Friday, March 7, 2025

කජ්ජාගේ ඝාතනය පිටුපස පොලීසියේ ලොක්කන් පිරිසක් සිටින බවට සැකයක්

පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී අනුර විදානගමගේ හා ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කර ඇත්තේ බැකෝ සමන් යන අනවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු බව පොලීසිය පවසයි. මේ ඝාතනයට හේතුව වශයෙන් පොලීසිය සඳහන් කරන්නේ අනුර විදානගමගේ බැකෝ සමන්ට අයත් ගංජා පාර්සලයක් පැහැර ගැනීම මත ඇතිවූ ආරවුලක් නිසා බවය.

අනුුර විදානගමගේ හා දරු දෙදෙනා ඝාතනය කළ වෙඩික්කරුද මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

එම ඝාතනයන් සදහා පොලීසිය මගින් දැනට අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 10 දෙනෙකි.

⁣ඝාතන කොන්ත්‍රාතුව තමාට දුන්නේ ඩුබායි සිටින බැකෝ සමන් බවත් තමා දැඩි ණය බරකින් ජීවත්වූ නිසා මේ කොන්ත්‍රාතුව බාර ගත් බවත් වෙඩික්කරු පොලීසියට පවසා තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ අවස්ථා තුනකදී අනුර විදානගමගේ ඝාතනය කිරීමට උත්සාහ කෙරුවද ඒ අවස්ථාවන් අසාර්ථක වූ බවත් අනතුරුව බැකෝ සමන් ඩුබායි සිට ලබා දුන් උපදෙස් පරිදි පෙබරවාරි 18 වන දා යතුරුපැදිකරුවකු සමග ගොස් එම ඝාතනයන් සිදු කරන ලද බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

ඝාතනයට ලක් වූ අනුර විදානගමගේ ප්‍රදේශයේ බූරු පොළවල් මංකොල්ල කෑ බවට තොරතුරු ලැබී තිබෙන බවද පොලීසිය පවසයි. ඝාතනය හා සම්බන්ධ සැකකරුවන් පැය 72ක් රඳවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට අද (06)වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට අවසර දී තිබුණි.

එහෙත් මේ ඝාතනයන් සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුව එම අපරාධය පිටුපස ඉහළ පොලිස් නිළධාරීන් සිටින බවටද සැකයක් ඇති වී තිබේ. ඉහළ පොලිස් නිළධාරීන් සිදු කළ පාවා දීමක් නිසා එම අපරාධය සිදු කරන ලදැයි ඉන් අනාවරණය වේ. 2022 ජුලි මස 11 වන දින ඇඹිලපිටිය පොලීසිය විසින් සිය පොලිස් බල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් කෝටි 50 කට අධික මත් ද්‍රව්‍ය පිළිබඳව ඔත්තුව ලබා දී ඇත්තේ ඝාතනය වූ අනුර විදානගමගේ බව පැවසේ. එම මත්ද්‍රව්‍ය හරක් කටා ගේ ගෝලයකු වූ බැකෝ සරත් සන්තකයේ තිබූ බවද අනාවරණය වේ.

අත් අඩංගුවට ගන්නා ලද එම මත් ද්‍රව්‍ය තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමටපෙර ඉන් කොටසක් පොලීසියේ ලොක්කන් පිරිසක් සොරකම් කර ඇති බවත් ඒ අතරේම ඔත්තුව ලබා දුන්නේ අනුර විදානගමගේ බව පොලීසිය විසින් හරක් කටා ගේ පාර්ශවය දැනුවත් කර ඇති බවත් කියවේ.

අනුර විදානගමගේ බූරු පොළවල් මංකොල්ල කෑම සිදු කරමින් තිබුණේ පොලිස් වෙස් අර ගනිමිනි. ඔහුගේ ඝාතනය හා සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇති පොලිස් නිළධාරියකු මාංචු කූට්ටමක් අනුර විදානගමගේට ලබා දෙන බවට පොරොන්දු වී තිබූ බවත් එය රැගෙන ඒමට ගිය අවස්ථාවේ ඔහු ඝාතනය කරන ලද බවත් අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ අනුර විදානගමගේ ඝාතනය පිටුපස අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවය. එහිදී එම දේශපාලන මැදිහත් වීම හරහා අනුර  විදානගමගේ ඝාතනය සඳහා පොලිස් නිළධාරීන් ගේ සහයෝගයද ලබා⁣ දෙමින් හරක් කටාගේ පාර්ශවය ලවා මේ අපරාධය සිදු කරන ලදැයි පැවසේ.

 (ලොකු විසිනි)

Archive

Latest news

Related news