සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව ඝාතනය කිරීීම සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබන ලද සැකකරු විශේෂ කාර්ය බලකාය මගින් පුත්තලමේදී අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබේ.සුදු කමීසයකින් හා සුදු කලිසමක් හැඳ සිටින සැකකරු පොලිස් අත් අඩංගුවට පත් වන විට සිටින්නේ සිනාමුසු මුහුණෙනි.ඒ මුහුණේ කිසිදු බියක් හෝ තැති ගැන්වීමක් ඇති බවක් දකින්නට නැත.
මහජන ආරක්ෂාව සඳහා වගකිව යුතු නිල ආයතන තුළට ඇතැම් පුද්ගලයින් පාතාල ක්‍රියාකාරීන් ඇතුළු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 10 වන පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී අද අනාවරණය කළේය. මෙමගින් පෙනී යන්නේ විශේෂ කාර්ය බලකාය තුල සහ බුද්ධී අංඹ තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ තැරැව්කරුවන් සිටින බවට අප දිගින් දිගටම කළ හෙළිදරව් කිරීමයි. සැකකාර ඝාතකයා හමුදා බුද්ධී අංශ නිලධාරියකුව සිටි බව මරජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අනාවරණය කර තිබේ.
සැකකරුගේ සිනහවෙන් අරුත් ගැන්වෙන්නේ අත් අඩංගුවට ගැනීමට ආ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම සමග ඔහුගේ සහ සම්බන්ධයක් පැවති බවටද යන්න මෙහිදී සැකයක් මතුවේ.
මේ අත් අඩංගුවට ගැනීමේදී ගත් ඡායාරූපයේ දැක්වෙන ආකාරයට සැකකරු ගේ ශරීර ප්‍රකාශනයන් තුළ දකින්නට ඇත්තේ හොඳින් දැන හඳුනන සමීපතම මිතුරන් පිරිසක් හමුවූ අවස්තාවක් හා සමාන දර්ශනයකි.
අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ගනේමුල්ල සංජීවගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 12 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සිටි බව දැන ගැන්මට තිබේ. ඒ කණ්ඩායම සමග අවි ගත් බන්ධනාගාර නිළධාරීන්ද සිටින්නට ඇත.
අධිකරණ පරිශ්‍රය තුළදී ගනේමුල්ල සංජීවට වෙඩි තබා සැකකරුට බාධාවකින් තොරව පලා යාමට හැකි වීම විශේෂ කාර්ය බලකායේ බරපතල දුර්වලතාවකි. විශේෂ පුහුණුවක් ලද සෙබළුන් ක්ෂනික සතුරු ප්‍රහාරයකදී අවධානය යොමු කළ යුතු වන්නේ එම ප්‍රහාරයෙන් වෙඩි වැදුන ඉලක්ක පථයට නොවේ. ඒ වෙඩි ප්‍රහාරය එල්ල වූයේ කවර ස්ථානයක සිටද යන්නයි. එහෙත් මේ අවස්ථාවේ ඒ අවධානය විශේෂ කාර්ය බලකා සෙබළුන් ගෙන් ගිලිහී ඇති බව පැහැදිලිය.
එය එසේ වූයේ විශේෂ කාර්ය බලකායේ පුහුණුවේ පැවැති දුර්වලතා නිසාද එසේත් නැතිනම් මේ ප්‍රහාරය ගැන පෙර දැනුවත් වීමකින් සිටිය නිසාද යන සැකය මතුවේ.එම ප්‍රහාරය ගැන පෙර දැනුවත් වීම ගැන ඇතිවන සැකය වඩාත් තහවුරු වන්නේ සැකකරු අත් අඩංගුවට ගනිද්දී හැසිරෙන සැහැල්ලුව නිසාය.
මෙම පුද්ගලයා මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නම් මුස්ලිම් ජාතිකයකු ලෙස පොලිසිය කලින් හදුන්වන ලද නමුත් එම සැකකරු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි ලෙස හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පැවසීය.
මෙම ඝාතනය මනාව සැළසුම් කර ඇති ඝාතනයක් බව තහවුරු වන්නේ ඒ සඳහා යොදා ගන්නා ලද ගිණි අවියයි. එම අවිය ත්‍රී එයිට් වර්ගයේ එකකි. ස්වයංක්‍රීය ගණයට අයත් නොවන අවියකි. ස්වයංක්‍රීය නොවන ගණයට අයත් නොවන ගිණි අවියක් භාවිතා කර සිදු කරන වරදකට ඉතා කෙටි කාලයකදී ඇප ලබා ගැනීමට හැකියාව පවතී. සැකකරුට එවැනි අවියක් භාවිතා කිරීමට උපදෙස් දෙන ලද්දේ නීතිය ගැන හොඳින් දන්නා අයෙකු හෝ කණ්ඩායමක් බවද සිතා ගන්නට පුළුවන.සැකකරු පලා යන්නේද භාවිතා කළ ගිණි අවිය එම ස්ථානයේ බිම දමමිනි.
වෙඩි තැබීමෙන් පසුව තමන්ට බාධාවකින් තොරව එම ස්ථානයෙන් පලා යාමට හැකි බවටද සැකකරුට පුර්ව විශ්වාසයක් පැවැති බව ඉන් තහවුරු වේ.එම විශ්වාසය සැකකරු හට තිබුණේ එහි රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකා සෙබළුන් ගැන මනා අවබෝධයක් පැවැති නිසාය යැයිද සැක කළ හැකිය.
මෙවැනි වටපිටාවක මනුෂ්‍ය ඝාතනයක් සදහා අපරාධකරුවකු පැමිණෙන්නේ තම ජීවිතය ගැන බරපතල අවදානමක් ගනිමිනි.එය මරාගෙන මැරෙන මෙහෙයුමක් ලෙස සැලසුම් කරන්නටද ඉඩ හැකියාව පවතී.එහෙත් අළුත්කඩේ අධිකරණය තුළට පැමිණ වෙඩි තැබූ ඝාතකයා සිය කාර්යය ඉටු කර ඇත්තේ සිනමා දර්ශනයක රඟපෑමකටත් වඩා පහසුවෙනි. දැන් සෙවිය යුතු වන්නේ මේ සිනමා දර්ශනයේ සැබෑ නිෂ්පාදකයන් කවුරුන්ද යන වගය.එසේ නොමැතිව ගනේමුල්ල සංජීවගේ පරම වෛරක්කාරයකුගේ පලි ගැනීමක් බවට ඒත්තු ගන්වා සැකකරුගෙන් කට උත්තරයක් ගෙන අධිකරණයට ඉදිරිපත් කර සැකකරු බන්ධනාගාර ගත කර සියල්ල අවසන් කිරීම තුළින් සිද්ධ වන්නේ සැබෑ අපරාධකරුවන් වසන් කිරීමකි .
මේ සියල්ලටම වඩා බරපතල කරුණක් ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.
ඒ එම ඝාතනයෙන් පසුව අන්තර්ජාලයේ ඇති වීඩියෝ පටයකින් පැවසෙන දේ නිසාය.
“මැඩම් ඇහැව්වා මෙයා අද ඉදිරිපත් කරේ ඇයි.උසාවි නියෝගයක්වත් නැතුව.නිශ්චිත කාරණයක් කියන්න” යැයි ඉන් පැවසේ.මෙහි මැඩම් යන්නෙන් හඳුන්වන්නේ මහේස්ත්‍රාත්වරිය බවත් මෙයා යනු මියගිය ගනේමුල්ලේ සංජීව බවත් සමාජ මාධ්‍යයෙහි සඳහන් වේ. එය තහවුරු නොවු පුවතකි.
එය සැබෑ නම් ඉන් අනාවරණය වන්නේ මෙදින ගනේමුල්ල සංජීව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ නියෝගයක් පවා නොමැතිව බවය.
එසේ නම් එම සැකකරු අධිකරණයට ගෙන ඒමට නියෝග කළ බලධරයා කවරෙක්ද යන්න සෙවීම හා ඔහු එසේ කෙරුවේ මක් නිසාද යන්නත් විමර්ශනය කෙරුවේ නම් එම සාපරාධී ඝාතනයේ සුල මුල සොයා ගැනීමට ඉවහල් වනු ඇත්තේය.
ලොකු කුමා විසිනි.