකුනි ගොන්න

ඇඟ ඇතිරිල්ල ඇඳ මකුනන් ගැලතිල්ල

අපෙ මැසිවිල්ල නොදනිති නෑසියො ගොල්ල

සකි නුඹ පල්ල නිදි නැති රෑ දැඟලිල්ල

දදා පපුව යට කුස ගිනි ඇ⁣විලෙනවා

එදා බඩගින්න නිතරම පිබිදෙනවා

විඳා මෙදුක කිකලක අපි ගැලවෙනවා

නිදා ගන්ට බැරි බලු මැක්කෝ කනවා

Archive

Latest news

Related news