Wednesday, March 26, 2025

කවිකොළ දේශපාලනයෙන් ඔබ්බට යන්න. ලොකු කුමාගෙන් ආණ්ඩුවට ඔවදනක්

සකල සිරින් පිරි සිරි ලංකාවේ දකුණු පලාතේ අති           සොබනා
අපරැක්කේ සිටි රූප සුන්දරී මිහිපිට දෙවඟන නම            සොබනා
අල්ලපු ගමේම ගැටවරයෙක් විය නහයට අහන්නැති         හපනා
හඳ ඇති දවසක මහ රෑ දොළහට පැනල ගියේ හපනා        සොබනා

පැනල ගිහිල්ලා ජෝඩුව ගොයියෝ හරියට අවුරුද්දයි          ගෙවුණේ
කරත්ත පාරේ බෝක්කු කට ළඟ ගැබිණි කතගෙ සිරුරකි      තිබුණේ
පෙති පෙති කපලා මරා දමා ඇති දැකපු අයගෙ හිස අත       ගැණුනේ
අහන්න පුදුමයි බලන්න පුදුමයි අයියෝ සොබනට මොකද       වුනේ

මේ අතීතයේ ටවුමක අලෙවි කළ කවි කොළයක තිබූ කවි දෙකකි. සමාජයේ කම්පනයට පත් කරවන අපරාධයක් හෝ වෙනත් සංවේදී පුවතක් ගැන කවි කොළයක් ලියා අලෙවි කිරීම අතීතයේ පැවැති සංනිවේදන ක්‍රමයකි. කවි කොළ කාරයා ඉන්නේ රෝහල අසලය.නැතිනම් උසාවිය අසලය.එසේත් නැතිනම් බස් නැවතුමේය.

කවි කොළ කාරයා කවි කොළයේ කවි දෙකක් තුනක් අපූරුවට ශබ්ද නගා ගාය⁣නා කරයි.ඉන් අනතුරුව කවි ගායනය නවතා දහයයි කවි කොලේ හා ගන්න ගන්න …..

ඇඟ ලොමුදැහැ ගැන්වෙන ඒ කවි ලියා ඇත්තේ හක්මන රණවීර කවියා මිනීමරුවාට වෙච්ච දේ දැනගන්න ඉතුරු ටික කියවන්න හා සත දහයයි කවි කොලේ යැයි රිද්මයානුකූලව පවසයි.

බොහෝ දෙනා කවි කොළය මිලයට ගන්නේ ඒ ත්‍රාස ජනක කතාවේ ඉතිරිය දැනගැනීමෙි කුතුහයෙනි.කවි කොළ බිස්නස් එක සිද්ධ වූයේ එහෙමය.

රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් දැන් කතා කරන්නේ හිටපු පොලිස්පති⁣ දේශබන්දු ගැනය.මහ මගදී කඩපිලේදී බස්රථ වලදී හමුවන සෑම අයෙකුගේ මාතෘකාවත් දේශබන්දුය.බුද්ධි අංශ දත් මිටි කාගෙන හොයන්නෙත් ඔහුමය.

මෑත ඉතිහාසයේ සමාජයේ මෙතරම් කතා බහට ලක් වූ අයෙක් නම් නැත.ඒ කෙසේ වෙතත් මේ හොරා පොලිස් සෙල්ලම ගැන ජාතික ජන බලවෙිගය ආණ්ඩුව සිටින්නේ කිසිම ප්‍රශ්ණයක් නැති ගාණටය.

එහිදී ඔවුන් ගේ  පිළිතුරු වන්නේ තම ආණ්ඩුව පොලීසියේ හා අධිකරණයේ රාජකාරිවලට මැදිහත් නොවන බවත් දේශබන්දු අත් අඩංගුවට  ගැනීම පොලීසියේ වගකීම බවත්ය.එහෙත්

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ජනපති අනුර සහෝදරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් ඊට පසු දින අධිකරණයට බාර වීමට ඉඩ ඇති බවය.

ජනපති වරයාගේ මේ ප්‍රකාශය වගකීමෙන් කළ ප්‍රකාශයක් ද යන්න සැක සහිතය. මන්ද යත්  එහෙත් තවමත් දේශබන්දු අධිකරණයට බාරවීම තබා සැඟවී ඉන්නා තැනවත් සොයා ගන්නට පොලීසියට තවමත් හැකි වී නැති නිසාය.

බුද්ධි අංශ එලා ඇති දැලෙන් රිංගා යාමට හිටපු  පොලිස්පතිවරයකු  නොදන්නේ නම් දන්නේ කවිද? ඔහු අත්අඩංඟුවට ගතයුතුව තිබුණේ තීන්දුව දී පැය ගණනාවක් ඇතුලතය. අනුර සහෝදරයා කීවේ හිටපු පොලිස්පති කෙනෙකු නිසා ඔහු බාරවන තුරු සිටීම හොද බවය!

මෙම නඩුවෙන්  තමන් හිර වෙන බව දේශබන්දු දැන ගන්නට ඇත්තේ රහස් පොලිසියේ සිටින රාජපක්ෂ ඇබිත්තයින්ගෙනි. එහි උපදේශවරයා තනිකරම රාජපක්ෂවරු ආරක්ෂා කල නිලධාරියෙකි. හිරේ යන්න වෙන නඩුවකට ඉදිරිපත් වෙනවාට වඩා දේශබන්දු වෙන විකල්ප සොයමින් සිටිනවා ඇත.

දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමට නියෝග කරන ලද්දේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයයි. එහිදී අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරුණේද ඔහු පමණක් නොවේ. කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ පොලිස් නිලධාරීන් හත් දෙනෙකුද ඒ සමග සිටී.⁣ එම පොලිස් නිලධාරීන් අතර සිටි පොලිස් පරීක්ෂකවරයෙක් මේ වන විටත් විදේශ ගත වී ඇති බව වාර්තා වේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන ලද මෙම නඩුව හා සම්බන්ධව සාක්ෂි වසන් කිරීමේ වරද⁣ට අත් අඩංගුවට ගන්නා ලද වැලිගම පොලීසියේ වැඩ ⁣බලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇප මත මුදා හැරිණි.ඉන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කරන ලදී.

දේශබන්දු තෙන්නකෝන් ගේ අතුරුදන් වීම පිටුපස සිටින්නේ  ආණ්ඩුවට හිතවත් ප්‍රබලයන් බවටද අයෙක් චෝදනා කරති.

සමාජ මාධ්‍ය වල සටහන් වන ලියවිලි වල සඳහන් වී ඇත්තේ දේශබන්දු සැඟවී සිටින්නේ ටිරාන් අලස්ගේ නිවසේ බවටය. ජවිපෙ නායකයන්ට ටිරාන් අලස් වැදගත් බව විරුද්ධ පාක්ෂික පිරිස් චෝදනා කරති.

මෙම චෝදනා වැරදි බව පෙන්වා දිය හැක්කේ ක්‍රියාවෙන් පමණි.

ජාජබ ආණ්ඩුවට සම්බන්ධයෙන් අර්බුදකාරී වටපිටාවක් නිර්මාණය වෙන සෑම අවස්ථාවකම ආණ්ඩුවේ ප්‍රතිචාරය වන්නේ ඒ අර්බුදය නොතකා කටයුතු කිරීම බව පෙනී යයි. එය පැරණි උපායකි.

ආණ්ඩුව එහිදී කරන්නේ සිය පාක්ෂිකයන් තෘප්තිමත් කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ නායකයන්ගේ දූෂිත කෙරුවාව හා සම්බන්ධ ගණුදෙනුවක විස්තර සමාජගත කිරීමය. මෙම දූෂණ හෙළිදරව් කිරීම කළ යුතු දෙයකි. නමුත් හෙළීකරන දූෂණ සම්බන්ධයෙන් පියවර ගැනීමඳ ඒ හා සමාන වැදගත්කමකින් යුතුය.

පසුගිය ආණ්ඩුවේ බාර් පර්මිට් දීම පිළිබඳ ලැයිස්තුව,  හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්ණය, හිටපු  ජනපතිවරුන්⁣ගේ විදේශ සංචාර වැය කිරීමි ගැන ලැයිස්තුව ,ජනපති අරමුදලින් වාසි සහගත ලෙස ප්‍රතිපාදන ලබා ගත් නාම ලේඛනය හා පසුගිය අරගල සමයේ  ගිණි තැබීමෙන් විනාශ වූ නිවාස සදහා වන්දි ලබා ගත් මන්ත්‍රීවරුන් ගේ ලේඛනය ආදිය ජාජබ ආණ්ඩුව මේ වන විට සමාජගත කර තිබෙි.

මේ සෑම ලැයිස්තුවක්ම  සමාජය තුළ ඒ මොහොත වන විට ප්‍රශ්ණ කරමින් තිබූ බිත්තර හිඟය. පොල් හිගය, කැකුළු හාල් වෙළඳ පොලේ නැතිවීම ආදිය හා සම්පාත විය.

පෙරේදා ද එවැනිම ලේඛනයක් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුවේය.

එහි සඳහන් වූයේ පසුගිය ආණ්ඩුවෙි සිටි මන්ත්‍රීවරුන් නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවාස මිලයට ගැනීම  ගැනය.

අතුරු දන් වී ඇති දේශබන්දු සම්බන්ධයෙන් සමාජය තුළ මතුවී තිබෙන කතා බහ ⁣අද දින සමාජයට මුදා හැරි හිටපු මන්ත්‍රීවරුන් නිවාස මිලයට ගැනීම පිළිබඳ ලේඛනය නිසා යටපත් වෙන්නේ නැත. දෙකම නීති රීති විරොධීය.

මේ ලැයිස්තු හා ලේඛන වලින්  අනාවරණය වන දූෂණ සම්බන්ධයෙන්  ඊට එරෙහිව ආණ්ඩුව නෛතික ක්‍රියා මාර්ග වලට එළෙඹිය යුතුය. එහෙත් මේ වන තෙක් එය එසේ කළ බවක්ද වාර්තා වී නැත.

යන විදියට ගියොත් රාජපක්ෂවරුන්ට එරෙහිව ආණ්ඩුව පවරන නඩුකරයන් වල අවසාන තීන්දු දීම සිදු ⁣වෙනු ඇත්තේ තව අවුරුදු හතරකින් පමණය.ඊළඟ ජනපතිවරණය ආසන්නය වන තුරු මේ නඩු ඇදී නොයාමට ආණ්ඩුව වගබලා ගත් යුතුය.

නැතහොත් සිදුවන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ මෙන් නඩු බකල් වීමය. යහපාලන කාලයේ පැවරෑ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීමේ නඩුව සහ ත්‍රිකුණමලයේ නාවික හමුදා කඳවුරේ කඩුව තවම ඇදි ඇදී යයි. ඒ විශේෂ මහාධිකරණ පිහිටුවා තිබියදීත්ය.

ආණ්ඩුවේ මේ ලැයිස්තු ඉදිරිපත් කිරීම අතීතයේ මෙරට සමාජයේ ගැවසුන කවි කොල කාරයන්ගේ කෙරුවාව ඉක්මවා යා යුතුය.  නඩු පවරා දඩුවම් කිරීම ඉක්මන් කරන යාණ්ත්‍රනයක් ගෙන ආ යුතුය. එසේ නොවන්නේ නම් නලින්ද ජයතිස්ස ඇමතිතුමා ද කවිකොළ කාරයකු බවට පත්වන්නනට ඉඩ තිබේ.

එය සිදු නොවිය යුතු දෙයකි.

ලොකු කුමා විසිනි.

සංස්කරණය කරන ලදී.

Archive

Latest news

Related news