(Sri Lanka Brief/29 May 2025)
හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් අද දඬුවම් කෙරිණි.ඒ මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයකු ලෙස හා නලින් ප්‍රනාන්දු නැමැත්තා සතොස සභාපති තනතුරේ සිටින අවදියේ මහජන මුදල් අවභාවිතාවේ යොදවන ලදැයි කියවෙන අල්ලස් පනතේ දූෂණය නැමති වරද සිඳු කරන ලද නිසාය.
මෙරට දේශපාලඥයන් කිසිදු බයක් හැකක් නොමැතිව මෙරට මහජන මුදල් අවභාවිතාවේ යෙදවීම ඇරඹුන කාල වකවානු පිළිබඳව සිතා ගත හැකි අපූරු අත්දැකීමක් ඒ.පී ඒ.ගුණසේකර මහතා සිය “හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ” කෘතියේ සඳහන් කර ඇත.
හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ කෘතිය ස්වයං චරිතාපදානයකි.එහි රචකයා වූ ඒ.පී.ඒ ගුණසේකර අමාත්‍යංශ ලේකම් වරයකු ලෙස කටයුතු කර මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ.
මෙරට දේශපාලඥයන් හට ලැබුණ අසීමිත දේශපාලන බලය යොදා ගනිමින් මුදල් අවභාවිතාවට පෙළඹුන හැටි ඔහු සිය කෘතියේ සදහන් කර ඇති නිසා මහින්දානන්ද අළුත්ගමගේත් නලින් ප්‍රනාන්දුත් කිරිකෝඩු වංචාකාරයන් නොවන බව වටහා ගත හැකිය.
ආණ්ඩු බලය හිමි දේශපාලඥයන් කිසිම හිරිකිතයක් නොමැතිව මුදල් වංචා කිරීම අරඹන ලද්දේ ජේ.ආර් ජනපතිවරයා ගේ කාලයේදී බව මේ කෘතියේ සදහන් කරුණු වලින් තහවුරු වේ.
ඒ.පී.ඒ ගුණසේකර මේ සඳහන කර ඇත්තේ 1978 වර්ෂයේ ඔහු ලද අත්දැකීමක් කේන්ද්‍රීය කර ගනිමිනි.ඒ මෙසේය.
“1978 ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩල යෙන් පරිබාහිරව වූ අමාත්‍යවරුන් පත් කිරීමට විධායක ජනපතිවරයාට බලය පැවරී ඇත.ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකටම දිසා ඇමතිවරයා බැගින් පත් කෙරේ.
1978 නොවැම්බර් මාසය ආරම්භයේදීම අනුරාධපුර දිසා ඇමතිවරයා වශයෙන් යාපහුව පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.බී.අබේරත්න පත් කරනු ලබයි.
එම පත්වීමත් සමගම දිසා අමාත්‍යවරයාට කච්චේරියේ උඩු මහලේ කාමරයක් සූදානම් කිරීමට දිසාපති අමර හේවා මද්දුම ක්‍රියා කරයි.එය දිසාපතිගේ නිල කාමරයට වඩා බෙහෙවින්ම කුඩා එකකි. දිසා ඇමතිවරයා රාජකාරි බාර ගත් දිනයේ කච්චේරියේ උත්සවයක්ද පැවැත්වෙයි. එක දහස් අටසිය අනූ ගණන් වල දිසාපති ක්‍රමයේ ආරම්භයේ සිට දිසා ඇමති ක්‍රමය ආරම්භය දක්වා ඉතිහාසය ඇතුළත් ශාස්ත්‍රීය දේශනයක් දිසාපති විසින් පවත්වනු ලබයි .එයට පැයක පමණ කාලයක් වැය වෙයි.
ඒ.ආර්,එෆ්.ආර් වෙනුවට ජේ.ආර්. ආදේශවීම
එම දේශනය අවසන් වූ පසු දිසා ඇමතිවරයා තම කතාව ආරම්භ කරයි. දිසාපතිවරයා දීර්ඝ කතාවක් පැවැත්වූ බවත් එහි සදහන් කරුණු පිළිබඳව තමන් නොදන්නා බවත් දිසා ඇමතිවරයා පවසයි. එසේම එම කරුණු තමනට වැදගත් නොවන බවත් සියල්ලෝම වෙහෙස මහන්සි වී වැඩ කර රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු දැකීම තම අභිලාෂය බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
“මේ හැම වැඩකටම ඒ.ආර්.,එෆ් ආර් පෙන්නන එක අද ඉඳල නවත්වන්න ඕනෑ. ඒ.ආර්,එෆ්.ආර් ,දැන් නෑ. දැන් ඉන්නෙ ජේ.ආර් විතරයි” යනුවෙන් දිසා ඇමතිවරයා තම අදහස් අවධාරණය කරයි. මෙය නිලධාරීන් උඩු යටිකරු කරන ප්‍රකාශයක් සේ හැඟී යයි.සියල්ලෝම නිහඬව ඔවුනොවුන්ගේ මුහුණු බලති…”
මෙහිදී තව දුරටත් ඒ.ආර් නමින් හඳුන්වන පරිපාලන නීති හෙවත් ආයතන සංග්‍රහයේ ඇති වැදගත් කමත් එෆ්.ආර්.හෙවත් මුදල් රෙගුලාසි වල ඇති වැදගත් කමත් සම්බන්ධයෙන් විස්තරයක් කර ඇති ඒ.පී.ඒ ගුණසේකර මහතා දිසා ඇමතිවරයා ඒ අවස්ථාවේ සිඳු කරන ලද ප්‍රකාශය මගින් ඔහු අදහස් කරන ලද්දේ නිළධාරීන් රාජකාරි කිරීමේදී නීති රීති අමතක කර දේශපාලඥයන්ගේ නියෝග පමණක් ගරු කරම්න් ක්‍රියා කළ යුතු බවට අනතුරු ඇඟවීමක් යැයිද සඳහන් කර තිබේ.
සැබැවින්ම මින් අප වටහා ගත යුත්තේ දේශපාලඥයන් රාජ්‍ය පාලනයේදී බලහත්කාරීව හා අනීතිකව පොදු මුදල් අවභාවිතා කිරීම අරඹන ලද්දේ ජේ.ආර්.ජයවර්ධනගේ විධායක ආණ්ඩු ක්‍රමය යටතේ බවය. එදවස සිට බලයට පත් වූ ආණ්ඩුවල සිටි දේශපාලඥයන් අඩු වැඩි වශයෙන් මහජන මුදල් අවභාවිතාවේ යෙදවූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එය වඩාත් බලහත්කාරීව හා අශීලාචාර විදියට සිදු කරන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පාලන සමයේදීය. ඒ කාලයේදී රාජ්‍ය බලය හිමි දේශපාලඥයන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ද හරි හරියට පොදු මහජන මුදල් වංචා කෙරුවේ රාජ්‍ය මුල්‍ය විනය නීති පිළිබඳව තැකීමක් නොකරමිනි.
ඉඳහිට දේශපාලඥයන් කිහිප පොළකට දූෂණය සම්බන්ධයෙන් නඩු පැවරුන නමුදු ඒ නඩු වල අවසාන විනිශ්චය ලැබුණේ එම දේශපාලඥයා නිදොස් කොට නිදහස් කරමිනි.
කිරිඇල්ලට විරුද්ධ මගේ පැමිණිල්ල
මේ ලියුම්කරු එවකට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වූ ලක්ෂමන් කිරිඇල්ලට එරෙහිව දූෂණය වරද යටතේ අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිල්ලක් කෙරුවේය. ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින අවදියේ ඔහුගේ මව අභාවප්‍රාප්ත විය.සිය මවගේ අවමංඟල උත්සවය නිම වීමෙන් පසුව සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන චාරිත්‍රයක් වන මල බත සඳහා මුදල් වියදම් කෙරුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට මඅයත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මුදල් වියදම් කරමිනි.
ඇමතිවරයා ඒ සදහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් රුපියල් 12375 ක මුදලක් ලබා ගත්තේය. 2003 මාර්තු මස 03 වන දින ඇතුල්කෝට්ටේ අලකේෂ්වර මාවතේ පවත්වාගෙන ගිය රොඩ්රිගෝ අවන්හලෙන් ඇමතිවරයා විසින් එම මුදල් වැය කරමින් සිය මවගේ මල බත දීම සදහා සුදු බත් ,වට්ටක්කා වෑංජන, කරෝල හොදි,පිපිඤ්ඤා සලාද ,බෝංචි වෑංජන, පොල් සම්බෝල හා අල කිරි හොදි ලබා ගෙන තිබුණි. එහිදී එක් අයෙකුට රුපියල් 165 ගණනේ අවමගුලට සහභාගි වූ හැත්තෑ පස් දෙනෙකුට එම ආහාර සපයා දෙන ලදී.
ලියුම්කරු ඇමතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ල කරන ලද්දේ එම මුදල් අවභාවිතාවට එරෙහිවය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් තීන්දුව 2004 වර්ෂයේ 08 මාසයේ 08 දිනැතිව මගේ අංක බීසී/252/2004(5) හා ඇමති මවගේ මළ බතේ වියදම අධිකාරියෙන් ගෙවයි ශීර්ෂය යටතේ අල්ලස් හෝ දූෂණ කොමිෂමේ ලේකම් පී.ඒ.අබේසේකර විසින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.අබේවික්‍රමට ලිඛිතව දන්වා තිබුණි. එම ලිපියේ අල්ලස් හෝ දූෂණ කොමිෂමේ ලේකම් වරයා සදහන් කර තිබුණේ අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් සිඳු කරන ලද විමර්ශනයේදී පුද්ගලික මුදල් වැය කළ යුතු කාර්යයකට ඇමතිවරයා රජයේ මුදල් වැය කර ඇති බව පෙනී යන බවත් පැමිණිල්ලට පසුව ඇමතිවරයා එම මුදලින් කොටසක් ආපසු ගෙවා ඇති බවත් හා ඉන් අනතුරුව ගෙවීමට ඇත්තේ රුපියල් 375 ක මුදලක් බවත් එම ඉතිරි මුදල අමාත්‍යංශ ලේකම් වරයාට ගෙවන ලෙසටත්ය.
ඇමතිවරුන් ගේ කෙරුවාවත් අල්ලස් හෝ දූෂණ කොමිෂමේ රාජකාරියත් ඒ දවස්වල සිද්ධ වූයේ එහෙමය. එහෙත් වර්තමානයේදි ජාජබ රජය යටතේ අල්ලස් හෝ දූෂණ කොමිෂමේ මැදිහත් වීම ගැන පුරවැසියන් හට බෙහෙවින් සතුටු වීමට හා විශ්වාසය තබා ගැනීමට හැකි වී තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෑතකදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය මෙතෙක් කාලයක් නඩලම් නැටූ දූෂිත දේශපාලඥයන්ට බරපතල අනතුරු ඇඟවීමක් විය. අල්ලස් හෝ දූෂණ කොමිෂම මගින් නඩු පැවරුණ බොහෝ දේශපාලඥයන් පසුගිය කාලයේ මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරමින් පවසන ලද්දේ තමන්ට එරෙහිව චෝදනා ගොනු වූයේ දේශපාලන පළිගැනීමක් වශයෙන් බවය.
කොමිසමේ බලය
අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතා බැරෑරුම් ලෙස අනතුරු ඇඟවූයේ වග උත්තරකාර දේශපාලඥයන් ගේ එම හැසිරීමට එරෙහිවය.මේ ඔහු කළ ප්‍රකාශයයි.
“…..මම දේශපාලඥයන් ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලනවා සමහර ප්‍රකාශ නිකුත් කරන්න එපා සමහර නඩු පැවරීම් කරන කොට දේශපාලන පළිගැනීම් කියල කියන්න හදන දේශපාලඥයන්ට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඒකට ගාව ගන්න එපාය කියල.මම ඉතාම හොඳින් බලා ඉන්නවා අල්ලස් හෝ දූෂණ කොමිෂමට යම් අපහාසයක් වෙනවා නම් එම පනතේ 118 වන වගන්තියේ පැහැදිලිව තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බව.ඒ නිසා තෝරා ගැනීමක් නෑ කවුරු හරි කියන්න හදනව නම් දේශපාලන පළිගැනීම් කරනව කියල. කරුණාකරල හොයල බලල කියන්න එහෙම. නැතිනම් මම පනතෙන් ලැබිච්ච බලතල ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක කරනවා . මම මෙහෙට ආවට පස්සෙ තමයි දන්නෙ රජයේ නිලධාරීන්ට එරෙහිව කොයි තරම් පැමිණිලි තියෙනවද කියල. ඒ නිසා ඔබලා බලා ගෙන ඉන්න. මේ ආණ්ඩුුවෙ ඇතුළෙ ඉන්න නිලධාරීන්ට නඩු ගොනු වෙනවා. මම සමහර ඒවට අත්සන් කරලත් තියෙන්නෙ දැනටමත්.
ඔබට බලා ගෙන ඉන්න පුළුවන්.බෝම මෑතකදි රජයේ සමහර අමාත්‍යංශවල ඉහල නිලධාරීන්ට නඩු වැටෙන හැටි ….”
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ දෙවන පරිච්ඡේදයේ සදහන් කාර්ය පරිපාටි වැරිදි යන ශීර්ෂය යටතේ 118 (1) වගන්තියේ මෙසේ දැක්වේ.
“කොමිෂන් සභාවේ අධිකාරියට එරෙහිව හෝ ඊට අගෞරව වන පරිදි සිඳු කරන ලද සෑම අපහාස කිරීමේ වරදක් සඳහාම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි අධිකාරියට එරෙහිව හෝ ඊට අගෞරව වන පරිදි සිදු කරන ලද අපහාස කිරීමේ වරදක් මෙන් දඬුවම් ලැබිය යුතු වන අතර එකී සෑම වරදකම නඩු විභාග කිරීම සදහා අධිකරණ බලය මෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන්නේය.”
මේ වගන්තිය කියවා වටහා ගෙන තිබීම සමාජ මාධ්‍ය වල බරක් පතලක් නොමැතිව ලියන්නන්ද යූ ටියුබයේ වාචාල කියවන්නන්ද ඔළුවේ තබා ගැනීම වැදගත්ය.
කෙසේ වෙතත් ජාජබ ආණ්ඩුව යටතේ මෙරට නීතිය සාධාරනව ක්‍රියාත්මක වීම ගැන බොහෝ පුරවැසියන් සතුටු වෙමින් තිබේ.එහිදී අපට සිහිපත් වන්නේ “සමාජ පිළිවෙල කේන්ද්‍ර ගත වන්නේ යුක්තිය තුළය” යන ඇරිස්ටෝටල් ගේ කියමනය.