Wednesday, March 26, 2025

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි ආයෙම ජම්පර් අඳින්න ආසාවෙන්: මහා අපරාධයක තොරතුරු හංගගෙන! 

( Sri Lanka Brief/ 07 March 2025 ) පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවෙක් සිටින බවත් ඒ ගැන තමා දන්නා බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (06)දින පෙරවරුවේ මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී උන්වහන්සේ මෙසේ පැවසීය:

“මේකෙ මහ මොළ කාරයෙක් ඉන්නවා කිව්වා. දැන් හොයනවද මහ මොළ කාරයා. මම වගකීමෙන් කියනවා මම දන්නවා මහ මොළ කාරයා. හැබැයි ඒක මාධ්‍යයට කියන්නෑ. ඒ ගැන මාධ්‍යයට කියනවා. රටේ ජනපතිටයි ආරක්ෂාව බාරව ඉන්න අයටයි කියලා.මම මොළ කාරයෙක් ඉන්නවා.ඒ ගැන මම දන්නවා. මහ මොළකාරයගෙ පැටිකිරිය දන්නවා. මහ මොළ කාරයා හිටපු තැන දන්නවා. මහ මොළ කාරයා සහරාන් පුරුදු කරපු හැ⁣ටි දන්නවා.ඔහුව මරාගෙන මැරෙන්න ගයිඩ් කරපු හැටි දන්නවා. නම් ගම් ඔක්කොමත් එක්ක අදාල නිළධාරීන්ට කියනවා හැරෙන්න ඒ ගැන අප්පුහාමිටයි කරුණාවතීටයි කියල වැඩක් නෑ.”

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 වසරේ අගෝස්තු 08 වනදා ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට වසර 19ක සිර දඬුවමක් ලබා දුන් අභියාචනාධිකරණය එකී දඬුවම වසර 06 කින් ගෙවී යන සේ නියම කෙරිණි.නීතිපතිවරයා විසින් මේ චෝදනා උන්වහන්සේට එරෙහිව ඉදිරිපත් කර තිබුණේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංඟ දිසානායක කළ පැමිණිල්ලකට අනුවය.

එම චෝදනා වල සඳහන් වී තිබුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාල නඩුව 2016 වසරේ ජනවාරි මාසයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථා⁣වේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ භූමිය තුළ කළහකාරීව හැසිරිමන් අධිකරණයට අපහාසයක් කර ඇති බවය. එම වරදට සිර දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටි උන්වහන්සේට

2019 වසරේ මැයි මාසයේදී  ජනපති සමාව ප්‍රදානය කෙරිණි.

2016 වසරේ ජුලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාමය පිළිකාවක් …එය අතු ගා දමන්න ඕනෑ යැයි ප්‍රකාශ කිරීම  තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කරන ලද බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ගොනු කර තිබූ නඩුවකට නැවත වරදකරු වී මාස 09 ක ලිහිල් සිර දඬුවමක් ලබා බන්ධනාගාර ගතව සිටි ගලබඩ අත්තේ ඥානසාර හිමි නිදහස ලැබුවේ මීට සති ගණනකට පෙරය.මේ සිර දඬුවමට පෙර උන්වහන්සේ ඉස්ලාම් ආගමට අපහාසාත්සමක ප්‍රකාශයක් කරන ලදැයි එල්ල කරන ලද චෝදනා දෙකකට පසුගිය වර්ෂයේ මාර්තු  30 වනදා බරපතල වැඩ සහිතව අවුරුදු හතරකට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කෙරිණි.අනතුරුව ගල⁣බොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් එම සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරන ලද අතර එම ඇපෑල විභාග කර අවසන් තීන්දුවක් ලැබෙන තුරු උන්වහන්සේ පසු ගිය වසරේ ජුලි මස 22 වන දින ඇප මත මුදා හැරිණි

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උන්වහන්සේ සිදු කර ඇති මේ ප්‍රකාශය ඉතා බරපතලය. එය බරපතල වන්නේ අපරාධයක් වසන් කරගෙන සිටීමේ චෝදනාව යටතේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 111 වගන්තියේ හා 113 වන වගන්තියේ ඒ වරද ගැන සඳහන් වේ.

එහිදී දනිස 111වගන්තියේ දැක්වෙන්නේ

“මරණයෙන් හෝ අවුරුදු විස්සක කාලයක් බන්ධනාගාරගත කිරීමේ දඬුවම් කළ හැකි වරදක් සිදු කිරීම පහසු කිරීම අදහස් කොට ගෙන හෝ ඉන් පහසුවන බව දැන දැනම එබඳු වරදක් සිදු කිරීමේ උපක්‍රමයක් යම් කිසි ක්‍රියාවකින් හෝ නීති විරෝධීව නොකර හැරීමකින් කැමැත්තෙන්ම යමෙක් වසන් කරයි නම් හේ එබඳු උපක්‍රමයක් සම්බන්ධයෙන් සත්‍ය නොවන බව දැන දැනම යම් නිවේදනයක් කරයි නම් එකී වරද කරන ලද නම් අවුරුදු හත දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ එකී වරද නොකරන ලද නම් අවුරුදු තුන දක්වා කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ඔහුට දඬුවම් කළ යුතුය.තවද අවස්ථා දෙකෙහිදීම ඔහු දඩයකටද යටත් කළ යුතුය.”

දනිස 113 වගන්තිය මෙසේය.

“බන්ධනාගාරගත කිරී⁣මෙන් දඬුවම් කළ හැකි වරදක් සිඳු කිරීමේ අදහසින් හෝ පහසු විය හැකි බව දැන දැනම එබඳු වරදක් සිදු කිරීමේ උපක්‍රමයක් යම් ක්‍රියාවකින් හෝ නීති විරෝධීව නොකර හැරීමකින් කැමැත්තෙන්ම වසන් කරන හෝ එබඳු උපක්‍රමයක් සම්බන්ධයෙන් අසත්‍ය බව තමා දැන දැනම යම් නිවේදනයක් කරන කෙනෙකුට වරද කරන ලද නම් ඒ වරදට නියමිත බන්ධනාගාරගත කිරීමේ වැඩිම කාල සීමාවෙන් හතරෙන් කොටස දක්වා කාලයකට හෝ වරද නොකරන ලද නම් ඒ කාල සීමාවෙන් අටෙන් කොටසක කාලයකට වරදට නියමිත ආකාරයකට බන්ධනාගාර ගත කිරීමෙන් හෝ වරදට නියමිත දඩයෙන් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය. “

රටෙහි නීතියේ අධිපත්‍ය තිබේ නම් ඥණසාර කුදලා ගෙනැවිත් මේ මහ  මොළකරු කතාව ගැන ප්‍රශණ කළ යුතුය.

කෙසේ වෙතත් පෙනෙන විදිහට නම් ඥණසාර සැරසෙන්නේ යළි වර්ගවාදී ආරවුලක් ඇති කිරීමට බව සැක කළ හැකිය.

 

 

Archive

Latest news

Related news