Wednesday, June 4, 2025

මග මරුවා සමඟ වාසේ – සුනන්ද දේශප්‍රිය

මරුවා සමඟ වාසේ’ කියා පපුවේ කොටා ගෙන සිටියේ මරුසිරාය. දැන් මෙරට සැම බස් මගියකුගේම පපුවේ කෙටී ඇති වැකිය ද එයමය. එක් වචනයක් වැඩියෙනි.

1994 චන්ද්රිකා කුමාරතුංග ජනාධිපති වන විට අප ජීවත් වූයේ කුරුණෑගල ඉබ්බාගමුව නුදුරු යකල්ලෙහිය. කොළඹ රැකියාව කළ මා වැනි බොහෝ දෙනෙකු මුහුණ දුන් ප්රශ්නයක් වූයේ නිසි වේලාවට කාර්යාලයට යා හැකි ගරු සරු සහිත බස් රථයක් අල්ලා ගැනීමයි.

විනාඩි දහයෙන් දහයට කොළඹ දුවන බස් රථ තිබූණි. එ නමුත් තදබදය, අශිලාචාර රියදුරන් සහ සහායකයින් මෙන්ම වහල්භාවයේ ගිලී සිටි බස් මගීන් එම ගමන අපායට යන ගමනක් බවට පත් කර තිබුණි.

මීට විසඳුමක් ලෙස කුරුණෑගල නගරාසන්නයට දුම්රිය නැවතුමක් ඇති කර ගැනීමට අපි පිරිසක් කල්පනා කළෙමු. ඒ සඳහා අවශ්ය වූයේ කිලෝමීටර කිහිපයක දුම්රිය මාර්ගයක් සහ කුඩා දුම්රිය නැවතුමක් ගොඩ නැගීම ය. එකල අපට ජනාධිපතිනියට මෙන්ම ප්රවාහණ ඇමතිවරයාට කතා කළ හැකි විය. ඔව්හු අපට කන් දුන්හ. අපේ වැයික්කිය වූ හිරියලේ මංත්රීවරයා වූයේ අපගේ ගජයකු වූ සාලින්ද දිසානායකය. ඔහුද අපේ අදහසට කැමැති විය.

වන්නාටය. එම අදහස අඩුම ගණනේ කොළයක හරි හැටි ලියැවුණේවත් නැත. නගරයට දුම්රිය පොළක් යන අදහස පුද්ගලික බස් මාෆියාවට වහ කදුරු විය. සාලින්ද දිසානායක කට පියා ගත්තේය. ඇමතිවරයාට තවත් වැඩ තිබුණි. ජනාධිපතිනිය හරි හොඳ වුවද පහු පහු වන විට කොහු කොහු විය.

පසු කලක මා කුඩා කාරයක් පදවා ගෙන කොළඹ එන්නට වූ විට ඉදිරියෙන් සහ පසුපසින් හඹා ගෙන එන බස් රථවලින් බේරීම ලොකුම හපන්කම විය යුතු විය. අද පවා කුරුණෑගල දඹුල්ල පාර මෙම මග මරු රියදුරන්ගේ තරඟ ධාවන පථයයි.

දැන් අපට බස් අනතුරු සාමාන්ය දෙයකි. ‘බස් කොන්දොස්තරලාට බය සමාජයකට මොන ව්යවස්ථා ප්රතිසංස්කරණ ද කියා ගෙත්තම් කළේ දීප්ති කුමාර ගුණරත්නය. එය එක්තරා ඇත්තකි.

ඇගට ජීර්ණ වූ කතිර ගැසීමෙන් එපිටට අප සමාජය නැගිට්ටේ ලී කුවාන්ගේ ද මහතීර් මොහමඩ්ගේ ද වැලැඩිමීර් පූටින්ගේ ද ප්රතිමූර්තියක් යැයි අං තට්ටුවක් පළදවන ලද ගෝටාට පිං සිදු වන්නටය. ඔහු ‘අරගලය’ට මඟ පෑදුවා පමණක් නොව එය වැඩෙන්නට පොහොර ද ලබා දුන්නේය. සියයට තුන සියයට 62 වූයේ ද ගෝටාට ස්තුති වන්නටය.

අන්තිමේදී කතිරය ඉක්මවා යෑමක් වු ‘අරගලය’ ද කතිරය මත වැතිරිණි. එහි වරදක් නැත. එනමුත් එතරම් ආහල්ලාද ජනක ලෙස සෞම්ය ගිනි කන්දක් ලෙස පුපුරා ආ ‘අරගලය’ හි ජීවය අද කොහිද?

දෙමසක් තුල සරසවි සිසුවකු සහ සිසුවියක ද පාසැල් සිසුවියක ද සිය අනාගත සිහින සදාකාලික අන්ධකාරයෙහි ගිල්වා දැමූහ. අපේ ‘අරගල’ ජීවය දැන් තිබෙන්නේ යූ ටියුබ් නාලිකාවන්හි පමණක් දැයි සිතෙයි. ඒ ආණ්ඩුවේ නිල මාධ්ය අවසර අනීවාර්ය කිරීමට විරුද්ධව වීදියට ආවේ පහළොස් දෙනෙක් විතර යැයි අසන්නට ලැබෙන නිසාය. ඒ පහළොස් දෙනා අතර වින්දිතයා ද විය.

යළි මග මරුවා කතාවට යමු. හොර ජාවරම්කරුවන් නිල වශයෙන් මෙරටට කැන්දූ ජේ.ආර්. ජයවර්ධන සාපයෙහි ලෝක බැංකුව විසින් කරන ලද සහසිකම අපරාධයක් නම් බස් පුද්ගලීකරණයයි.

කුමන දුබලතා තිබුණද ලංගම සතුව මගී ප්රවාහණයේ තනි අයිතිය තිබූ ජේ.ආර්.ට පෙර සමයෙහි එය සතුව ශක්තිමක් ආයතනික ව්යුහයක් සහ ශිෂ්ටාචාරවත් සේවක පුහුණුවක් තිබුණි. එමෙන්ම එහි තිබුණේ ලොරි වැසි මත ඉදිකරන ලද ලදරම් බස් නොවේ. සැම මගියකුටම ගෙවන මුදලට ලදු පතක් ලැබුණි. බස් රථයට ඇතුලුවීම පසු පසිනි. බැසීම ඉදිරියෙනි.

බස් පුද්ගලීකරණයේ නාමයෙන් කරන ලද ඒ අපරාධයෙන් ගොඩ ඒමට අඩ සියවසකට ආසන්න වී තිබුණ ද අප රටට නොහැකි වී තිබේ. මගී ප්රවාහණය මහජන සේවයක් වෙනුවට හුදෙක් ලාභ ලැබීමේ ජාවාරමක් බවට පත් කිරීම, තනි තනි පුද්ගලයින්ට මගී ප්රවාහණය සඳහා අවසර දීමේ පදනම විය.

මෙම වසර 47 තුල සිදුව ඇත්තේ බස් ජාවාරම ඊටම ආවේණික භයානක ආත්මයක් ගොඩ නගා ගැනීමයි. එය හරියට සතුරා සමඟ සටන් වදින කුරිරු යක්ෂ ආත්මයක් හා සමාන වන්නේ එය එක්තරා අන්දමක ජීවී සත්වයකු බවට පත්ව තිබීම නිසාය. එය සුවිසල් බාහු සහිත මානව ලේ සහ දහඩිය මත යැපෙන දරුණු බූවල්ලෙකි. එම අඩු අතර දේශපාලනඥයෝ ද පොලිස් හමුදා බල පුලුවන්කාරයෝ ද වෙති.

එයට අපේ දේශපාලන ව්යවහාරයේ මාෆියාව යැයි කියනු ලබන්නේ එනිසාය. බූවලු මාෆියා ව්යුහයක් පැරදවීම කළ නොහැකි තරමේ අභියෝගයකි. බූවල්ලාට පරිසරය අනුව සිය සිරුරේ වර්ණය වෙනස් කළ හැකිය. බස් මාෆියාව, මාලිමාවේ පාට ලබා ගත්තාක් මෙනි. බූවල්ලාට හදවත් තුනක් ද මොළ අටක් ද තිබෙන්නේ සිය බාහු ස්වාධීනව හැසිරවීම පිනිසය. බස් බූවලු මාෆියාව ඊට නොදෙවැනිය.

ජේ.ආර්. ද ඉන්පසු බලයට පත් සියලු ජනපති මැති ඇමති ගණයා කළේ බස් මේ කුරිරු යක්ෂයා මෙරට මහා ජනයාගෙන් උරා ගන්නා ලේ සහ දහදිය මගින් තමන් ද පෝෂණය වීමයි.

බූවලු මාෆියා ව්යුහයක් පැරද වීම දුෂ්කර වන්නේ එහි අනුවර්තනය වීමේ හැකියාව සහ බූවල්ලකුට මෙන් ඇට සැකිල්ලක් නැති නිසා ඕනෑම සිදුරකින් රිංගා යෑමේ හැකියාව නිසාය.

ඒකාධිපතියකු වීමට කැස කැවූ ගෝටාට බස් රථවල කරච්චල බජ්ව් වාදනය නතර කිරීමට නොහැකි විය. දැන් ජාතික ජන බලවේගයේ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවට තවමත් බස් රථ තුල ගීත ඝෝෂාව හෝ අවම වශයෙන් නතර කිරීමට බැරි වී ඇත්තේ මන්ද? බස් රථ තුල සවිකර ඇති තොරොම්බල් ඉවත් කිරීමට දුන් මාස තුනේ කාලය දැන් පළාත් සභා ගංවතුරට ගසා ගෙන ගොස්ය.

ජාජබ ආණ්ඩුව සිතා සිටින බව පෙනෙන්නේ සරුව පිත්තල වැඩ වලින් ජනයා පිනවිය හැකි බවයි. බස් නවත්වන නරකාදි බස් හෝටල් සුද්ද කිරීම දැන් අසන්නට ලැබෙන තනුව ය. අඩුම ගණනේ බස් රථයක මගියකුට නිසි ලදු පතක් දීම අනීවාර්ය කිරීමට පවා ජාජබ බී.ආර්.ට නොහැකි වී තිබේ. ඔහුගේ විශේෂ ප්රාගුණ්ය වන්නේ දේශපාලන පත්වීම් දෙන ප්රධානීන් මාසයෙන් දෙකෙන් ගෙදර යැවීම බව පෙනේ.

මේ සරුව පිත්තල සෝබන හැරුණ විට නව බී.ආර්. මගී ප්රවාහණය මහජන සේවාවක් බවට පත් කිරීමට කරන ලද මඟුලක් නැත. දැන් සහෝදරවරුනි, මාස හයක්ම ඉක්ම ගොස් අවසානය. තව ඇත්තේ එවැනි කෑලි නමයකි.

ජනාධිපති දිසානායක, සිය විධායක බලය සහ පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලය මත නැගී සිංහ නාද පතුරන්නේ හෝ ගොරවන්නේ විපක්ෂ කණ්ඩායම්වලටය. අප ඔහුගෙන් අපේක්ෂා කරන්නේ සිය බලය මෙරට පොදු ජනයාගේ එදිනෙදා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වන ප්රවාහණය, අධ්යාපනය වැනි ක්ෂේත්ර කරා යොදවන ලෙසයි.

එ් හැම ක්ෂේත්රයකම අරක් ගත් බලගතු බූවලු මාෆියා තිබේ. එවැනි බලගතු ජාල සමඟ සටන් කිරීමට නම් අත්යවශ්ය සාධකයක් ඇත. ඒ නම් බහු පාර්ශවීය දේශපාලන ප්රවිශ්ඨයකි. විපක්ෂයට බැනීම වෙනුවට ඔවුන් සමඟ මහජන සුභ සිද්ධිය උදෙසා එකඟතා ඇති කර ගැනීමය.

ඊළග මැතිවරණය දෙස බැලීම අරමුණ කර ගෙන දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම මූලික අරමුණ වන තාක්, අපේ ජීවිත මඟ මරුවා සමඟ වාසේ වනු ඇත. මේ ජනපති දිසානායක මුහුණ දෙන එක් අම්ල පරීක්ෂනයකි.

(සම්මුති - විසම්මුති තීරුව යටතේ පසුගිය සිකුරාදා අනිද්දා පුවත්පතෙහි පළ වූ ලිපියයි)

Archive

Latest news

Related news