ලොකු කුමා විසිනි.
(Sri Lanka Brief/ 27 February 2025) පොලිස් දෙපාර්තමේන්තුවේ මදාවි කෙරුවාව ගැන අළුත්ම ආරංචිය ලැබුණේ කොස්ගොඩ පොලීසියෙනි.
කොස්ගොඩ පොලීසියේ වර්තමාන පොලිස් ස්ථානාධිපතිවරයා මාරම වාසනාවන්තයෙකි.ඔහු පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දුය.මේ පොලිස් ස්ථානාධිපතිවරයා ගිය අවුරුද්දේ හිටියේ ජම්පරය ඇඳගෙන හිරගෙදරය.මාස දහයකට ආසන්න කාලයක් ජම්පරය ඇඳ ගෙන හිර ගෙදර ලැග්ග මොහු හිර ගෙදරින් නිදහස් කළ දිනම කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.හිර ගෙදරින් නිදහස් කෙරුවා යනු ඇප මත මුදා හැරීමක් මිස ඔහුට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් වීම නම් නොවේ.
ශ්‍රේෂ්ඨාධීකරණයෙන් වරදකරුවූ අයි.පී. ප්‍රභාත් දේශබන්දු
පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු තිස්සමහාරාමය පොලීසියේ සේවය කරන විට 2003 වර්ෂයේදී සංචාරක නිකේතනයක හිමිකරුවකු ඇතුළු පස් දෙනෙකු පැහැර ගෙන ගොස් රඳවාගෙන කෘර වද හිංසා පමුනවන ලද බවට චෝදනා කර මාතර මහාධිකරණයේ නඩුවක් පවරන ලද්දේ නීතිපතිවරයා විසිනි.මේ සම්බන්ධයෙන් සංචාරක නිකේතනයේ හිමිකරු ඇතුළු අනෙක් සතරදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් අනතුරුව වග උත්තරකාර පාර්ශවයේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වීමෙන් පසුව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන එකකය විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී.
පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු ඇතුළු පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකු එම නඩුවේ විත්තිකරුවන් විය.ඒ උප පොලිස් පරීක්ෂක සන්නස්ගල හා පොලිස් සැරයන් කුලතුංග නම් අයවළුන්ය. වසර 19 ක කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2023 ජුනි 25 දින එම විත්තිකරුවන් තිදෙනා හට වෙන් වෙන්ව වසර 07 බැගින් බරපතල සිර දඬුවම් හිමි විය.
මෙම නඩුවේ තීන්දුව ලැබුණේ විත්තිකරුවන් තිදෙනාටම දඬුවම් හා දඩ මුදල් අය කරමිනි. අනතුරුව මේ තිදෙනා බන්ධනාගාර ගත කෙරිණි.පොලිස් පරීක්ෂක දේශබන්දු සිර දඬුවමට යටත් වන කාලයේදී කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කෙරුවේය. බන්ධනාගාර සිර දඬුවම් විඳින කාලය තුළදී ප්‍රභාත් දේශබන්දු ඇතුළු අනෙක් පොලිස් නිළධාරීන් දෙදෙනා තමන්ට හිමි වුන දඬුවම අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.
හිරේ ගියත් වැඩ තහනම් නෑ
එම අභියාචනය විභාගයට ගැනීමත් සමගම මොවුන් තිදෙනා ඇප මත මුදා හැරිණි. එසේ ඇප මත මුදා හරින ලද ප්‍රභාත් දේශබන්දු කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස නැවත වැඩ බාර ගත්තේය. සිර දඬුවම් ලැබූ රජයේ නිළධාරියකු ආයතනික විනය පරීක්ෂණයකින් තොරව නැවත සේවයේ පිහිටුවීම අරුම පුදුම සිදුවීමකි. එය සිදුවී ඇත්තේද දෙපාර්තමේන්තු ආයතනික විනය සංග්‍රහයට පටහැනිව බව පෙනී යයි. පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු ඉහත නඩුවේදී වැරදිකරුවකු වී බන්ධනාගාර ගත කළද ඔහු වැඩ තහනමකට ලක් වී නැති බව අනාවරණය වේ. ඒ නිසාම ඔහු සිර දඩුවම් විඳින කාලය තුළදී පවා මාසික වැටුප් ලබා ගන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.එහිදී ප්‍රභාත් දේශබන්දු මාර වාසනාවන්තයෙකි.
ඔහුගේ වාසනාවන්ත කම පවතින්නේ මෙරට ආයතනික විනය නීති රීති ඔහුගේ වෘත්තියට හා සිර දඩුවමට බලපෑමක් නොවූ නිසාය.
2025 පෙබරවාරි මස 25 වන දින මේ හා සමානම නඩුවක් මාතර මහාධිකරණයේදී විභාගයට ගැණිනි.ඒ මාලිම්බඩ පොලීසිය මීට සිව් වසරකට පෙර අත් අඩංගුවට ගෙන කෘෘර හා අමානුෂික ලෙස පහර දුන් බව කියන පොලිස් පරීක්ෂක වරුන් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහාධිකරණයේදී අධි චෝදනා බාර දී දැඩි ඇප කොන්දේසි මත මුදා හරිමින් මාර්තු 28 වන දින නඩුව යලි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියෝග කෙරුවේය. මෙම නඩුවේ විත්තිකාර පොලිස් නිළධාරීන් වන්නේ මාලිම්බඩ හිටපු පොලිස් ස්ථානාධිපති හා වර්තමානයේ තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.චන්ද්‍ර ජයවික්‍රම, එවකට මාතර පොලීසියේ අපරාද විමර්ශන අංශයේ ස්ථානාධිපති දැනට වීරකැටිය පොලීසිියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් බුද්ධික විජේතුංග,කඹුරුපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සමන්ත විජේසේකර හා එවකට මාලිම්බඩ පොලීසියේ සේවය කළ සමන් ජයවර්ධන යන අයවළුන්ය.
සංජේ රාජරත්නම් වුදිත පොලිස් නිලධාරීන් වෙනුවෙන්
ගෙවී වසර හතරක් තිස්සේ නීති පති කාර්යාලයේ පුස් කකා තිබුණ මෙම නඩු ගොනුව නැවත විභාගයට ගන්නා ලද්දේ ජනපති කාර්යාලයට වින්දිතයන් විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිල්ලක ප්‍රතිපලයක් විදියටය. මේ නඩුවේ විත්තිකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් හිටපු නීතිපති සංජය රාජරත්නම් පෙනී සිටීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ සිදුවීමක් විය. එසේම මේ නඩුවේ විත්තිකාර පොලිස් නිළධාරීන් අතර හිටප ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයකුද වේ.
වැ.බ. පොලිස්පති කොස්ගොඩට වෙන හැන්දකින්
කෙසේ වෙතත් එම පොලිස් නිළධාරීන් හතර දෙනාගේ සේවය අත් හිටුවීමට වර්තමාන පොලිස්පතිවරයා කටයුතු කෙරුවේය. සේවය අත්හිටුවීමට කටයුතු කරන ලද එම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිදු කළ මැදිහත් වීම කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා විෂයෙහි නොදැක්වීම ඉතා බරපතල ලෙස අවධානයට ගත යුතු කාරණයකි. කෲර වද හිංසාව සම්බන්ධයෙන් චෝදනා ලබන පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව එතරම් ගණන් නොගන්නා බව මින් තහවුරු වේ.මින් පැහැදිලි වන්නේ අත් අඩංගුවට ගන්නා සැකකරුවන් හට පමුණවන කෲර වද හිංසාව පොලිස් රාජකාරියේ කොටසක් ලෙසම ස්ථාන ගත වෙමින් තිබෙන බවය.
2006 වර්ෂයේදී හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ විසින් කර්තෘ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කරන ලද ක්ෂත්‍රීය මායම් නම් ග්‍රන්ථයේ “යටත් විජිත යුගයෙන් මුදා ගත යුතු පොලීසිය”නම් ශීර්ෂය යටතේ පොලීසියෙන් සිදු කරන කෲර වද හිංසා ගැන මෙසේ ප්‍රශ්ණ කර තිබේ.
“….තමාගේ රටේ තමාගේ පිරිසේ එකකු වූ මිනිසකු පොලීසියේ බිත්ති හතර ඇතුළට අරගෙන රාජ තේජසේ ආරක්ෂාවට මුවා වී ඉළ ඇට කැඩෙන තුරු හෘදය ,කැවුත ,බඩවැල්,මුත්‍රාශය,වකුගඩු පුපුරණ තුරු පහර දෙන්නේ කෙසේද.මෙසේ පහර දී දුර්වල කරන්නේත් තමාගේ රටට වැඩදායක මනුෂ්‍යයකු බව නොසිතන්නේ මන්ද?ඔහු මැරුණොත් අඹු දරු පවුලක් අනාථ වන බවත් නොතේරෙන්නේ මන්ද ?
එහෙත් අධිරාජ්‍යවාදීන් හිත් තුළට කාවැද්දූ අධිකාරිවාදී ඇබ්බැහිය පොලිස් නිළධාරීන්ගේ මානසිකත්වය තුළ තවමත් පවතින බව මෙරට මෑත කාලීනව වාර්තා වී ඇති පොලිස් වදහිංසා වලින් තහවුරු වේ.
පොතට සීමා වූ වධහිංසා නීති
දණ්ඩ නීති සංග්‍රහයේ 310 සිට 329 දක්වා ඇති වගන්ති වලින් පුද්ගලයෙකුට එරෙහිව වද හිංසා පැමිණවීම අපරාධ වරදක් බව සඳහන් කර ඇති අතර එහිදී වරද සිදු කරන්නා සාමාන්‍ය පුද්ගලයෙක්ද නැතහොත් රාජ්‍ය නිළධාරියෙක්ද යන්න වාර්ගීකරණය නොකෙරේ.එසේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් මෙරට පුරවැසියන්ට වද හිංසාවෙන් හා වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම් වලින් හෝ දඬුවම් වලින් වැලකීමේ අයිතිය හිමි වී තිබේ
පුරවැසියෙකු වදයට පත් කිරීම බරපතල අපරාධමය වරදක් ලෙස නීතිගත වූයේ 1994 දෙසැම්බර් මස 20 වන දින සිට බලාත්මක වූ 1994 අංක 22 දරණ වද දීමට හා අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුති පනත මගිනි.මේ පනත යටතේ වරද සිඳු කරන සැක කරුවන් හට නඩු පැවරීමේ වගකීම පැවරෙන්නේ නීතිපතිවරයාටය. එසේම එම පනතේ දෙවන වගන්තියේ පලමුවන උප වගන්තියට අනුව යම් පුද්ගලයෙකුට වද දෙන තවත්,පුද්ගලයකු මෙම පනත යටතේ වැරදිකරුවකු වේ. එකී පනතේ 2 වන වගන්තියේ දෙවන උප වගන්තිය අනුව වධදීමක් සිඳු කිරීමට තැත් කරන ඒ සඳහා ආධාර කරන අනුබල දෙන හෝ වධදීමට ක්‍රමන්ත්‍රණය කරන තැනැත්තකුද වරද කරුවන් වේ.පනතේ 2(4)වගන්තිය අනුව නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ බවත් නඩු විභාගයකින් පසු වරදකරු වුවහොත් වසර හතකට නොඅඩු හා වසර දහයකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට හා දඩ මුදලකට යටත් කළ හැකි බවද දැක්වේ.
මේ අණ පනත් වල කෙසේ සඳහන් වුවද මහජනතාව විෂයෙහි පොලීසිය ගෞරවාන්විත බවකට වඩා කෲරත්වයෙන් සැළකීම හේතු කරගෙන සාක්ෂියකට තබා පැමිණිල්ලකටවත් පොලීසියට යාම ගැන පුරවැසියන් තුළ පවතින්නේ දැඩි අප්‍රසාදයකි.එහිදී කෲරත්වය පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින නොසැළකිල්ල කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා නැවත සේවයේ පිහිටුවීම තුළින්ම වටහා ගත හැකිය.
27.02.2025