Wednesday, March 26, 2025

හෙළිදරව්ව: රාජපක්ෂලාට දෙහි කැපූ කජ්ජා ඝාතනය සහ ගණේමුලේ සංජීව ඝාතන අතර සම්බන්ධයක්!

පසුගියදා අළුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළදී ඝාතනය කරන ලද ඝාතකයා පලා යමින් සිටියදී පුත්තලම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද සුඛෝපභෝගී වෑන් රථය මිද්දෙනියේදී ඝාතනය කළ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා⁣ හා දරු දෙදෙනා ඝාතනය කිරීමට පෙර දිනයේ (පෙබරවාරි 16) එම ප්‍රදේශයේ තිබුණ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ති⁣බේ.එම වෑන් රථයෙන් මිද්දෙනියට ගිය එහි රියදුරු එදින එහි පිහිටි සංචාරක නිකේතනයක නවාතැන් ගෙන ඊට පසු දින (පෙබරවාරි17) ආපසු පැමිණ ඇති බවද වැඩි දුරටත් හෙළිවී ඇත.අරුණ විදානගමගේ  හා දරු දෙදෙනා ඝාතනය කෙරෙන්නේ පෙබරවාරි 18 දිනය.

අරුණ විදානගමගේ නොහොත් කජ්ජා

අරුණ විදානගමගේ රාජපක්ෂවරුන් සමීපයේ සිට ඉවත්ව ගිය ලුම්පන් අපරාධකරුවෙකි.ඔහු ඝාතනය වන විටත් ඔහුට එරෙහිව අධිකරණයේ අපරාධ නඩු ගණනාවක් විභාග වෙමින් තිබුණි.

ඒ කප්පම් ගැනීම  පුද්ගලයන් පැහැරගෙන යාම හා සාපරාධී බිය වැද්දීම් වැනි වරදවල් සඳහා පැවරුණ නඩු වේ.

රාජපක්ෂ වරුන් සමීපයෙන් ඉවත් වී යාමෙන් පසුව අරුණ විදානගමගේ චමුදිත සමරවික්‍රමගේ “ට්‍රෲත් විත් චමුදිත” නම් යූ ටියුුබ චැනලයේ සාකච්ඡා දෙකකට සහභාගිවෙමින් රාජපක්ෂවරු⁣න් ගේ පාදඩ දේශපාලනය පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණය කරමින් කර්කශ විවේචනයක නිරත විය.එහිදී ඔහු තමන් මරා දැමීමට රාජපක්ෂවරුන් සැළසුම් කරමින් සිටින බවද අනාවරණය කෙරුවේය.

ජූලම්පිටියේ අමරේගේ ඥාතියා

අරුණ විදානගමගේ ගේ හා දරු දෙදෙනා ඝාතනය කිරීමත් ගනේමුුුුල්ල සංජීව ඝාතනයත් අතර සහ සම්බන්ධයක් පවතින බවට පොලීසිය තුළ සැකයක් මතු වී තිබේ. ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැක පිට අත් අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල් වරයකු  දැනට බන්ධනාගාර ගතව සිටින ජූලම්පිටියේ අමරේ නැමැති අපරාධකරුගේ ලේ ඥාතියෙකි. ජූලම්පිටිය අමරේ යනු රාජපක්ෂවරුන් හම්බන්තොට දේශපාලන ක්‍රියාකාරම්වලදී විරුද්ධවාදීන් ඝාතනය කිරීමට හා බිය වැද්දීම සඳහා යොදා ගන්නා ලද සාහසික අපරාධකරුය.

රාජපක්ෂ වරුන් සිඳු කරන ලදැයි සමාජය චෝදනා කරන බොහෝ අපරාධවල සාක්ෂි වසන් කර තිබේ.එම අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට අපහසු වී ඇත්තේද එලෙස සාක්ෂි වසන් කිරීම නිසා බව පැහැදිලිය.එසේත් නැතහොත් තමන්ට එරෙහිව චෝදනා නැගෙන අපරාධ සදහා සිය සමීපයේ සිටියකු පාවා දීම රාජපක්ෂවරුන්ගේ මෝස්තරය  වේ.

රාජපක්ෂවරුන්ගේ සියළු අනීතික ක්‍රියා කාරකම්වල ඇත්තේ දාමට ඉත්තා සගයෙක් නොවේය සංකල්පයයි.

රාජපක්ෂ පාලනය යුද හමුදාවේ පොලීසියේ හා විශේෂ කාර්ය බලකායේ ඇතැම් කණ්ඩායම් සාහසික අපරාධ කිරීම සඳහා යොදවා ගන්නා ලද බවට සාක්ෂි හෙළිදරව් වී තිබේ. එහිදී එම සාහසික මිල්ටරි කණ්ඩායම් සපුරාලිය යුතු එකම කොන්දේසිය වූයේ රාජපක්ෂ වරුන්ට වූ බඩ බැඳ ගත් පක්ෂපාතිත්වය පමණි. එම සාහසික මිල්ටෙරි ඝාතක කණ්ඩායම් හසුරවන ලද ඉහළ ඇවරිය සිය ⁣වෘත්තිමය බලධාරිත්වය අනිසි ලෙස යොදවා ගනිමින් දේපොළ උපයා ගත් අන්ත දූෂිතයන් වූහ.බලයේ සිටි රාජපක්ෂවරුන්ද ඔවුන්ට රිසි සේ අනීතිකව හැසිරෙන්නට ඉඩ හසර සළසා දී තිබුණි.සිය පාදඩ දේශපාලන බල අධිකාරියේ පැවැත්ම හා ආරක්ෂාව  තව දුරටත් තහවුරු කර ගැනීමට රාජපක්ෂ වරුන්ට හැකි වූයේ ඒ සාහසික අත් උදව්කාර නිල ඇඳු⁣ම් ඇඳි අපරාධකරුවන්ගේ සහයෝගයෙනි.

එපමනක්ද නොවේ .අපරාධකරුවන් හා ඥාති සම්බන්ධතා ඇති අයවළුන් පොලීසිය හා විශේෂ කාර්ය බලකායට බඳවා ගත් අතර රාජපක්ෂ වරුන්ගේ නිර්දේශය මත එසේ බඳවා ගත් අයවළුන් පිළිබඳව ජාතික බුද්ධි⁣ සේවාව ඉදිරිපත් කළ පවුල් පසුබිම් බුද්ධි වාර්තා නොසළකා හැරිණි.ඒ ගැන වූ ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැක්කේ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධව සැක පිට අත් අඩංගුවට ගන්නා ලද ජුලම්පිටිය අමරේගේ ඥාති පොලිස් කොස්තාපල් වරයාය.

ජාතික ජන බලවේගය බලයට පත් වුවද රාජපක්ෂවරුන්ගේ ජානගත සාහසිකත්වයට එරෙහිව මුහුණ දීමට තරමේ නොහැකියාවකින් ⁣සිටින බව පෙනී යයි.මේ වන විට ලෙයින් හා යකඩින් ගොඩ නැගුන පක්ෂයක නායකයන් සමූහය කයිවාරු කාරයන් පමණක්ය යන තරමේ සමාජ කියවීමකට රූපාන්තරය වෙමින් පවතින බව කිව යුතුය.එය එසේ වූයේ මක් නිසාද යන්න අප විසින් පැහැදිලි කර ගැනීම වටී.මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාජබය ලද ජයග්‍රහණය එහි නායකයන් පවා අන්ද මන්ද කරවන සුළු විය.ජාබයේ නායකයන් අපේක්ෂා

 කළ ජයග්‍රහණය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිළිබඳව අදහසක් නො⁣වීය.

එබැවින් බලය ලබා ගත් පසු පරිපාලනය වෙනස් කිරීමට ඔවුන් සැළසුම් කර නොතිබුණි.මර්මස්ථානවල දූෂිත රාජපක්ෂවාදී රාජ්‍ය තන්ත්‍රය නීතියේ සීමාවන්ට යටත්ව තවදුරටත් පවත්වා ගෙන යාම ජාබයේ සැළසුම වූ බව පැහැදිලිය.එහෙත් ජාජබය බලයට පත් කරවීම සඳහා වෙහෙස මහන්සිව ආරක්ෂක හමුදා හා රාජ්‍ය පරිපාලනයේ බොහෝ දෙනෙකු ගේ අපේක්ෂාව වූයේ සියල්ල වෙනස් කෙරෙනු ඇති බවටය.එහෙත් දරා ගත නොහැකි බලයක් සමග පාලනය අතට ගත් ජාජබ නායකයන් අත එවැනි ශක්තිමත් හැසිරීමක් සහිත ගමන් කළ හැකි මාර්ග සිතියමක් නොවීය.අද මෙරට දේශපාලනයේ ව්කාරරූපී බවක් නිර්මාණය වෙමින් පවතින්නේ ඒ නිසාය.

තුනෙන් දෙකක දේශපාලන බලයක් සහිත ජාජබ ආණ්ඩුව දැන්වත් අඩුම තරමේ ජේආර් ගේ පාලනය හැදෑරිය යුතුය.ඒ තුනෙන් දෙකක බලයක් සහිතව ආණ්ඩුවක් සිය බලය වඩාත් තහවුරු කර ගන්නේ කවර දේශපාලන ක්‍රියාකාරකම් මගින්ද යන්නය.ජේආර්ගේ පාලන සමයට වඩා මෙරට දේශපාලන භූමියේ වාස්තවික තත්ත්වය දැන් වෙනස් ස්වරූපයක් ගෙන ඇති බව සැබෑය.

එහෙත් ඒ ඵෙතිහාසික උදාහරණයන් වර්තමානයට ගලපා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳය.

ජනපති අනුර දිසානායක සහෝදරයා ඇතුළු ජාජබයේ කෙරුම්කාරයන් මුලදී සිතා ගෙන සිටියේ පැරණි රාජ්‍ය තුළ සිටි ඉහළ ඇවරියේ ජාවාරම්කාර පට්ට දූෂිත නිළධාරීන් තම රජයේ ඕනෑ එපා කම් වටහා ගනිමින් සේවය කරනු ඇති බවය.

ඌරා ගේ මාළු ඌරා මත තියා කැපීම ජාජබයේ සැළසුම විය.එහෙත් මේ වන විට සිදුවෙමින් පවතින දේශපාලනික ක්‍රියා කාරකම් වලින් වටහා ගත හැක්කේ ජාජබ ආණ්ඩුවට පාලනය කිරීමට බැරි තරමේ කුමන්ත්‍රණකාරී සිදුවීම්  තැන තැන සිඳුවෙමින් පවතින බවය.පොලීසිය හා විශේෂ කාර්ය බලකාය හැසිරෙන්නේ ආණ්ඩුවේ පාලනයෙන් මිදී අයාලේ යන හැඩයටය.එහිදී  පොලිස් කොමිෂමෙන් ඒ සඳහා යටි බිම්ගතව  ලැබෙන අනුග්‍රහය ජාජබ ආණ්ඩුවේ  කිසිවකු නිවැරිදිව වටහා ගෙන නැත.වර්තමානය වන විට පොලිස්⁣ කොමිෂම ජනපතිවරයාට අභියෝග කරන තරමට ශක්තිමත් වී තිබේ.මේ ශක්තිමත් බව පොලිස් කොමිෂම ගොඩ නගා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව මතය.එහෙත් පොලිස් කොමිෂම වර නගන ප්‍රජාතන්ත්‍රවාදය සමාජය රවටන ඇස් බැන්දුමකි.ඒ මන්ද යත් පොලිස් කොමිෂම තුළ සිටින්නන් දේශපාලනිකව රනිල් වික්‍රමසිංහගේ හා රාජපක්ෂවරුන්ගේ රූකඩයන් නිසාය.අනෙකුත් කොමිෂන් වලට සිද්ද වී ඇති සන්තෑසිය එයමය.

ජාජබ ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ පරණ වයින් අළුත් බෝතලයකට දමා රහ බලන්නට නොවේ.එහිදී කොමිෂන් සභාවල බලය සම්බන්ධයෙන්ද ජාජබ ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව මැදිහත් වීමක් කළ යුතුමය.එසේ නැති නම් මේ වන විට පාලන දේහය තුළ ඇති වී තිබෙන සුළු තුවාලය ඕඩු දුවන්නට ඉඩ තිබේ.

ගනේමුල්ල සංජීව මරා දැමූ ඝාතකයා පැන ගිය වාහනය අරුණ විදානගමගේ ඝාතනය කිරීමට පෙර දිනයේ මිද්දෙනියේ තිබීම ආණ්ඩුවට එරෙහිව නිකුත් කරන ලද බරපතල අනතුරු සංඥාවක් ලෙස සැළකිය හැකිය.එහෙත් මේ අනතුරු සංඥාව ආණ්ඩුව කෙසේ ව⁣ටහා ගනීදැයි අපි නොදනිමු.ගනේමුල්ල සංජීව ඝාතකයා පැය ගණනක් තුළ අත් අඩංගුවට ගන්නේ විශේෂ කාර්ය බලකායයි.සංජීව අධිකරණයට ගෙන එද්දී ආරක්ෂාව සපයන්නේද විශේෂ කාර්ය බලකායයි.මීට දින ගනනකට පෙර විශේෂ කාර්ය බලකායේ හිටපු අණ දෙන නිළධාරීවරයා ඇතුළු කණ්ඩායමක් එම බලකායෙන් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.එසේ ඉවත් කරන ලද කණ්ඩායම මෙරට පාතාල ක්‍රියාකාරීන් සමග ගනුදෙනු කරන බවට චෝදනා ලැබූවන් වේ.මෙම කණ්ඩායම විශේෂ කාර්ය බලකායෙන් ඉවත් කිරීම ගැන විදේශගත පාතාල ක්‍රියාකාරීන්ද සිටින්නේ දැඩි කම්පනයකින් බව වාර්තා වී තිබෙි.ඒ ඔවුන් ගේ ක්‍රියාකාරකම් සදහා විශේෂ කාර්ය බලකායෙන් ලැබුණු රහසිගත අනුග්‍රහය සීමා වීම නිසාය.

ගනේමුල්ල සංජීවගේ  හා මිද්දෙනියේ අරුණ විදානගමගේ ඝාතනයන් සිදු කරන ලද කණ්ඩායම එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීමේ අදහසක් පැවතුන බව සැක කළ හැකිය.ඒ වන විට මිද්දෙනියේ අරුණ විදානගමගේ හිටියේ රාජපක්ෂවරුන් සමග මරා ගෙන මැරෙන ගේමකය.ගනේමුල්ල සංජීව මරා දැමීමට ඕනෑ කම තිබුණ පාතාල ක්‍රියා කාරිකයන් ලවා අරුණ විදානගමගේද ඝාතනය කර එම ඝාතනයන් දේශපාලන ඝාතනයන් හා සම්බන්ධ කිරීමට කුමන්ත්‍රණකරුවන් ගේ සැළසුම වී තිබුණ බව පැහැදිලිය.ඒ මන්ද යත් අරුණ විදානගමගේ ගේ ඝාතනය රාජපක්ෂවරුන්ගේ නම⁣ට චකිතයකින් තොරව බැර කළ හැකි නිසාය.එහෙත් නාමල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලට සම්බන්ධ කිසිවකු වර්තමානයේ පවතින දේශපාලන වට පිටාව තුළ අයාලේ ගොස් අමාරුවේ වැටීමට තරම් මෝඩයන් නොවන බවද වටහා ගත යුතුය.⁣ඒ නිසාම මේ ඝාතන දෙක පිටුපස පවතින කුමන්ත්‍රණකාරී සැළසුම පාස්කු ප්‍රහාරය හා සමානය.එම සැළසුම නිවරිදිව විමර්ශනය කර සැබෑ ඝාතකයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වුව හොත් එය ජජාබ ආණ්ඩුවේ මරණ වරෙන්තුව බවට පත්වීමටද ඉඩ හැකියාව පවතී.මේ යටි බිම් ගත සාහසික කණ්ඩායමේ ඊළඟ ඉලක්කය ජාජබ ආණ්ඩුවේ ප්‍රබලයකු වන්නටද බැරි නැත.

එය එසේ වන්නේ රාජපක්ෂවරුන් ඇති දැඩි කළ දඩයම් බල්ලන් දැන් ඔවුන්ගේ පාලනයෙන් මිදී සිය පැවැත්ම තහවුරු කර ගැනීම සදහා විවිධ දඩයම් සදහා ඉව අල්ලමින් සිටින නිසාය.

මේ වටපිටාව තුළ අපට දැන ගන්නට ලැබී ඇති ආකාරයට හමුදා බුද්ධි සේවයද බිඳ වැට්ටවීමේ අරමුණින්ද යම් යම් බලධරයන් ක්‍රියා කරමින් සිටී.එහිදී හමුදා බුද්ධි සේවාවේ පහල ඇවරියේ බුද්ධි රාජකාරියේ නිරතව අත් දැකීම් සහිත නිළධාරීන්ට විවිධ ස්ථාන මාරුවීම් දෙමින් සිය තනතුර ඉහලට දමා ගැනීමට කුරුමානම් අල්ලන  ජාවාරම්කාර ඉහල ඇවරියේ මිල්⁣ටෙරිකාරයකු ගැන අනාවරණය වේ.පසුගිය ආණ්ඩු  කාලයේදී  ජවිපෙ සාමාජිකයන් තිත්ත අබිං ලෙස සැළකූ මේ හාදයා දැන් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාටත් වඩා  පූර්ණකාලීන ජවිපෙ ක්‍රියාකාරිකයකු බවට රූපාන්තරනය වී තිබේ.යුද හමුදා බුද්ධි බලකායේ ඉහලම තනතුරක් සදහා වර්තමානයේ පත් කර ඇත්තේ හමුදා යාන්ත්‍රික බලකායේ ඡ්‍යෙෂ්ඨයකි.ඔහුගේ බිරිඳ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ පෞද්ගලික ලේකම් වරිය වේ.බුද්ධි රාජකාරීන් පිළිබඳව කිසිදු අවබෝධයක් නැති මේ හමුදා ඡ්‍යෙෂ්ඨයාට කේලාම් කියමින් සිය පැවැත්ම තහවුරු කර ගැනීමට සැළසුම් කරමින් සිටින බුද්ධි අංශයේ ජාවාරම්කාරයා ඉහල තනතුරකට පත් කළ හොත් හමුදා බුද්ධි අංශයට දෙවි පිහිටයි බව තතු දන්නෝ පවසති.කෙසේ වෙතත් මේ ජාවාරම්කාරයා ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි රාගම⁣ ලොකු සීයා ඝාතනය සිදු කළ දඩයක්කාරයා බවද පැවසේ.

ආණ්ඩුවට හිතවත් හා සමීපතම ආරක්ෂක ප්‍රධානීන් දැන් සිදු කළ යුතු වන්නේ යුද නාවික ගුවන් හා විශේෂ කාර්ය බලකා බුද්ධි සේවාවන් එකට එක් කර සංවිධානගත බුද්ධි ඒකකයක් ගොඩ නැගීමය.එසේ නැතහොත් වන්නේ එකිනෙකට පරස්පර බුද්ධි තොරතුරු ලබා දී ආන්ඩුව⁣ නොමග යැවීමය.එම ඒකකය තුළ රාජපක්ෂවරුන්ගේ හා වික්‍රමසිංහගේ  කූට්ටාලියන් වෙත වගකීම්  පැවැරීම නොකළ යුතුය.මේ වන විටත් හමුදා බුද්ධි අංශ වල රාජකාරි කර විශ්‍රාමිකව සිටින ජාතික ජන බලවේගය ආණ්ඩුවට හිතවත් ඡ්‍යෙෂ්‍ඨ නිළධාරීන් ⁣ඕනෑ තරම් සිටී.හමුදා බුද්ධි අංශවල සිටින ජාවාරම්කාර තක්කඩියන් ගැන එම විශ්‍රාමික හමුදා ඡ්‍යෙෂ්ඨයන් වෙතින් තොරතුරු ලබා ගත හැකිය.

ආණ්ඩුව අපහසුතාවට පත් වන ආකාරයට සිදුවන පාතාල වෙඩි තැබීම් පිටුපස සිටින මහ මොළකාරයන් ගැන ඉතා ඉක්මනින් හඳුනා ගැනීම ආණ්ඩුවේ අනිවාර්ය වගකීමකි.ඒ සඳහා ඉතා ශක්තිමත්ව ගොඩ නැගිය යුතු වන්නේ බුද්ධි සේවාව බව ආණ්ඩුව වටහා ගත යුතුය.

Archive

Latest news

Related news