( Sri Lanka Brief/07.02.2025) කසුන් පුස්සවෙල ලසන්ත ඝාතනය සහ නීතිපතිගේ අරුම පුදුම නිදහස් කිරීමට අදාළව පේස් බුක්හි පල කරන ලද ලිපියකට ජාතික ජන බලවේගය පිලිතුරක් දී තිබේ.
කසුන් පුස්සවෙල අද එංගලන්තයේ සිටීම ජාජබ මංත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර සහ ජාජබ මංත්‍රී නජිත් ඉන්දික අවලස්සන ප්‍රහාරයක් දියත් කර තිබේ.
කසුන් පුස්සවෙල යනු අවදානම් නොතකා ගවේශනාත්මක මාධ්‍යකරණයක නියැලුනු කීර්තිමත් තරුණ ජනමාධ්‍යවේදියෙකි.
ජාජබ මංත්‍රිනී ලක්මාලි අසා ඇත්තේ පුස්සවෙල පේස් බුක් ලිවීමට අමතරව කරන දෙය මොකක්ද කියාය! ඉන් නොකියා කියන්නේ කටවහ ගෙන ඉදපන් කියාය.
බලය විසින් දූෂණය ඇති කරයි කියන්නේ කට කහනවාට නොවේ.
එක් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ කසුන් පුස්සවෙලගෙන් ගේම ඉල්ලීමට ආණ්ඩුවෙන් පිං මංත්‍රීවරුන් දෙදෙනෙකු දමා ඇති බවයි.
නජිත් ඉන්දික පුස්සවෙලට ලියූ පිලිතුරත් ඊට පුස්සවෙල දුන් පිළිතුරත් මෙහි අවසානයට අලවා තිබේ.
නීතිපති විසින් ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීම වක්‍ර ලෙස සාධාරණ කරන මෙම නෝනා මහත්වරුන් කසුන් පුස්සවෙලට එහෙිව ප්‍රහාරයක් දියක් කර ඇත්තේ ඔහුගේ කීර්තිමත් ජනමාධය භාවිතය ගැන නොදැන නොවේ.
ලක්මාලි හේමචන්දු යනු මංත්‍රී දූරය ලැබිමට පෙර මානව හිමිකම් ආරක්ෂිකාවක් ලෙස පෙනී සිටි අයෙකි. නජිත් ඉන්දික ද එසේය.
මෙසේ විදෙස් ගක ලංකිකයිනට ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පෙනී සිටීම තහනමී කිරීමට වළිකන මෙම දෙපලට අමතක වී ඇත්තේ ජනාධිපතිවීම සඳහා අනුර කුමාර දිසානායක විදෙස් ගත ලංකිකයින් හමුවෙමින් ඔවුනට දේශපාලන උම්මා දුන් බවයි. එකල විදෙස් ගත ලංකිකයින්ගේ දේශපාලන මැදිහත්වීම් ජාජබට මසුරන් විය. දැන් ඒවා අසූචිය.
දැන් ලක්මාලි සහ ඉන්දික කියන කතාවට අනුව විදෙස් ගත ලාංකිකයිනට, එනම් කැනඩාවේ ජාජබ ප්‍රධානියා වන චන්ද්‍රරත්න බණ්ඩාර, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් ලිපි ලියන ලයනල් බෝපගේට, ජර්මනියේ ජීවත් වන සනත් බාලසූරියට හෝ ඇමෙරිකාවේ ජීවත් වන පෝද්දල ජයන්තට ජාජබ ආණ්ඩුව විවේචනය කිරීමට අයිතියක් නැත.
නජිත් ඉන්දිකට සහ ලක්මාලී හේමචන්ද්‍රට කිව යුත්තේ අප වැනි විදෙස් ගත පිරිස් රාජපක්ෂ භීෂණයට පමණක් නොව ගෝටා්ගේ භීෂනයට විරුද්ධව නොබා සටන් කළ බවයි. අද ද එම අයිතිය අපට තිබේ. පිං දේශපාලනඥයින්ට මේ කාගේවත් කටවල් වැසීමට නොහැක.
මෙම ප්‍රහාරය කතා කිරීමේ නිදහසට කරන ලද වක්‍ර තර්ජනයකි.
මෙවැනි දේශපාලනඥයින් සමාන වන්නේ රජතුමාගේ ශ්‍රී දේහයේ වැසූ මැස්සන්ට කඩුවෙන් කෙටූ වදුරන්ටය.
කට නොඅරින තාක් මෝඩයාත් පණ්ඩිතයකු යැයි කියන්නේ මෙවැනි සිද්ධීන්ටය. බලයට පැමිනීමෙන් පසු සමහර ජාජබ මංත්‍රීන් හැසිරෙන ආකාරය සහ රාජපක්ෂ වහලුන් හැසිරුණූ ආකාරයෙහි වෙනසක් නැත.
නජිත් ඉන්දික කියන්නේ රනිල් වික්‍රමසිංහ බලයට ආවේත් අයිඒම්එෆ් සමඟ ගිවිසුම් ගැසීමට සිදුවූයෙත් අරගලය නිසා බවය. එනමුත් අරගලයෙහි අවසාන අදියරෙහි ජනතා විමුක්ති පෙරමුණ ප්‍ර්‍රධාන වැඩ කොටසක් කළේය. අරගලට සහාය දැක්වීමට ආ සජිත් ප්‍රේමදාසට පහර දුන්නේ ද ජවිපෙ පීරිස් එය තමන්ට ලියා ගැනීමටය.
ලක්මාලි හේමචන්ද්‍රගේ සහ නජිත් ඉන්දික ගේ හැසිරීම, ජාජබ ප්‍රතිපත්තිය නම් රටට අබ සරණය. එසේ නෙවේවාය යනු අපේ පැතුමය.
ජාජබ පිළිවෙත ඉදිරි දවස් දෙක තුන තුල දී දැක ගන්නට ලැබෙනවා ඇත.
සුනන්ද දේශප්‍රිය
———————————————————————————————–
ජාජබ මංත්‍රී නජිත් ඉන්දික ගේ කොමෙන්ටුව සහ කසුන් පුස්සැල්ගේ පිළිතුර පහත දැක්වේ.
Najith Indika
“ආණ්ඩුව මේ දේවල් හෑල්ලු කරමින් ඉන්නවා” කියල වේගයෙන් කියන්න පුස්සවෙලට තියන තදියමට හේතුව නම් මම දන්නෙ නැහැ. මට ඒක දැනගන්න විශේෂ උවමනාවකුත් නැහැ.
නමුත් අවුරුදු ගාණක් එක තැන නැවතිලා තිබුණු ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව නැවත රීඕපන් කළේ මේ ආණ්ඩුව.
තාම ආණ්ඩුවට මාස හතරයි. 2009 ඉඳන් අවුරුදු 16 ක් යටගහල තිබුණු, සාක්ෂි පුලුවන් තරම් මකපු විමර්ශනයක් මාස හතරෙන් ඉවර කරන්න කාටවත් බැහැනෙ. දැන් නිකන් සියල්ල අවසන් වගේ තීන්දුත් දීලනෙ ඔයාල කතා කරන්නෙ.
දැන් පුස්සවෙලට අනුව, මෙච්චර කාලයක් මේ ප්‍රශ්නය කරතියාගෙන ගිය සහ මේක රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් වෙන මට්ටමට ප්‍රමුඛත්වයක් දුන්නු, ඒ වගෙම අවුරුදු 16 කට පස්සෙ මේ ගැන විමර්ශනය හරියට ආරම්භ කරන්න මුල්වුණු, ජනාධිපති අනුර දිසානායකටත්, මේ ආණ්ඩුවටත් මේ අපරාධ ගැන සාධාරණයක් විමර්ශනයක් කරන්න උවමනාවක් නැද්ද? එහෙනම් කාටද උවමනාවක් තියෙන්නෙ මේකට? ඔයාට විතරමද?
ආණ්ඩුව පත්වෙලා මාස හතරයිනෙ කසුන්. ඔයා මෙහේ නැතිවුනත් මේවට බෙල්ල දීගෙන අපි මේ රටේ ඉන්නවනෙ. මේ සිද්ද වෙන, සිද්ද කරන හැම දේකටම අපි අපේ ඇඟ දෙනවා. වගකියනව. ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්න වෙනවනන් අනාගතේදි ඒකත් ගෙවනවා. වැරදිලා හරි මේ ජයග්‍රහණය ආපහු හැරවුනොත් අපිට පුද්ගලිකව ගෙවන්න වෙන වන්දිය හුඟක් ලොකුයි. ඒ නිසාම ඔයාට වඩා මේ හැමදෙයක්ම ගැන “අමාරුවක්” අපිට තියෙනවා. “ෆේස්බුක් සංවාද” වලට පැටලෙන්නෙ නැතුව ඉන්න උත්සාහ කළත් ඔයාල මේ මැදිහත්වෙන ආත්මවාදී, පුද්ගලවාදී ස්වභාවය වර්ධනය වෙන්න පුලුවන් තැනක් සහ මේ ප්‍රස්තූථ කාරණයටම ඒකෙන් වෙන්න පුලුවන් හානිය පේන නිසයි අකමැත්තෙන් වුණත් මේ කමෙන්ට් එක දාන්නෙ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ඔයාල මේ කාරණයෙදිත් හැසිරෙන්න අර 2022 අරගලයෙදි වගේම තමයි. අවසාන ප්‍රතිඵලය ගැන කිසිදු වගවීමක් නැතිව Gohome විතරක් කියලා මේ රටට රනිල් වික්‍රමසිංහ කියල ජනාධිපති කෙනෙකුත් හදලා දීල, IMF ගිවිසුමකටත් යන පාරකට දාලයි ඒක ඉවරවුණේ. මේ ආණ්ඩුව හදන්න මුල්වුණු මේ රටේ මිනිස්සු ඒ කාලය පුරාමත් ඊට පස්සෙ යන්තම් අවුරුදු දෙකකුත් දඟලලා, මහන්සිවෙලා තමන්ගෙ ආණ්ඩුවක් හදලා ආයෙත් මේ රට ප්‍රකෘති තත්වෙට ගන්න පටන් ගත්ත මොහොතෙවත් අර වගේ “එන්ඩ් රිසල්ට්” එක ගැන හිතන්නෙ නැතුව ළඟ නමන එක පොඩ්ඩක් පාලනය කරගන්න කියල ඉල්ලන්න කැමතියි.
අවසාන වශයෙන් කිව්වොත් ආණ්ඩුව නෙමෙයි, මේ ක්‍රියාවලියේ තියෙන නීතිමය තත්වය, තාක්ෂණික කරුණු, වර්තමාන තත්වය වගේ කිසිවක් සලකන්නෙ නැතුව, කොහේ හරි ඉඳගෙන ෆේස්බුක් වීරයන් වෙන්න යන මිනිස්සු තමයි ඇත්තටම මේ ක්‍රියාවලිය හෑල්ලු කරන්නෙ.
කණගාටුයි
Kasun Pussewela ගේ පිළිතුර
Najith Indika ඔයා ඉන්න ආණ්ඩුවෙ ජනාධිපති එක්ක ඔයාට වඩා බොහොම කාලෙක ඉඳන් මේ නඩු ගැන අරගලේ ගැන අපි කතා කලා. ඒව සමහරක් පැලවත්තෙදි වගේම වෙනත් තැන්වලත් සිදු වුණා. ඔයා ඒව දැනගන්න විදියක් නෑ මොකද අද අපියි බෙල්ල දෙන්නෙ අපියි කොරන්නෙ කිව්වට ඔයා කොහෙද එහෙනම් රාජපක්ෂල බලයෙ ඉද්දි, දින 52කේදි ආණ්ඩු එද්දි හිටියෙ කියල වගෙම ලසන්ත ගැන අහන්න මට තියෙන අයිතිය, හදිසිය කියල මම අහන්නෙ නෑ.
මොකද ඔයා එතකොට ඔයාගෙ පවුල හා පෞද්ගලික පරිසරය එක්ක වැඩ කරද්දි බෙල්ල දුන්නෙ අපි. මම ඔය රටේ නැත්තෙ අවුරුදු දෙකයි. ඒකත් මේ සදාකාලික නතර වෙන්නවත් වෙන දේශපාලන මගුලකටවත් ආවෙ නෑ. ලසන්තගෙ පත්තරේ අන්තිම වෙනකම් හිටපු ප්‍රවෘත්ති කතුවරය මම. ඔයාට මාස 4 වුණාට මට අවුරුදු 15ක ආසන්න ජනමාධ්‍ය සහ මේ නඩු ගැන බැඳීමක්, වගවීමක්, වගකීමක් තියෙනව.
ඔයාගෙ බෙල්ල තියන්න ගොඩක් කලින් ඉඳන් වගෙම හෙට වෙනකනුත් බෙල්ල තියල ඉවරයි අපි. අපිව මරන්න ඕන කිව්වෙ එහෙනම් රාජපක්ෂල රනිල්ල මෛත්‍රීපාලල බලයෙ ඉද්දි උසාවි ඇතුළෙ. ඔයාට ඕන්නම් ඒවට අදාල උසාවි නියෝග, සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිවල, මානව හිමිකම් කොමිෂන්වල වාර්තා එවන්නම් බලන්න.
ලඟ නමන්න කියන්නෙ නෑ. හැබැයි මහජන අභිලාෂය වගෙම මැතිවරණ වේදිකාවල මොර දෙන්න කලින් එහෙනම් ඕකම කියන්න තිබුණ. ඔයාලගෙ රිදීමේ සහ ඕනම ජරාවක් සේදීමේ අනුපාතයට අපිව අදාල කරගෙන අපිට ගහන්න එන්න එපා.
ඊට කලින් ඔයාගෙ උඩ අයගෙන් අහල බලන්න මොනවද අපි කිව්වෙ මොනවද ලිව්වෙ කියල. අනික අපිට වීරයන් වෙන්න බුකියවත් දේශපාලන ලැයිස්තු බලයවත් අවශ්‍ය නෑ නජිත්. ඉතිහාසය, ඉතිහාසයෙ සහ වර්තමානයේ අපේ සමාජ කාර්‍ය මහජනතාව අනාගතයෙදි තීරණය කරාවි. ඒක මේ දේශපාලන බලයට මුවා වෙලා චන්ඩිපාට් දානවට වඩා අමාරු වගවීමක්. ඒවයෙ අමාරුම කාලවල වන්ඳි මගෙ ගුරුවරුන් මගෙ දෙමාපියන් සහ මම ඕන තරම් ගෙව්ව.