Thursday, April 24, 2025

පාදඩ දේශපාලනයේ සපා ඉවත හල චුවිංගමයක් වුවද ඩෑන් ඝාතනය හෙළා දැකිය යුතුය

ඩෑන් ප්රියසාද් මියගොසිනි, නැත ඔහු ඝාතනය කර තිබේ. අයෙක් ඔහුගේ ඝාතනය ගැන දුක් වෙති, තවත් සමහරු සතුටු වෙති, කළකම් පලදීම ගැන සටහන් තබති. එසේම ඔහුගේ වෙන්වයාම ගැන රහසින් සතුටුවන්නෝද, තොරතුරු උල්පතක් වියැකීයාම ගැන සතුටුවන්නෝද නොසිටිය නොහැකිය.

කෙසේ වෙතත් අප මේ ඝාතනය ප්රතික්ෂේප කල යුතුය. අරගලය සමයේ ඔහු පොලු අමෝරා අප හඹා ආ මැරයෙක් වුවද ඔහුගේ ඝාතනය මම පිලිකුල් කරමි. ඔහු නීතිය ඉදිරියේ විනිශ්චයට ලක්විය යුතු බොහෝ කරුණු සහිත ත්රාඩයෙකි. එහෙත් ඔහු මෙලෙස ඝාතනයට ලක්වීම පිලිකුල් කටයුතුය.
ඇතැම් අය ඔහු දේශපාලන ක්රියාකාරිකයෙකැයි කියති. ඒ නම් ඉල ඇදෙන විහිලුවකි.
ඩෑන් යනු පාදඩ දේශපාලනයේ සපා ඉවත හල චුවිංගමයකි. ඔහු තමන් ලාබෙට අලෙවි වන්නට ඉඩ හැරියේය,ජීවිතය පාදඩ දේශපාලුවන්ගේ කෙළිබිම කරගන්නට ඉඩ හැර තම ජීවිතය සාදයක් සේ සැලකීය. දැන දැනම තමන් අවස්ථාවාදීන්ගේ ඉත්තකු ලෙස විකුණා වීරයෙකුට ඇන්දේය.
ඔහු ජාතිවාදියෙකි, අන්තවාදියෙකි, අවස්ථාවාදියෙකි, රූකඩයකි. අනුන්ගේ බලය මත තමන් බලවතකු සේ සිතා ඔහු බොහෝ පාදඩකම් කලේය. එහෙත් ඔහු අමතක කල දෙයක් තිබිනි. ඒ මුර බල්ලන් ගේ ගෙල වටා කරපටියක් ඇති බවයි, එය ගස්සා ඇද්ද සැණින් තමා ස්වාමියා ගේ දෙපාමුල වැටෙන බවයි.
ඉදින් ඔහු තමන් බෙර පද දැන දැන වුව අනුන්ගේ පදයට නැටීය. මේ එම නැටුමේ අවසානයයි.
යළි කියමි ඔහු දේශපාලන ක්රියාධරයෙකු නොවේ, ඉත්තෙකි, ගොදුරකි, අවසන පිලිකුල්කටයුතු අන්ත අසරණයෙකි.
ඔහුගේ ඝාතනය අපට වැදගත් දෙයක් කියයි. ඒ අප ජීවත් වන්නේ බිහිසුණු අපරාධ රාජ්යයක බවයි.
77 හතට පසු සෛන්ධව පිම්මෙන් පාදඩකරණයට ලක්ව,දශක ගණනාවක් අවි හරඹයට, දූෂණයට භීෂනයට හුරුව අප ඉන්නේ මරුවැල් පිරි බිමකය.
තව දුරටත් මෙහි මිනිස් ජීවිතයට වටිනාකමක් නැත.
නව ආණ්ඩුව කුමක් කීවද ඊට වඩා අපරාධ රාජ්යය බලවත් ය. එහෙයින් ආණ්ඩුවේ මද වේගය ඊටම මරු කැඳවන්නට ඉඩ තිබේ. එහෙයින් ආණ්ඩුව සිය විචක්ෂණභාවය පෙන්විය යුතුය.
දිනේශ් ප්රියසාද් අපට ත්රාසජනක සිනමාවක් ගෙන ආවේය.
ඩෑන් ප්රියසාද් අපට කුරිරු,පිලිකුල් සහගත නාට්යයක් පෙන්නුවේය.
දිනේශ් යමක් රටට ඉතිරි කල අතර ඩෑන් තමන්ටද තමන් අහිමි කරගත්තේය.
ඩෑන්ගේ පාරේ නටන්නෝ තමන්ගේ අවසාන කඩඉම තේරුම් ගත යුතුව තිබේ.
බලවතුන්ගේ ඉත්තන්ව කෙටිකාලීන වීරයන් තේරුම් ගත යුතුව ඇත්තේ තමන් දැහැටි දඬුවලටත් අන්ත බවය.
දැන් ඩෑන් ගේ යුගය ඉවරය, එය ඩාම් වී ඩූම් වී ඩෝං වී ගොසිනි.
අප මේ පාදඩ පැවත්ම හමාර කිරීම පිණිස වැඩකලයුතුව තිබේ. ඒ කවර දේශපාලන මතයක් දරන්නෙකු වුව අවංක නම් ගතයුතුම පියවරයි.
ඩෑන් හට මෙවන් මරණයක් හිමිවීම ගැන අප දුක්විය යුතුය. ඒ එමගින් අපේ නීතියේ දුබලතාව පෙන්වන හෙයිනි. අප කල යුතුව ඇත්තේ වහ වහා ඒ ශක්තිමත් කිරීමයි.

මෙවන් ඝාතන අවසන් කර යුක්තිය නගා සිටුවා අපටද ගෞරවනීය පුරවැසියන් විය හැක්කේ එවිට පමණි.

Chulananda Samaranayake FB

Archive

Latest news

Related news