වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයකු ඝාතනය කළ බවට චෝදනාවක්!

662

පසුගිය අප්‍රේල් 01 දා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එදිනම  වදහිංසාවට ලක්කර මරා දැමූ බවට සැක කරන මුතුවාඩිගේ සත්සර නිමේෂ් යන තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි විධායක අධ්‍යක්ෂක නීතීඥ සේනක පෙරේරා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

2025.04.03,
පොලිස්පතිතුමා ,
පොලිස් මූලස්ථානය,

කොළඹ.
පොලිස්පතිතුමනි,

පසුගිය අප්‍රේල් 01 දා වැලිකඩ පොලිස් ස්ථානය තුළ වදහිංසාවට ලක්වී මියගිය මුතුවාඩිගේ සත්සර නිමේෂ් යන තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිම.

පසුගිය අප්‍රේල් 01 දා දින බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නමැති තරුණයා වැලිකඩ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවේදී ඔහුට වදහිංසා  කර ඇත. පසුව ඔහු මිය ගොස් ඇත. එම තරුණයාගේ මව වන ලේකම්වසම් ලියනගේ සමන්ති යන අය විසින් පසු දින  (2025.04.02) වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් සොයා  බැලීමේදී එම තරුණයා  ඇඳ සිටි ඇඳුම් ඉවත් කර ඇති බවත්, ඔහුගේ කලිසම කුණු කූඩයේ තිබී සොයාගෙන ඇති බවත් ප්‍රකාශ කර සිටියි. එසේම මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමසීමේදී එම තරුණයා සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බව මවට පවසා  ඇත.

පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ට වදහිංසා කිරීමත් ඔවුන් ඝාතනය කිරීමත් සම්බන්ධයෙන් විරෝධය දක්වමින් එවැනි ක්‍රියා  වහාම නවත්වන ලෙසට පොලිස්පතිතුමා   ඇතුළු වගකිවයුත්තන්ට අප සංවිධානය විසින් මීට පෙර දන්වා  ඇත.  එසේම, වැලිකඩ පොලිසිය තුල මීට පෙර රාජ් කුමාරි යන කාන්තාවද මේ ආකාරයට  වද හිංසාවට  ලක්වී මියගොස් ඇත.

ඒ අනුව  පොලිසිය විසින් නීතියට පටහැනිව සිදුකරන මෙවැනි ක්‍රියා  නැවැත්වීමට වහාම පියවර ගතයුතු වේ. එසේ නොවුනහොත් නීතියේ පාලනය බිඳවැටි පුද්ගල අයිතිවාසිකම් බිඳවැටීම නොවැළැක්විය හැකි වේ. එබැවින් ඉහත කී මුතුවාඩිගේ සත්සර නිමේෂ් නමැති තරුණයාගේ මියයාම සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදුකර අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප සංවිධානය ඉල්ලා  සිටිමු.

ස්තූතියි,
නීතීඥ සේනක පෙරේරා,
විධායක අධ්‍යක්ෂක, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව.

සත්සර නිමේෂ්