Saturday, May 31, 2025

“දූෂණ” නඩුවක දඩුවම් කරොත් රජයේ නිලධාරීන් බයවේවි”- මහින්දානන්දගේ දඩුවමට පෙර උසාවියේ කී කතා!

2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ස.තො.. ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.. හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.

ඒ අනුව, හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.

ඊට අමතරව, නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද නියම කරනු ලැබිණි.

වසර හයක් තිස්සේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේන් වීරමන් අධිකරණය හමුවේ සඳහන් කළේ, විත්තිකරුවන් විසින් ස.තො.. ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් දේශපාලන කටයුතු සඳහා ගෙන්වා ක්‍රීඩා සංගම් අතර බෙදා දීම මගින් රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට අධිචෝදනා ගොනු කර තිබූ බව ය.

විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත් ඒ අනුව ඔවුන් වරදකරුවන් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ය.

ඉන් අනතුරුව දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන් වෙනුවෙන් යමක් ප්‍රකාශ කිරීමට තිබේ දැයි සභාපති විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (මැයි 29 වැනිදා) නියම කළේ ය.

නලින් ප්‍රනාන්දුගේ නීතිඥයා කළ ඉල්ලීම

එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වා සිටියේ මෙසේ ය.

ස්වාමීනීදැන් නඩුවේ තීරණය ප්‍රකාශ වෙලා ඉවරයි. දැන් මොනව කිව්වත් ප්‍රයෝජනයක් නැහැ. .තො.. කියන්නේ වෙළෙඳ ආයතනයක්. ඔවුන් තමන්ට ලැබෙන ඇණවුම් අනුව භාණ්ඩ ආනයනය කරනවා. මගේ සේවාදායකයා සිදු කරලා තිබෙන්නේ මේ කටයුත්තට අදාළ ණයවර ලිපි විවෘත කිරීම පමණ යි. ඔහු වැරදි ක්‍රියාවක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. මේකෙන් රජයේ නිලධාරීන්ට පාඩමක් ලැබෙනවා. රජයේ නිලධාරින් පුළුවන් තරම් වැඩ ප්‍රමාද කරන්න. ඉක්මනට කාර්යක්ෂමව වැඩ කරන්න ගියොත් අල්ලස් කොමිසමෙන් නඩුවක් වැටෙයි. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ ක්‍රියා නිසා රාජ්‍ය නිලධාරීන්ට කාර්යක්ෂමව වැඩ කරන්න බැරි වෙනවා. මේ වරද නිසා විත්තිකරුට සමාජයෙන් විශාල අපවාදයක් එල්ල වෙනවා. ඔහුට දේශපාලනය කිරීමට තිබෙන අවස්ථාවක් නැති වෙනවා. විත්තිකරුට ව්‍යාපාරයක් තිබෙනවා. ඒ සඳහා ඔහු විශාල මුදලක් ණය වෙලා තිබෙනවා. ඔහු සිරගත වුණොත් මේ ණය ගෙවා ගන්න බැරිව ව්‍යපාර කඩා වැටෙන්න පුළුවන්. ඔහුට පෙර වැරදි නැහැ.”

එසේ සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.

මහින්දානන්දට පෙර වැරදි නෑ

අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ද කරුණු ඉදිරිපත් කළේ ය.

ස්වාමීනි,.. මේ භාණ්ඩ ආනයනය කිරීම හරහා මගේ සේවාදායකයාට කිසිදු ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. ඒ පිළිබඳව ඔහුට නිසි වැටහීමකුත් නෑ. දඬුවම් නියම කිරීමේදී මාගේ සේවාදායකයා යම් ප්‍රතිලාභයක් ලබා තිබෙනවා ද කියා සලකා බැලිය යුතු යි. ඒ කාරණය සැලකිල්ලට භාජනය කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. විත්තිකරු හැට එක්වන වියේ පසුවන පුද්ගලයෙක්. ඔහුට පෙර වැරදි කිසිවක් නැහැ. 2015 වසරේ මෙම විමර්ශනය ආරම්භ වුණත් තීන්දුව ප්‍රකාශ වන්නේ 2025 වසරේ. ඒ නිසා දඬුවම් නියම කිරීමේදී එම කරුණත් සැලකිල්ලට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අනතුරුව සිය සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

වැරදි කරන්නන්ට බිය ඇති වන ආකාරයේ තීන්දුවක් දෙන්න

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ අනුත්තරා ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

ස්වාමීනි මෙම විත්තිකරුවන් වරදක් සිදු කර තිබුණත් ඔවුන් පෞද්ගලිකව ප්‍රතිලාභ ගෙන නොමැති බව ඔවුන්ගේ නීතිඥවරු ප්‍රකාශ කළා. ඒ වගේ ම ඔවුන් අල්ලස් කොමිසම ගැනත් වැරදි අදහසක් සමාජගත කරන්න උත්සහ කළා. ඔවුන් ප්‍රකාශ කළා කාර්යක්ෂමව වැඩ කරන නිලධාරීන්ට නඩු වැටෙන බවට. මා සඳහන් කරන්න කැමති යි මේ නඩුවේ විත්තිකරුවන්ට චෝදනා එල්ල කළේ, ඔවුන් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකර රජයට පාඩුවක් සිදු කිරීම නිස යි. මේ විත්තිකරුවන් දෙදෙනා ම රජයේ සේවකයින්. ඔවුන් මෙම ක්‍රියාව හරහා රජයට පාඩුවක් සිදුවන බව දැන දැන ම තමයි මේ නීතිවිරෝධී ක්‍රියාව සිදු කර තිබෙන්නේ. පළමු විත්තිකරු ස.තො.. ආයතනයේ සභාපති වගේ ම පසුව කැබිනට අමාත්‍යවරයෙකු වශයෙන් පත්වුණා. දෙවන විත්තිකරු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා. ඔහු තමාට අදාළ නොවන ක්‍රියාවක් තමයි කරලා තිබෙන්නේ. ඔවුන් එක්ව තමන්ට අදාළ නොවන ක්‍රියාවක් බලය අයුතු තුළ ලෙස යොදවමින් ක්‍රියාවේ යොදවා තිබෙන බව සාක්ෂිවලින් පැහැදිලි වෙනවා. මේ වරද හරහා ඔවුන් රුපියල් මිලියන 53කට වැඩි මුදලක් රජයට පාඩු කර තිබෙනවා. මේ මුදල් කාගෙ ද? මේවා මහජනතාවගේ මුදල්. දඬුවම් නියම කිරීමේදී ඔබතුමන්ලාට අභිමතයක් තිබෙනවා. ඒ අභිමතය ක්‍රියාත්මක කිරීමේදී මා සඳහන් කරන කරුණු ගැන සැලකිලිමත් වන ලෙස මා ඉල්ලා සිටිනවා. වරද සිදු කළ අවස්ථාවේදී පළමු වන විත්තිකරු රාජ්‍ය සමාගමක සභාපතිවරයෙක්. දෙවන විත්තිකරු කැබිනට් අමාත්‍යවරයෙක්. ඔවුන්ට විශාල බලයක් පැවරී තිබෙනවා. මහජන මුදල් මහජනතාවගේ ශුභසාධනය වෙනුවෙන් වගකීමකින් යුතුව යොදා ගැනීමේ බලයක් ඔවුන් වෙත පැවරී තිබෙනවා. ඔවුන් තමන් වෙත පැවරී ඇති වගකීම පසෙක ලා මහජන ශුභසාධනය සඳහා යෙදවිය යුතු මුදල් වෙනත් ක්‍රියාවක යෙදවීම හරහා වරදක් සිදු කර තිබෙනවා. මෙවැනි ක්‍රියා නිසා රජයට විශාල පාඩුවක් සිදු වී රට බංකොලොත් වීමටත් හේතු වුණා. කැමති වුණත් අකමැති වුණත් අපි ඒක පිළිගත යුතු යි. විත්තිකරුවන් සිදුකළ ක්‍රියාව නිසා වින්දිතයින් බවට පත්වූණේ එක් පුද්ගලයෙක් නෙවෙයි. මුළු සමාජය ම වින්ඳිතයින් බවට පත් වී තිබෙනවා. මෙවැනි බලය අවභාවිත කළ පුද්ගලයින්ට නීතියෙන් ලබා දිය හැකි දැඩි දඬුවම් ලබා දිය යුතු යැයි මා ඉල්ලා සිටිනවා. මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට බියක් දැනෙන ආකාරයේ දඬුවමක් නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ වගේ ම දූෂණයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයින්ට අභිප්‍රේරණයක් ඇති වන ආකාරයේ දඬුවමක් ලබා දෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. ඒ වගේ ම බලය වැරදි ලෙස ක්‍රියාවේ යෙදවීමට අපේක්ෂා කරන පුද්ගලයින්ටත් පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ තීන්දුවක් ලබා දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. සාමාන්‍ය ජනතාව අතර මතයක් තිබෙනවා තෝරු මෝරු සියල්ල නීතියෙන් බේරී යනවා හාල්මැස්සෝ විතර යි නීතියට අහුවෙන්නේ කියලා. ඒ නිසා ලොකු පොඩි සැමට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බව තහවුරු කළ හැකි නඩු තීන්දුවක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා ය.

Mahindananda

තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු කී කතාව

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේෂ් වීරමන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය අයවැය තුළින් මහජන ශුභසාධනය සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන මෙම විත්තිකරුවන් මෙම වැරදි ක්‍රියාව සිදුකිරීම සඳහා යොදාගෙන තිබෙන බව පැහැදිලි වෙනවා. විත්තිකරුවන්ගේ ක්‍රියාව නිසා රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වෙලා තිබෙනවා. විත්තිකරුවන් පුද්ගලිකව ලාභයක් නොලැබුව ද ඔවුන් කළ ක්‍රියාව නිසා මහජන මුදල් අපතේ යාමක් සිදු වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා රටේ දේශීය හා විදේශීය ණය ගෙවීමට නොහැකි වී ආර්ථික පරිහානියක් ඇති වීමට ද හේතු වුණා. එම නිසා මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින් අධෛර්යමත් වන ආකාරයේ තීන්දුවක් ලබා දිය යුතු බව අධිකරණයේ මතය යි. ඒ වගේ ම වැරදි උපදෙස් මත රාජ්‍ය නිලධාරින් ක්‍රියාත්මක නොවිය යුතු බව අවධාරණය කරන තීන්දුවක් ලබා දිය යුතු යි,” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

2014 වසරේ දෙසැම්බර් මස 07 වන දා හා එම මස 24 වන දා අතර කාලසීමාව තුළ ස.තො.. ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර දේශපාලන අවශ්‍යතා සඳහා ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණයනමැති වරද සිදු කළේ යැයි චෝදනාකොට අධිචෝදනා 6ක් යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

( බීබීසී සිංහල අඩවියෙනි- මාතෘකාව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news