Sunday, May 25, 2025

තාජුඩීන් ඝාතනය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකගේ කෙරුවාව තවදුරටත් – ලොකු කුමා

මහජන ආරක්ෂක ඇමති සිය අමාත්‍යංශ තුළ ධාතු කරඬුවක් ලෙස තියා ගෙන ඉන්නා උපදේශක ඩී.එල්.ආර්.රණවීර ගේ කෙරුවාව ගැන අප මුලින්ම දන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරියගේ කාලයේ සිටය. ඒ දිනවල පොලිස් අධිකාරීවරයකු ලෙස රාජකාරි කළ ඩී.එල්.ආර්.රණවීර පානදුර දුෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා විය.එහෙත් ජනපතිවරිය ඔහු එම ධුරයෙන් ඉවත් කරන ලෙසට පොලිස්පති වරයාට නියෝග කර ඇත්තේ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කාරයන් සමග සම්බන්ධතා පවත්වමින් ඔහු විවිධ දූෂණ වල නිරතව සිටින බවට බස්නාහිර පළාතේ ඇමතිවරයකුගේ කරන ලද පැමිණිල්ලක්  විභාග කිරීමෙන් පසුවය.

ඉන් අනතුරුව 2016 ජුනි මාසයේ 23 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඉදිරියේ විභාග කළ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අබිරහස් ඝාතන නඩුවේදී සීඅයිඩීය අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වා ඇත්තේ වසීම් තාජුඩීන් ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පවත්වන ලද විමර්ෂන හිටි හැටියේ නවත්වා එම මරණය රිය අනතුරක් ලෙස වාර්තා සැපයීමට එහි අධ්‍යක්ෂවරයා වන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර කටයුතු කර ඇති බවයඑපමනක්ද නොවේ.මෙහිදී සීඅයිඩීය අධිකරණය⁣ට සාක්ෂි දෙමින් පවසා ඇත්තේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර විසින් වෙනත් නඩුවක් හා සම්බන්ධ බවට සඳහන් කරමින් වසීම් තාජුඩීන් ගේ දුරකථන වාර්තා ගෙන එවකට බුද්ධි ප්‍රධානී වූ මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණට ලබා දී ඇති බවය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති අංක B 6802 /01/11 දරණ මංකොල්ල නඩුවේ නියෝගයක් උපයෝගී  කරගනිමින් වසීම් තාජුඩීන් භාවිතා කරන ලද 0777354500 දරණ දුරකථනය  සම්බන්ධ ඇමතුම් වාර්තා මෙලෙස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර විසින් ලබා ගෙන ඇති බවද සීඅයිඩීයට කරුණු වාර්තා කර තිබේ.

අධිකරණය පවා නොමග යවමින් මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බරපතල වෘත්තීය විෂමාචාරයක නිරත වී ඇති බව පැහැදිලිය.එම නඩුවටම අදාලවම 2012 මැයි 17 වන දින 06.20 පැයට කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබියදී වසීම් තාජුඩීන් ගේ මුදල් පසුම්බිය අහුලා ගත් වෙම්බිඩි බාස්කරන් සීඅයිඩීයට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තමන් ඒ ගැන නාරාහේන්පිට කිරුළපන පොලීසිවලටත් කොළඹ අපරාධ කොට්ඨාශයට කට උත්තර ලබා දුන් බවය.

සීඅයිඩීය ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් විමසූ විට එහි අධ්‍යක්ෂවරයා වූ ඡෙ.පො..රණවීර පවසා ඇත්තේ එලෙස කට උත්තර ලබා⁣ නොගත් බවය. මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වසීම් තාජුඩීන් මරණය සම්බන්ධයෙන් තොරතුරු දැන දැනම වසන් කර ඇති බව සීඅයිඩීය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

දැන් අප ඊළඟට ප්‍රශ්ණ කෙරෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය බාර ඇමති ඩබලය. එහිදී තාජුඩීන් ඝාතන පරීක්ෂණ තමන් බලය⁣ට පත් වූ පසුව අනිවාර්යෙන්ම ආරම්භ කරන බවට ජාජබය බලයට ඒමට ජනතාව⁣ට දුන් පොරොන්දුව මේ ඇමති ඩබලට නැවත සිහිපත් කළ යුතුය. තාජුඩීන් ඝාතන පරීක්ෂණය නොමග යැවූ බවට අධිකරණයේ සඳහන් වී ඇති අපරාධකාරයෙකු සිය අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස තබා ගැනීම හා ඒ මක් නිසාද යන්න ගැනත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබල දැන්  ජනතාවට පිළිතුරු සැපයීම කළ යුතුමය.

ඔහු තවදුරටත් ඔඩොක්කුවේ තබා ගෙන හුරතල් කරනවාද එසේ නැති නම් වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය ජාජබ ආණ්ඩුවෙන් සිඳු නොකරන බවට ප්‍රකාශයක් කළ යුතුය.ඒ මන්ද යත් එම අපරාධය වසන්කළ අපරාධකරුවකු අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙස තබා ගෙන ජනතාවට මෙන්න කොකාපෙන්වීම විලි ලැජ්ජා නැති වැඩක් නිසාය.

Archive

Latest news

Related news