(Sri Lanka Brief/ 25 May 2025) ජනාධිපති අනුර කුමාර දිසානායක රුපියල් බිලයන 400ක් වත්කම් නැව් සමාගමක ආයෝජනය කර ඇතයි ප්‍රකාශයක් කළ තුසිත හල්ලොලුව හෙට අනිද්දාම අත්අඩංගුවට ගැනෙනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.
2017 – 2019 සමයේ මංගල සමරවීරගේ විශ්වාසවන්තයකු ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව රනිල් වික්‍රමසිංහ පිං ජනාධිපති කාලයෙහි ඔහුගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය. සමරවීර ද උග්‍ර රනිල්වාදියෙකි.
එම ප්‍රකාශය පිළිබද රහස් පොලිසියට ප්‍රකාශයක් කිරීමට කැඳවා තිබු දිනට පෙර දින එනම් පසුගිය 17දා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර වැදගත් තොරතුරු සහිත ලිපි ගොනුවක් පැහැර ගෙන ගිය බව වාර්තා විය.
ජනාධිපති දිසානායකගේ දූෂණ පිළිබඳ තොරතුරු තිබුණේ එම ලිපි ගොනුවේ බව හල්ලොලුව ප්‍රකාශ කළේය.
මෙම වෙඩි තැබීම සිදු වූ අවස්ථාව සටහන් වී ඇති සීසී ටීවී දර්ශන වලට අනුව වෙඩි තැබීම සිදු වී ඇත්තේ, හල්ලොලුව සිය රථයෙන් බැසීමට පසුවය. වෙඩි ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඔහුට කිසිදු අනතුරක් නොවන ලෙසට බව එම දර්ශන පෙන්නුම් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පරීක්ෂණය කර ගෙන යනු ලබන්නේ සීසීඩි යැයි හැදින්වෙන කොළඹ ආරක්ෂක කොට්ඨාශය මගිනි. එහි ප්‍රධානියා ලෙස මෙම පරීක්ෂණය බාරව සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිය.
නැති වූ බව කියන හල්ලොලුවගේ ලිපි ගොනුවේ තිබී ඇත්තේ ජනාධිපති දිසානායක පිළිබඳ කවර හෝ යූ ටියුබ්කරුවකු විසින් කරන ලදැයි කියන කතාවක් පමණක් බව පොලිස් පරීක්ෂන මගින් සොයා ගෙන තිබේ.
මෙම කරුණූ පාදක කර ගනිමින් අසත්‍ය ප්‍රකාශයක් කිරීම යන චෝදනාව යටතේ හල්ලොලුව අත්අඩංගුවට ගත් හැකි බව නීති අංශ පොලිසියට දන්වා තිබේ. ඒ අනුව හල්ලොලුව හෙට අනිද්දාම අත්අඩංගුවට ගනු ඇතයි වාර්තා වේ.
වෙඩි ප්‍රහාරය අවස්ථාවෙහි රථයේ ගමන් කරමින් සිටි නීතිඥ දිනේශ් දොඩම්ගොඩ ද රනිල් වික්‍රමසිංංහගේ විශ්වාසවන්ත සමීපතමයෙකි.
රනිල් වික්‍රමසිංහ විසින් තොරතුරු දෙපාර්ථමෙන්තුවෙහි අධ්‍යක්ෂක ලෙස පත් කරන ලද හිටපු ලංකාදීප මාධ්‍යවේදී දිනිත් කරුණාරත්නට පෙර ලංකාදීප පුවත්පත රනිල් වික්‍රමසිංහ ආවරණය කිරීම බාර දී තිබුණේ මෙම දිනේශ් දොඩම්ගොඩටය. රාත්‍රී සේවාවන් කරන අවස්ථාවෙහි දී රනිල් වික්‍රමසිංහ මහ රෑ දිනේශ් දොඩම්ගොඩ සමඟ දීර්ඝ දුරකථන අල්ලාප සල්ලාප වල යෙදීම පුරුද්දක් වී තිබුණි. ඒවාට සවන් දීම තවත් සමහරුන්ගේ විනෝදාංශයක් විය.
රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ලැයිස්ත මංත්‍රී ධූරයක් හිස් වූ අවස්ථාවක මෙම දිනේශ් දොඩම්ගොඩ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ලෙස ද පත් කරන ලදී.
හල්ලොලුවගේ වෙඩි ප්‍රහාර රංගනයට දායක වීම පිනිස යනව ලද්දේ රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික හිතවතකු වන එම දිනේශ් දොඩම්ගොඩය. ඔහු පසුව නීතිඥයකු බවට පත් විය. තමා හල්ලොලුවගේ නීතිඥයකු බැවින් ඔහු සමඟ වාහනයේ ගිය බව දිනේශ් දොඩම්ගොඩගේ කතාව විය.
ඔහු නීතිඥයකු ලෙස හල්ලොලුව වෙනුවෙන් පෙනී සිටියේ කොහිදී ද යන්න ද දැන් විමර්ශනයට භාජනය වී තිබේ.
කෙසේ වෙතත් එකක් පැහැදිළිය. එනම් මෙම නාඩගමේ නළුවන් දෙදනාම රනිල් වික්‍රමසිංහගේ ගෝල බාලයන් බවයි. ජනාධිපති දිසානායක රුපියල් බිලියන 400ක් ආයෝජනය කර ඇතයි යන කතාව හුදෙක්ම හල්ලොලුවගේ ප්‍රබන්ධයක් නොවන බව පෙනී යන්නේ යැයි දේශපාලන සහ නීති අංශ සඳහන් කරති.
නීති වෘත්තිය අවභාවිතා කර ඇති බව සනාථ වන්නේ නම් දිනේශ් දොඩම්ගොඩ පිළිබඳ කාරණය ද ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කළ හැකි දැයි නීති අංශ අතර සාකච්ජාවක් ඇතිව තිබේ.