කසුන් පුස්සෙවෙල.
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ, ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය කිරීමට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල 2018 මාර්තු 15 වැනිදා තෙක් යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය 2018 මාර්තු 2 වෙනිදා නියෝග කළේය. මෙකී විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා එවකදී ගල්කිස්ස දිසාව බාරව කටයුතු කළ අතර, ලසන්ත වික්රමතුංග ඝාතනයට අදාළව ගල්කිස්ස පොලීසියේ බල අපරාධ සටහන් පොතේ පිටු ගලවා ඉවත් කිරීම, ඒවා අස්ථානගත කිරීම සහ ලසන්තගේ ක්ෂේත්ර සටහන් පොතේ පිටු ඉවත් කිරීම යන චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ඔහුව අත්අඩංගුවට ගත්තේ 2018 පෙබරවාරි 14 වැනිදාය. පොලීසියේ ජ්යෙෂ්ඨතම නිලධාරියෙකු ලෙස අපරාධයක සාක්ෂි විනාශ කිරීම බරපතළ වරදක් බවත්, මෙවැනි ඉහළ නිලධාරියෙකුගෙන් තබා එවැන්නක් සාමාන්ය සිවිල් පුරවැසියෙකුගෙන් හෝ බලාපොරොත්තු නොවිය හැක්කක් බව ගල්කිස්ස ප්රධාන මහේස්ත්රාත්වරයා දැඩිව කියා සිටින ලදී.
තිස්සසිරි සහ හේමන්ත
ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාලව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් ජනවාරි 31 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණීමට දැන්වීමෙන් පසුව ඔහුගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබෙන අතර දහවල් විවේකයෙන් පසුව ඔහු පැනගොස් ඇත. තිස්සසිරි සුගතපාල එදිනම ඔහුගේ කළුතර නිවසේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත. එවක ගල්කිස්ස බාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි හේමන්ත අධිකාරීද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්රකාශයක් ලබා දී ඇති අතර, ඉකුත් පෙබරවාරි 21 වෙනිදා ඔහු ලසන්ත පරීක්ෂණයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධව මහේස්ත්රාත්වරයා ඉදිරියේ රහස් ප්රකාශයක් ලබාදෙන ලදී.
ජයන්ත සහ වාකිෂ්ඨ
අත්අඩංගුවට ගැනුණු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා හෙළිකර ඇති තොරතුරු අනුව එවක සිටි පොලිස්පති ජයන්ත වික්රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වන ලදී. එහිදී හිටපු පොලිස්පතිවරයා විසින් තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස අතුරු තහනම් නියෝගයක් පෙබරවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව පෙබරවාරි 28 වැනිදා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින්, ඔහුව අත්අඩංගුවට ගැනීම තාවකාලිකව වළකන ලදී. එමෙන්ම අත්අඩංගුවේ සිටින ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදී ඇති සාක්ෂි අනුව තමන් එම සටහන් පොත්වල පිටු ඉවත්කර ලබා දුන්ෙන් තිබුණේ එවකට රාජ්ය බුද්ධි ප්රධානියෙකු සහ ත්රස්ත විමර්ශන ඒකකයේ ප්රධානීව සිටි හිටපු නියෝජ්ය පොලිස්පති චන්ද්රා වාකිෂ්ඨට බව ප්රකාශ කර තිෙබ්. ඒ අනුව හිටපු නියෝජ්ය පොලිස්පති චන්ද්රා වාකිෂ්ඨව ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පසුගිය සතියේදී මාධ්ය වාර්තා කරන ලදී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු පහදමින් සඳහන් කර තිබුණේ මේවන විට ලසන්ත ඝාතනයට අදාලව 950කගෙන් සාක්ෂි ලබාගෙන ඇති බවත්, ඉන් 295ක පිරිස යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත්ය.
ගෝඨාභයගෙන් පැහැදිලි කිරීම්
මෙකී අත්අඩංගුවට ගැනීම් සහ රහස් ප්රකාශවලින් පසුව ඉකුත් සතියේදී හිටපු ආරක්ෂක ලේකම් පුවත්පත් ගණනාවක් සහ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම් හරහා ලසන්ත ඝාතනය ගැන පැහැදිලි කිරීම් කීපයක් පළකර තිබේ. ඒවායෙහි සඳහන් වන්නේ ලසන්ත ඝාතනය සම්බන්ධව තමන්ට චෝදනා එල්ල කිරීමට වත්මන් රජය ක්රියා කරමින් ඉන්නා බවත්, එවකදි යුද හමුදා බුද්ධි අංශ සරත් ෆොන්සේකාගේ අනු දැනුමෙන් ක්රියාත්මක වූ බවත්ය. එමෙන්ම ලසන්ත ඝාතනය වෙනුවෙන් එවකදී පාර්ලිමේන්තුව තුළදී අගමැති රනිල් වික්රමසිංහ විසින් සරත් ෆොන්සේකාට ඍජුව චෝදනා කළ බවද, ඒ අනුවම හිටපු කතා නායක ජෝෂප් මයිකල් පෙරේරාද චෝදනා කළ බව එම නිවේදනවල සඳහන් කර තිබේ. මිග් යානා ගණුදෙනුවට අදාලව ලසන්ත වික්රමතුංග සන්ඩේ ලීඩර් පුවත්පතේ කළ හෙළිකිරීම් සාවද්ය ඒවා වූ බැවින් තමන් එදා ඊට එරෙහිව නඩු මඟට ගොස් එම විරසකය ගෞරවාන්විතව බේරාගත් බවත්, සරත් ෆොන්සේකාට පොලීසිය බාරදීම නරියාට කුකුල්ලු බාර දීමක් බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. ලසන්ත ඝාතනයට අදාළව සාක්ෂි වසන් කිරීෙම් ෙචා්දනාවට සැකකරුවන් විශාල ප්රමාණයක් අත්අඩංගුවට ගැනීමත් සමඟ හිටපු අාරක්ෂක ෙල්කම්වරයා බියට පත්ව ඇති නිසා ෙම ෙලස ප්රකාශ නිකුත් කරමින් සිටින බව ඊට ප්රතිචාර දක්වමින් විවිධ මාධ්ය නොයෙක් මත ඉදිරිපත් කරමින් සිටී.
ලසන්ත ඝාතනය
2009 ජනවාරි 8 වෙනිදා උදෑසන 8.20 ට පමණ පූර්වාරාම පාරේ කන්දෙවත්ත ටෙරස්හි පිහිටි තම නිවසෙන් පිටත්ව තිබේ. ලසන්තට අයත් බත්තරමුල්ලේ නිවසේ සේවකයෙකු අසනීප බැවින් පළමුව එහි ගොස් බිරිඳ සමඟ සේවකයාට බෙහෙත් රැගෙන දී තිබේ. බෙහෙත් ලබා ගැනීමෙන් පසුව පැමිණීමේදී යතුරු පැදි දෙකක් තම මෝටර් රථය පසුපස එන බව දැක ලසන්ත ගේට්ටුව ඇතුළට රථය පැදවීමට කටයුතු කර තිබේ. යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකර ගොස් ඇති අතර, ඉන් ටික වේලාවකට පසුව ඔහු රත්මලානේ කටුකුරුන්දවත්ත පාරේ ලීඩර් කාර්යාලයට යෑමට පිටත්ව ඇත. ඊට පෙර ජපන් මිත්රත්ව පාරට ගොස් නීතිඥවරයෙකුද මුණගැසී තිබේ.ලසන්ත සිය මෝටර් රථයෙන් එමින් සිටියදී අවසන් වරට තම ජංගම දුරකථනයෙන් කතා කරමින් පැමිණ ඇත්තේ මලික් සමරවික්රම සහ අසාත් සාලි සමඟය. තම රථය පිටුපසින් මෝටර් බයිසිකල් දෙකක් ලුහුබඳින බව 10.21ට පමණ කතා කළ මලික් සමරවික්රමට ලසන්ත පවසා ඇති අතර එහිදී මලික් පවසා ඇත්තේ ඒවායෙහි අංක ලියා ගන්නා ලෙසත්, වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙසත්ය.
යතුරු පැදි අංක
ඒ අනුව ලසන්ත රථය පදවන අතරතුර තම සටහන් පොතෙහි එම අංක දෙක සටහන් කරගෙන ඇත.ලීඩර් කාර්යාලයට එමින් සිටි ලසන්ත ඝාතනය වන්නේ උදෑසන 10.30ට පමණ ගල්කිස්ස අත්තිඩියේ මලගල කනිෂ්ඨ විද්යාලය ඉදිරිපිට මහපාරේය. එම සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ. පාසල ඉදිරිපිට කහ ඉර අසල බස් රථයක් නතර කළ බවත්, ඒ අනුව වේගය අඩු වූ ලසන්තගේ මෝටර් රථය ඉදිරිපිට යතුරු පැදි දෙකක් හරස්කළ බවත්, තවත් යතුරු පැදි දෙකක් දෙපස නතරකර ඉන් බැසගත් පුද්ගලයෙකු කූරක් වැනි යමකින් ඇතුළත සිටි පුද්ගලයාට අනිනු දුටු බවත් එහිදී ප්රකාශ කර ඇත. හිස සහ මොළය ආශ්රිතව සිදු වූ තුවාල සමඟ ලසන්තව වෑන් රථයක් මඟින් කලුබෝවිල රෝහල වෙත, පාරේ ගමන් කළ පුද්ගලයන් කීපදෙනෙකු විසින් රැගෙන ගොස් තිබේ.
මෙම සිදුවීමට පෙර කන්දෙවත්ත ටෙරස්හි ලසන්තගේ නිවස අසල ඇති කඩය ආසන්නයේ පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියක් සමඟ සිටි බවත්, ලසන්ත නිවසින් පිටත්වනවාත් සමඟම ඔවුන් ලසන්ත පසුපස හඹා ගිය බවත් එහි සිටි ත්රීරෝද රථ රියැදුරෙකු කඩ හිමියාට පවසා තිබේ. ලසන්තගේ රියදුරු මද වේලාවකට පසුව කඩයට පැමිණ ඇති අතර සිදුවීම සැලවීමෙන් පසුව ඔහු ලීඩර් කාර්යාලයට ගොස් එහි කළමණාකරුවෙකු වෙත ඒ බව දන්වා ඇත. ඒ වනවිටත් ලසන්ත එහි නොපැමිණ තිබී ඇත.
මරණ පරීක්ෂණය
ලසන්තගේ ශල්යකර්මය වෙනුවෙන් මහාචාර්ය මොහාන් සිල්වා ප්රමුඛ වෛද්ය කණ්ඩායමක් එහි පැමිණ ශල්යකර්ම සිදුකළද, තුවාලවල ඇති බරපතළ තත්වය හේතුවෙන් එදින දහවල් ලසන්ත මිය ගියේය. ශල්යකර්මය සිදුකළ මහාචාර්ය වරයා සිය වාර්තාව පශ්චාත් මරණ පරීක්ෂකට ලබාදෙමින් 2009 ජනවාරි 12 වැනිදා ප්රකාශ කර ඇත්තේ ලසන්ත ඝාතනය වෙඩි තැබීමකින් සිදු නොවූ බවත්, ශරීරයේ උන්ඩ කොටස් හෝ වෙඩි උන්ඩ පිට වූ ස්ථානයක් ද හමු නොවූ බවයි. එවක රජයේ රස පරීක්ෂකවරයාද සිය වාර්තාව ලබා දෙමින් ලසන්ත ඝාතනයට හේතුව වෙඩි තැබීමක් නොවන බව වාර්තා කර ඇත. යමකින් අනිනු ඇසින් දුටු සාක්ෂි තිබියදී සහ මහාචාර්යවරයා ඇතුළු රස පරීක්ෂක වාර්තාව එලෙස තිබියදී ලසන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී තිබී ඇත්තේ එය වෙඩි තැබීමකින් සිදුවූවක් බවටය. එවකට එම පරස්පර විරෝධී පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී තිබුණේ වර්තමාන සයිටම් ආයතනයේ අධිකරණ වෛද්ය විද්යාව පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ලෙස කටයුතු කරන වෛද්ය සුනිල් කුමාර විසිනි. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර කියා සිටියේ එලෙස වෙනස් කරන ලද වාර්තාවක් ලබාදීමට මූලික හේතුව වූයේ අදාල වෛද්යවරයාට ඉහළින් කළ බලපෑම් හේතුවෙන් බවය.
‘බෝල්ට් අවිය’
ඉන් වසර හය හමාරකට පමණ පසුව එනම් 2016 සැප්තැම්බර් 27 වැනිදා උදෑසන 8.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමකට අනුව ලසන්ත වික්රමතුංගගේ සිරුර කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් මිහාල් ඉදිරියේ ගොඩගන්නා ලදී. 2017 මාර්තු 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරමින් කොළඹ දිස්ත්රික් අධිකරණ වෛද්ය අජිත් තෙන්නකෝන්, කොළඹ විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ජීන් පෙරේරා සහ මහනුවර විශේෂඥ වෛද්ය ශිව සුබ්රමනියම් විසින් සම්පාදිත වාර්තාව ඉදිරිපත් කරන ලදී. එහිදී කියැවුණේ ඝාතකයන් ලසන්තට වෙඩි තබා නොමැති බවත්, විදේශයන්හි ගොවිපලවල බැටලුවන් හා ගවයන් ඝාතනය කිරීමට යොදාගන්නා ‘ බෝල්ට්අවියකින් ( සතුන්ගේ හිසට තබා තද කළ විට හිස තුළට ගොස් නැවත පැමිණෙන යකඩ උලක් සහිත අවියක්) කළ පහරදීමක් හේතුවෙන් හිසට සහ මොළයට සිදු වූ මරණීය තුවාල හේතුවෙන් ඝාතනය වී ඇති බවය.
පරීක්ෂණ ආරම්භය
2009 ජනවාරි 8 සිදු වූ ඝාතනය වෙනුවෙන් පළමුව පරීක්ෂණ ආරම්භ කර තිබුණේ ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අධීක්ෂණය යටතේය. ඒ අනුව මේ වනවිට අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල විසින් පරීක්ෂණ පළමුව ආරම්භ කර තිබේ. ලසන්ත ඝාතනය වී තිබූ ස්ථානයට ගොස් සාක්ෂි සටහන් කරගෙන තිබූ අතර පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ ද එයට සහාය වී තිබේ. ලසන්තගේ රථයේ තිබූ ඔහුගේ ක්ෂේත්ර සටහන් පොත ඇතුළු දේපළ වීරසිංහ විසින් පොලිස් කුවිතාන්සි පිටු අංක 101/09 යටතේ ඇතුළත් කර තිබී ඇත. ලසන්තගේ සටහන් පොතේ පිටු 160කින් පිටු 126ක යම් යම් දේ ඉංග්රීසි භාෂාවෙන් ලියා තිබී ඇති අතර, එම සටහන් පොතේ ඉදිරිපස සහ පිටුපස පිටුවල වාහන අංක දෙකක් සටහන් කර තිබී ඇත. එම සටහන් පොත පොලිස් නඩු භාන්ඩ පොතේ කුවිතාන්සි අංක 154/09 යටතේ තිස්සසිරි සුගතපාල විසින් නඩු භාන්ඩයක් ලෙස ඇතුළත් කර තිබී ඇත. අදාල අංක දෙක පිළිබඳව ලසන්තගේ පවුලේ ඥාතීන් ප්රකාශ කළ කරුණු අනුව ඒවා යතුරු පැදි අංක බවට සැක කළ සුගතපාල ඒ පිළිබඳව පොලිස් බල අපරාධ සටහන් පොතේ ඒ බව සඳහන් කර ඇත. ඒ ඔස්සේ පරීක්ෂණ කිරීමේදි ඉන් එක් යතුරු පැදියක් ජා ඇල සහ අනෙක බොරලැස්ගමුවේ බව අනාවරණය වී තිබේ.
සාක්ෂි විනාශ කිරීම
බොරලැස්ගමුවේ යතුරු පැදිය සෙවීමට යෑමේදී සුගතපාලට දුරකථනයෙන් අමතා ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී පවසා ඇත්තේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රසන්න නානයක්කාර හමුවීමට දැන්වූ බවත් එහි යෑමට තමන් සමඟ පැමිණෙන ලෙසත්ය. ඒ අනුව ඔවුන් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා හමු වී ඇති අතර, එහිදී ලසන්තගේ සටහන් පොත පරීක්ෂා කර තිබේ. එහි තිබූ සටහන් හා එවකදී ලීඩර් පුවත්පත මඟින් අනාවරණය කළ ආන්දෝලනාත්මක හෙළි කිරීමකට අදාල නඩුවක තොරතුරු දුරකථනය මගින් එවක පොලිස්පති ජයන්ත වික්රමරත්නට දන්වා ඇති අතර, ලසන්තගේ සටහන් පොත තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. එහිදී සුගතපාල විසින් එම සටහන් පොත හමුවීම පිළිබඳව ගල්කිස්ස පොලිස් බල අපරාධ පොතේ සටහන් කර ඇති බව දන්වා ඇත. එහිදී නියෝජ්ය පොලිස්පතිවරයා ප්රකාශ කර ඇත්තේ එහි පිටු ඉරා තමන් වෙත ලබාදෙන ලෙසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් හෙළිකරගත් මෙම කරුණු බී/ 92/01/08 යටතේ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලදී.
සන්ඩේ ලීඩර් කර්තෘ, ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග, 2008 ජනවාරි 8 වැනිදා අත්තිඩිය මලගල විද්යාලය ඉදිරිපිටදී ඝාතනය වීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසිනි. එම මූලික සාක්ෂි ලබා ගැනීම් පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අධීක්ෂණය කර ඇත. ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල විසින් ලසන්තගේ ක්ෂේත්ර සටහන් පොත සහ නඩු භාණ්ඩ වශයෙන් සොයා ගත් දෑ බල අපරාධ සටහන් පොතේ සටහන් කරනු ලැබ ඇති අතර, එම පිටු ගලවා ඉවත් කරන ලෙස එවක ගල්කිස්ස ප්රදේශය බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රසන්න නානායක්කාර පවසා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා තිබේ. ලසන්තට සිදු වූ දෙයම තමන්ටත් විය හැකි බවත්, තමන්ගේ දුවා දරුවන් පිළිබඳව සිතා එම සටහන් පොත් තමන්ට ලබාදෙන ලෙසත් නියෝජ්ය පොලිස්පතිවරයා ප්රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ සාක්ෂි ලබාදෙමින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්රකාශ කර තිබේ. පසුව එම පිටු ගලවා දැමූ බවත්, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල විසින් ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් අධිකාරී ඉදිරියේදී නියෝජ්ය පොලිස්පතිවරයාට එම සටහන් පොත් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්රකාශ කළ බව එම දෙපාර්තුමේන්තුව බී 92/2009 යටතේ පවතින නඩු විභාගයේදී ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කර ඇත්තේ 2009 ජනවාරි 16 වැනිදායින් පසුව ලසන්තගේ ක්ෂේත්ර සටහන් පොත ගල්කිස්ස පොලීසිය තුළ නොතිබී ඇති බවයි.
පරීක්ෂණ සීඅයිඩීයට
ගල්කිස්ස පොලීසිය විසින් ඉන්පසුව ලසන්ත ඝාතන පරීක්ෂණ මන්දගාමීව කරගෙන ගොස් ඇති අතර, එවක රජයට පැමිණි බලපෑම් හමුවේ 2009 නොවැම්බර් 25 වැනිදා එම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පවරා තිබේ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට එම පරීක්ෂණ දීර්ඝව සිදු කිරීමට අභිනවයෙන් පත් වූ එවක පොලිස්පති මහින්ද බාලසූරිය ඉඩ ලබා නොදී ඇති අතර, 2010 පෙබරවාරි 7 වැනිදා එම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කර ත්රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්ය පොලිස්පති චන්ද්රා වාකිෂ්ඨ යටතට පවරා තිබේ. ඒ අනුව එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සොයාගන්නා ලද කරුණුද උපයෝගී කරගනිමින් පරීක්ෂණ ත්රස්ත විමර්ශන ඒකකයේ ප්රසන්න අල්විස් ප්රමුඛ කන්ඩායමක් පරීක්ෂණ පවත්වා තිබේ. ඒ අනුව ලසන්ත ඝාතනයට අදාළව ලසන්ත පසුපස නිතර සංසරණය වූ දුරකථන දත්ත පරීක්ෂා කර සැකකටයුතු දුරකථන අංක 5ක් විමර්ශන අංශය විසින් සොයාගෙන තිබී ඇත.
2008 නොවැම්බර් 12 සහ 13 යන දිනයන්වලදී අදාළ දුරකථන අංක කොළඹ ඕල්කට් මාවතේ ස්ථානයකින් මිලදීගෙන තිබී ඇත. 811,812, 831, 861, සහ 951 යන අංකවලින් අවසන්වන එම අංක 5 මිලදීගෙන තිබුණේ නුවරඑළියේ පදිංචි පිචෛ ජේසුදාසන් නැමැති දෙමළ ජාතික පුද්ගලයෙකුට අයත් හැඳුනුම්පතකට බව එහිදී අනාවරණය වී ඇත. ඒ අනුව ත්රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 වැනිදා ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කර තිබී ඇත.
නුවරඑළිය ප්රදේශයේම ගරාජයක සාමාන්ය සේවකයෙකු වූ ඔහු ප්රකාශ කර ඇත්තේ ඊට පෙර දිනකදී පියවංශ නැමැති හිතවත් යුද හමුදා නිලධාරියෙකු විසින් තමන්ට අරක්කු බීමට දී හැඳුනුම්පත රැගෙන ගොස් ඇති බවයි.
පියවංශ අත්අඩංගුවට
ජේසුදාසන්ගේ ප්රකාශය මත ත්රස්ත විමර්ශන ඒකකය විසින් ට්රිපෝලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ලද බුද්ධි අංශ සාමාජික කෝප්රල් කන්දෙගෙදර පියවංශ අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවුම් නියෝගමත රඳවා තබා තිබී ඇත. ජේසුදාසන්ගේ හැඳුනුම්පතට වංචාකාරී ලෙස ලසන්ත ඝාතනයට සැක කළ දුරකථන අංක මිලදීගෙන තිබී ඇතත්, ජේසුදාසන් අත්අඩංගුවෙන් නිදහස් කර නොමැත. පසුව සිරමැදිරිය තුළම ඔහු මියගොස් සිට ඇත. කෝප්රල් කන්දෙගෙදර පියවංශ පසුව නීතිපති උපදෙස්මත නිදහස් වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වර්තමානයේදී අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා තිබුණේ ඔහුව අත්අඩංගුවට ගෙන සිටි වකවානුවේදී රජයෙන් ඔහුට උත්සව දීමනා ඇතුළු වැටුප් ලබාදීමට කටයුතු කර තිබී ඇති බවයි.
17ක් අත්අඩංගුවට
2010 ජනවාරි 26 වැනිදා මෙරට 6වන ජනාධිපතිවරණය අවසන් වීමෙන් මසකට පසුව ලසන්ත ඝාතනයට සැකපිට පෙබරවාරි 26 වැනිදා කොහුවල යුද හමුදා කඳවුරේ සෙබළුන් 11 දෙනෙකුද, 26 වැනිදා තවත් 6දෙනෙකුද අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සියලුම සෙබළුන් එවක යුද හමුදාපති සහ ජනාධිපති අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාගේ ආරක්ෂක ආවේශන කටයුතු බාරව සිටි නිලධාරීන්ය. එහිදී ඔවුන්ව රජය පෙරළා දැමීමට කුමන්ත්රණ කිරීම යන චෝදනාව යටතේ රැඳවුම් නියෝග ලබාගෙන දින 6කට පසුව ඉන් 9දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඉතිරි 8දෙනා දින 11කට පසුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ. හදිසි නීතිය යටතේ පොලිස් ඇප මත එසේ නිදහස් කළ නොහැකි වුවත් කිසිඳු පැහැදිලි කරුණු දැක්වීමකින් තොරව ඔවුන් නිදහස් කර ඇති බව අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්රකාශ කර තිබේ. සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ මේජර් ආනන්ද ප්රමුඛ එම ආවේශන කණ්ඩායම ලසන්ත ඝාතනය වෙනුවෙන් සැක බව ප්රකාශ කරමින් අත්අඩංගුවට ගැනීම මඟින් සරත් ෆොන්සේකා වෙත එම චෝදනාව එල්ල කිරීම සඳහා ගත් උත්සාහයක් බවට පෙනී යන බව වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්රකාශ කර ඇති බවත් පසුගිය සතියේදී මාධ්ය වාර්තා කරන ලදී. මෙවැනි එකිනෙකට පරස්පර විමර්ශන හා මන්දගාමී පරීක්ෂණ වසර 7ක් පුරා ක්රියාත්මක වී තිබූ අතර, ලසන්ත ඝාතනය වෙනුවෙන් සාධාරණ සැකයන් සහිත කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමක් එතෙක් සිදු නොවිණි.
නැවත පරීක්ෂණ සීඅයිඩීයට
2015 ජනවාරි 8ට ලසන්ත ඝාතනය වී වසර 6ක් ගතවන තැන යහපාලන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්විය. මැතිවරණ වේදිකා තුළ මෙම පාලකයන් ලසන්ත ඝාතනය පිළිබඳව විවිධ මත හා චෝදනා එල්ල කරමින් පරීක්ෂණ නැවත ආරම්භ කරන බවට ප්රතිඥා දෙන ලදී. ඒ අනුව නව රජයට ආ බලපෑම් මත 2015 පෙබරවාරි 25 වැනිදා නැවතත් ලසන්ත ඝාතන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පවරන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී. එස් තිසේරාගේ අධීක්ෂණයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරන ලදී. එහිදී 2009 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්රස්ත විමර්ශන අංශය කරන ලද පරීක්ෂණ නැවත සලකා බලා තිබේ. ලසන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල තිබූ පරස්පරතා හේතුවෙන් 2016 සැප්තැම්බර් 27 වැනිදා සිරුර ගොඩගත් අතර අධිකරණ වෛද්ය මණ්ඩලය 2017 මාර්තු 20 වැනිදා අධිකරණයට වාර්තා කළේ ලසන්ත ඝාතනය වී ඇත්තේ වෙඩි තැබීමකින් නොව උල් ආයුධයකින් කරන ලද පහරදීමක් අනුව හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් බවය. එම අවිය විදේශයන්හි ගවයන් හා බැටලුවන් මැරීමට යොදා ගන්නක් බව කියැවුණද එය මෙරට නිර්මාණය කරන ලද්දක්දැයි මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සැක මතුව ඇති බවද මාධ්ය වාර්තා කර තිබේ.
දුරකථන පරීක්ෂණ
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඩයලොග් ආයතනයෙන් අදාළ සැක සහිත දුරකථන කුලුනු වාර්තා ඉල්ලා තිබුණ්ද එම ඉල්ලීම් දිගින් දිගටම මඟ හැර තිබී ඇත. විදුලි සංදේශ නියාමන පනත අනුව වසර 11 යනතුරු අදාළ දත්ත ලබාදීමට සමාගම් බැඳී සිටිය යුතු වුවද එලෙස මඟහැර තිබී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දිගින් දිගටම කරන ලද ඉල්ලීම් හා අධිකරණය නියෝග මත එම සැකකටයුතු දුරකථන වාර්තා ලබා දී තිබේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පෙනී ගොස් ඇත්තේ එම අංක 5 උදෑසන කාලයේදී ගම්පහ ඉඹුල්ගොඩ ආදී ප්රදේශවලත්, සවස් කාලයේදී ලසන්තගේ නිවස හා කාර්යාලය අවට ප්රදේශවලත් සැරිසරා කොළඹ ට්රිපෝලි යුද හමුදා කඳවුරු ප්රදේශයෙන් අවසන්ව ඇති බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ලසන්ත ඝාතනය වූ කාලවකවානුවල සිදු වූ පැහැර ගැනීම් හා ඝාතනයන් පිළිබඳව සොයා තිබේ.
කීත් නොයාර් පැහැරගැනීම
2008 මැයි 22 වැනිදා රාතියේදී නේෂන් පුවත්පතේ නියෝජ්ය කර්තෘව සිටි කීත් නොයාර් අංක PC – 2023 දරන මෝටර් රථයෙන් 52, වෛද්ය පාර දෙහිවල ස්ථානයේ පිහිටි සිය නිවසට ගොස් තිබුණේ රිවිර මීඩියා ආයතනයේ ප්රධාන විධායක නිලධාරියාව සිටි ක්රිෂාන්ත කුරේ සහ නේෂන් පුවත්පතේ එවක සිටි කර්තෘ ලලිත් අලහකෝන් සමග ඩුප්ලිකේශන් පාරේ අවන්හලකින් රාත්රී ආහර ගැනීමෙන් පසුවය. රාත්රී 9.30ත් 10ත් අතරදී තම නිවසේ ගේට්ටුව ආසන්නයට පැමිණීමත් සමග සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් කීත්ව පැහැරගෙන ගොස් තිබූ අතර එම තොරතුර සැලවීමත් සමග ලලිත් අලහකෝන් හිටපු ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතා කර තිබේ. එවෙලෙහි ඔහු දුරකථනයට ප්රතිචාර නොදක්වා ඇති අතර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අංකය වන 0773501626ට අමතා තමන් ලලිත් අලහකෝන් බවත්, නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගොස් තිබෙන බවත්, එම පැහැරගැනීම සිදුකර ඇත්තේ යුද හමුදාවේ පිරිසක් බවත් ප්රකාශ කර තිබේ. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ‘ඕකට හමුදාවට ඇඟිල්ල දික්කරන්න එපා. ඕක ගෑනු කේස් එකක්’ යනුවෙන් පවසා ඇති බව එම පරීක්ෂණය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා ඇත. පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් අමතා ‘එම ස්ථානයට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂක එනු ඇති බව, ප්රකාශ කර තිබේ.
ක්රිෂාන්ත කුරේ විසින් ඒ වන විට වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර තිබී ඇති අතර, කීත්ගේ 0773688908 දරන දුරකථනය දොම්පේ – දෙකටන ප්රදේශයේ ක්රියාත්මකවන බව ඩයලොග් ආයතනයේ ඇති සම්බන්ධතා මගින් තහවුරු කරගෙන තිබී ඇත. එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂව සිටි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක එම මොහොතේ කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන්ගෙන් විස්තර විමසා ඇති අතර, එහිදී අනුර සේනානායක පවසා ඇත්තේ ‘ කීත පැය දෙකක් තුළ ආපසු එනු ඇති බවත්, තමන් ඔහුව සෙවීම සඳහා කණ්ඩායමක් යොදවා ඇති බවයි. මේ අතර ක්රිෂාන්ත කුරේ සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ සමග දොම්පේ ප්රදේශය බලා ගොස් ඇත. මැයි 23 වැනිදා පාන්දර 4ට පමණ නැවත කීත් නොයාර් තම නිවසට පැමිණ තිබූ අතර ඔහුව පැහැරගත්තේ කවුද, කුමක් සඳහාද යන්න තහවුරු නොවේ.
දුරකථන අංක වාර්තාව
කීත්ගේ පැහැරගැනීම පිළිබඳව සිදු කෙරුණු පරීක්ෂණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දුරකථන වාර්තා විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අධිකරණයේදී අනාවරණය වූයේ ලලිත් අලහකෝන් විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුරකතනයෙන් අමතා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ අංක 0773501626 දරන දුරකතනයෙන් එවක පොලිස්පති ජයන්ත වික්රමරත්න භාවිතෙ කළ 0773263650 අංක දරන දුරකතනයට රාත්රී 11.36ට ඇමතුමක් ලබාගෙන ඇති බවත්, ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයාගේ අංකයෙන් රාත්රී 11.39ට ජාතික බුද්ධි ප්රධානී ලෙස කටයුතු කළ විශ්රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිත කළ 0777562873 අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇති බවයි.
ඒ අතර පොලිස්පති ජයන්ත වික්රමරත්න විසින් එවක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක 0112867826 දරන දුරකතනයට රාත්රී 11.51ට අමතා තිබෙන බව අධිකරණයට වාර්තා කර ඇත. ඉන්පසුව ජාතික බුද්ධි ප්රධානී විසින් රාත්රී 11.41ට එවකට යුද හමුදා බුද්ධි අධ්යක්ෂව සිටි එවකට බ්රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති 0773613496 අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත. ඉන් පසුව යුද හමුදා බුද්ධි අධ්යක්ෂ අමල් කරුණාසේකර විසින් ට්රිපෝලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ 0773501951 දරන දුරකතනයට රාත්රී 11.47ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වන විට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප්රදේශයේ තිබී ඇති අතර, ට්රිපෝලි කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප්රදේශයේ තිබී ඇත. බුද්ධි අධ්යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකතනයෙන් ට්රිපෝලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ 0773186436 අංක දරන දුරකතනයට රාත්රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වනවිට මේජර් බුලත්වත්තගේ දුරකතනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප්රදේශයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ ප්රකාශ කළේ නේෂන් පුවත්පතේ සෙන්පති නමින් ආරක්ෂක කොලම ලියූ කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන තිබුණේ ගම්පහ මල්වානේ දෙකටන ප්රදේශයේ බවයි. ඒ අනුව එවකදී මේජර් බුලත්වත්තගේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබුණද පසුව මුදා හැරිණි.
ලසන්ත ඝාතනයට අදාළ පරීක්ෂණ වසර 7ක් පුරා ගල්කිස්ස පොලීසියෙන් හෝ ත්රස්ත විමර්ශන ඒකකයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් නිසියාකාරව සිදු නොවුණි. විටින් විට විවිධ ආයතන වෙත පරීක්ෂණ මාරුද කෙරුණි. අපරාධ පරීක්ෂකයින් ඉල්ලීම් කළද දුරකථන සංනිවේදන ආයතන දුරකථන කුලුනු තොරතුරු ලබා දීමද, ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කරන ලද ලිපි ලේඛන තොරතුරු ලබා දීමද දිගින් දිගටම ප්රමාද කර ඇත. මෙවන් වටපිටාවක නව රජය විසින් දේශපාලන වේදිකා තුළ ලසන්ත ගැන දුන් මූලික ජන්ද පොරොන්දුවක් ඉටු කරන බව පෙන්වමින් නැවත අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට ඝාතන පරීක්ෂණය සක්රීය කරන ලෙස නියෝග ලබා දී තිබිණි. ඒ, 2015 පෙබරවාරි 26 වැනිදාය. ඒ අනුව ගත වූ වසර තුනක කාලය ගෙවුණේ ලසන්ත ඝාතනය පිළිබඳව මෙතෙක් හෙළි වුණු කරුණු නැවත සලකා බලමින් හා ගැටලුසහගත කරුණු නැවත අධිකරණය ඉදිරියේ තහවුරු කරමිනි. ලසන්ත ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටිති.
උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්රහාරය
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ලසන්ත ඝාතනය සෙවීමේ අරමුණින් නේෂන් පුවත්පතේ නියෝජ්ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන යෑම හා රිවිර පුවත්පතේ පුධාන කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම පිළිබඳව නැවත පරීක්ෂා කර තිබේ. එහිදී ලසන්ත ඝාතනයට අදාළ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව එකම කල්ලියක් කීත් නොයාර් පැහැරගැනීමටත්, ගම්පහ ඉඹුල්ගොඩදී උපාලි තෙන්නකෝන්ට පහර දීමටත්, ලසන්ත ඝාතනයටත් පැමිණ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ වාර්තා කර තිබේ. කීත් පැහැර ගැනෙන්නේ 2008 මැයි 22 වැනිදාය. ලසන්ත ඝාතනය වන්නේ 2009 ජනවාරි 8 වැනිදාය. බිරිඳ සමග සිය රථයෙන් යමින් සිටියදී ඉඹුල්ගොඩදී උපාලි තෙන්නකෝන්ට පහර දෙන්නේ 2009 ජනවාරි 29 වැනිය. උපාලි තෙන්නකෝන් එහිදී දිවි ගලවා ගන්නේ ඔහුගේ බිරිඳගේ මැදිහත් වීමෙනි. නන්නාඳුනනන පිරිස පැමිණ තිබුණේ උපාලි පැහැර ගැනීමට හෝ ඝාතනය කිරීමටය. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ උපාලි තෙන්නකෝන් පැහැරගැනීමය. එහෙත් ඔවුන්ගේ උත්සාහය ව්යර්ථ විය. එනිසා සිදු වූයේ ඔවුන් ඔහුට මොට ආයුධයකින් පහර දීමය. එහිදී ප්රහාරය ඔහුගේ නාසයට වැදී තිබුණේ හිසට එල්ල වූ පහර වැරදී යෑමෙනි. ඔහුගේ බිරිඳද එයින් තුවාල ලබා තිබේ.
තම ජීවිතවලට එල්ල වූ තර්ජන හේතුවෙන් කීත් සේම උපාලිද සිය පවුල සමග විදේශගතව ජීවත් වේ. උපාලිට පහර දීම සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව ලසන්ත ඝාතනයට පැමිණි බවට සැක කරන මැරයින්ගේ දුරකථන අංක කීත්ව පැහැරගැනීමටත්, ලසන්ත ඝාතනය කිරීමටත්, උපාලිට එල්ල කරන ලද ප්රහාරයටත් සම්බන්ධ බවට අධිකරණය හමුවේ කරුණු දක්වන ලදි. ලසන්ත ඝාතන පරීක්ෂණ සිදු කිරීමේදී එම දුරකථන අංක 2009 ජනවාරි 1,5,6 සහ 7 යන දිනයන්හි උදෑසන වරුවේ ගම්පහ ඉඹුල්ගොඩ ප්රදේශයේ සහ සවස්වරුවේ කොළඹ හා රත්මලාන ආශ්රිතව සැරිසරා තිබේ.
ට්රිපෝලි කඳවුරේ සැකය
කීත් පැහැරගෙන යෑමට සහ උපාලිට පහරදීමට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේජර් බුලත්වත්ත සහ තවත් බුද්ධි අංශ නිලධාරින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත කර පසුව මුදාහරින ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව එම සිදුවීම් සම්බන්ධව කරන ලද විමර්ශන අනුව කීත් නොයාර් රඳවාගෙන සිටි බවට සැක කෙරෙන ස්ථානය සෙවීමේදීද තවත් කරුණු හෙළි වී ඇත. පාලුගම දොම්පේ, අංක 152 දරන ස්ථානයේ පිහිටි ලංසියාවත්ත නැමැති නිවස 2007 වසරේ අවසන් කාලයේ සිට 2008 මුල් කාලය දක්වා යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් පිරිසක් බදු ගෙන සිට ඇත. මේජර් බුලත්වත්තගේ හෙවත් බුලත්වත්තේ වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිගේ ප්රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්තගේ ඇතුළු ට්රිපෝලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති යුද හමුදා නිලධාරීන් වන පෝරුවල විදානගේ ධර්මසේන, ගල්ලෙන වන්නිගේ ජයන්ත හා ගල්බිඳින ඇල්ලේ ගෙදර ප්රියන්ත, කුමාර සෝමසූරිය යන. පිරිස එම නිවසේ සිට ඇත. එම නිවසේ බදු කාල සීමාවෙන් පසුව දොම්පේ ඉද්දමල්දෙණියේ පිහිටි බදුවත්ත වලව්ව නැමති ස්ථානය බදුගෙන 2008.03.14 සිට 2009. 03. 14 දක්වා රැඳී සිට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කරන ලද විමර්ශන අනුව එම නිලධාරීන් කුමක් සඳහා එලෙස එහි රැඳී සිටියේද යන්න ප්රකාශ කිරීමට අපොහොසත්ව ඇති අතර, ඔවුන් කඳවුරුවලින් බැහැර යන විට සටහන් තැබිය යුතු වුවද ලේඛන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ කිසිදු සටහනක් නොතබා ඔවුන් ට්රිපෝලි කඳවුරෙන් බැහැරව ගොස් ඇති බවය. කීත් පැහැරගත් 2008 මැයි 22 වැනිදා යූ.ඩී. වීරරත්න හා එච්.ඒ.එච්. පෙරේරා ඇතුළු බුද්ධි නිලධාරීන් ට්රිපෝලි කඳවුරෙන් පිටට ගොස් ඇත්තේ එලෙසය.
මේජර් බුලත්වත්තගේ දුරකථන වාර්තා පිරික්සීමේදී එදින ඔහු රැඳී සිටි ප්රදේශවලම ඔවුන් සිට ඇති බව විමර්ශන නිලධාරීන් සනාථ කරගෙන තිබේ. එසේ රැඳී සිටීමට හේතුව විමසා තිබුණද ඊට පිළිතුරු සැපයීමට ඔවුන් අපොහොසත්ව තිබේ. ඔවුන් කීත් නොයාර් පැහැරගෙන ගිය දින සවස 6ට පමණ කඳවුරෙන් පිටත් වී එදිනම රාත්රී 10.45 පමණ වන විට නැවතත් කඳවුරට පැමිණ ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔවුන් ගමන් කළ මාර්ගය දුරකථන කුලුනු මගින් විමර්ශනය කර තිබේ. ඔවුන් කොළඹ විශ්වවිද්යාලය, බොරැල්ල ජයරත්න මල් ශාලාව අවට ප්රදේශය, ක්වීන්ස් කැෆේ අවට ප්රදේශය, වැල්ලවත්ත අවට ප්රදේශය, දෙහිවල හා කොහුවල හරහා ගමන් කර අවසන් වී ඇත්තේ ගම්පහ දෙකටන ප්රදේශයෙනි. ඊට මාස 6කට පසුව ඝාතනය වූ ලසන්ත සහ ඉන් දින 23කට පසුව පහර කෑ උපාලි පසුපස පැමිණ තිබුණේද මෙම පිරිසම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්රකාශ කරයි.
ඩයස් සහ බ්රයන්
මෙම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සොයාගෙන අධිකරණයට වාර්තා කර තිබූ අතර ලසන්තගේ රියැදුරු ඩයස් සම්බන්ධව තවත් කටයුතු කිහිපයක් ඒ අතරතුර සිදු කර තිබේ. ලසන්ත ඝාතනය වී වසර 9කට පසුව එම රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ගෙන්වා සටහන් ලබාගෙන තිබේ. එහිදී ඔහු ප්රකාශ කර ඇත්තේ ලසන්ත ඝාතනය වූ සමයේදී ගෝඨාභය රාජපක්ෂ සහ ලසන්ත අතර විරසයක් තිබූ බවත්, ඊට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළි කිරීම බව ප්රසිද්ධියේ ප්රකාශ කළ බවත්ය. ඒ හේතුවෙන් යම් පිරිසක් ඔහු සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් එසේ නොකියන ලෙස තමන්ට තර්ජනය කළ බවටත් ප්රකාශයක් ලබා දී තිබේ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහු ප්රකාශ කළ පෙනුම ඇති තමන්ව පැහැර ගැනීමට පැමිණි අයගේ ජායාරූප පොලිස් දෙපාර්තුමේන්තුවේ චිත්ර ශිල්පීන් විසින් අඳිනු ලැබ මාධ්යයේ පළ කර ඇත. ඉන් පසුව ලසන්තගේ උද්යාන පාලක ලෙස කටයුතු කළ බ්රයන් නැමැත්තෙකු ගෙන්වා ප්රකාශ සටහන් කර තිබේ. එහිදී ඔහු ප්රකාශ කර ඇත්තේ ලසන්ත ඝාතනය වීමට පෙරදී පුද්ගලයෙකු පැමිණ සීඩී තැටියක් ඇතුළු ලිපි ලේඛන කීපයක් ලසන්තගේ කාමරයට දමන ලෙස දැන්වූ බවයි. එහෙත් ඔහු එය ප්රතික්ෂේප කළ බව වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්රකාශ කර තිබේ. බ්රයන්ගේ විස්තර අනුව තවත් ජායාරූපයක් අැඳ 2016 පෙබරවාරි 17 මාධ්ය වෙත යොමු කර තිබේ.
ප්රේමනාත් උදලාගම
එලෙස මහජන ඔත්තු ලබා ගැනීමේ අරමුණෙන් මාධ්ය වෙත යොමු කරන ලද ජායාරූපයට ඔත්තු 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ලැබී තිබේ. එයින් එක් අයෙකු ඊට පෙර යුද හමුදාවේ සේවය කර තිබීම හේතුවෙන් සැක සිතී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ගෙන්වා තිබේ. එහිදී අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට හෙළි වී ඇත්තේ සාජන් මේජර්වරයෙකු වූ ප්රේමනාත් උදලාගම නැමැති එම පුද්ගලයා ඊට පෙර යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව ක්රියාකාරීව කටයුතු කර ඇති සාමාජිකයෙකු බවයි. එමෙන්ම මිලේනියම් සිටි නිවසක පවත්වාගෙන ගිය රහසිගත ඒකකයේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කළ පුද්ගලයෙකු බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. උදලාගම පිළිබඳව තිබූ සාධාරණ සැකය හේතුවෙන් උදලාගම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට උදලාගම යොමු කරන ලදි. එහිදී ලසන්තගේ රියැදුරු, උද්යාන පාලක සහ උපාලි තෙන්නකෝන් යන තිදෙනාම තමන්ට තර්ජනය කිරීමට සහ පහර දීමට පැමිණියේ ප්රේමනාත් උදලාගම බවට හඳුනාගෙන තිබේ. ලසන්ත ඝාතනයට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම යන නඩු විභාග දෙකේදීම ඔහු හඳුනාගත් නමුත්, ඔහුට පසුව අධිකරණයෙන් ඇප හිමි විය.
කැප්ටන් තිස්ස සහ ජයමාන්න
මේ අතර එවකදී මාධ්යයට නිකුත් කර තිබූ එම දළ ජායාරූපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියැදුරු ලෙස කටයුතු කළ, වසීම් තාජුඩීන් ඝාතනය සහ තවත් මූල්ය වංචා කීපයකට චෝදනා ලත් කැප්ටන් තිස්ස විමලසිරිගේ පෙනුමට සමාන බවට මාධ්ය විවිධ වාර්තා පළ කළේය. මේ අතර 2016 ඔක්තෝබර් 14 වැනිදා ලිපියක් ලියමින් තමන් විසින් ලසන්ත වික්රමතුංග ඝාතනය කළ බවත්, ලසන්තගේ රියදුරුට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින තම මිත්ර ප්රේමනාත් උදලාගම ඊට සම්බන්ධ නැති බවත් සඳහන් කර ලිපියක් ලියා විශ්රාමික යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ ඉලන්දරගේ ජයමාන්න ඔහුගේ නිවසේදී ගෙල වැලලාගෙන තිබිණි. එම නිලධාරියා සේවයෙන් විශ්රාම ගොස් තිබුණේ 2007 වසරේදී වන අතර ලසන්ත ඝාතනය වන්නේ 2009 වසරේදීය. එමෙන්ම ජයමාන්නද මිලේනියම් සිටිහි ආරක්ෂක නිවස්නක ආයුද ගභඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බවත්, එසේ සියදිවි නසා ගැනීම ඔහු විසින්ම සිදු කරගත්තක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ. එවකදී මාධ්ය වාර්තා කළේ ජයමාන්න මියයෑමට ප්රථම දින ගණනාවක් යුද හමුදා කඳවුරුවලට ගොස් ඇති බවයි. කෙසේ වෙතත් තොරතුරු වෙනත් පාර්ශ්වයකට හෙළි වීම වැළැක්වීම සඳහා අවශ්ය වුවහොත් සියදිවි නසා ගැනීම සඳහා බුද්ධි නිලධාරීන් පුහුණු කර තිබේ.
යතුරු පැදි දෙක
මේ අතර ලසන්ත ඝාතනය වීමෙන් පසුව එවකදී ලසන්ත ඝාතනය සම්බන්ධව විවිධ මත පළ විය. ඒ අතරින් පළමුව කියැවුණේ ගෝඨාභය රාජපක්ෂ සහ මිග් යානා ගනුදෙනුව පිළිබඳවය. ඊට අමතරව කියැවුණේ එල්ටීටීඊය ලසන්තව ඝාතනය කළ බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවද ඒ පිළිබඳව විමර්ශනය කර තිබේ. ලසන්ත ඝාතනයෙන් පසුව 2009 ජනවාරි 27 වැනිදා යතුරු පැදි දෙකක් කිරුලපන ඇලෙන් ගොඩගෙන තිබේ. එම තොරතුර පෙත්සමක් ලෙස ලැබී තිබුණේ එවක පොලිස්පතිව සිටි ජයන්ත වික්රමරත්නටය. ඒ අනුව කළ දැනුම්දීමක් මත ගල්කිස්ස පොලිස් මූලස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල එම ගොඩගැනීම සඳහා කිමිදුම්කරුවන් යොමු කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම සිදුවීම පිළිබඳව නැවත විමර්ශනය කර තිබෙන අතර එහිදී තහවුරු වී ඇත්තේ අදාළ පෙත්සම හිටපු පොලිස්පතිවරයාට ලැබී තිබී ඇත්තේ 2009 ජනවාරි 26 වැනිදා බවය. නමුත් ඒ ගැන ගල්කිස්ස පොලීසියට විමර්ශන ආරම්භ කරන ලෙස නියෝග ලැබී ඇත්තේ ජනවාරි 25 වැනිදාය. 27 වැනිදා හමු වූ යතුරු පැදි දෙකෙහි අංක JF 6956 සහ UF 2635 වූ අතර ඊට පෙර අත්තිඩිය ඇලකින් ලසන්ත ලුහුබඳින ලද බවට සැක කළ HL5665 අංක දරන යතුරු පැදියක්ද හමු වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේවායෙහි චැසි අංක පරීක්ෂා කර තිබූ අතර ඒවායෙහි එල්ලා තිබී ඇති අංක තහඩුද තාවකාලිකව සැකසූ ව්යාජ ඒවා බවට තහවුරු වී තිබේ. ඒ අනුව කළ විමර්ශනවලදී සනාථ වී ඇත්තේ එම යතුරු පැදි දෙක පැහැරගෙන ඇත්තේ 2009 ජනවාරි 18 වැනිදා සෙට්ටිකුලම ප්රදේශයෙන් බවය.
දෙදෙනෙකුගේ ඝාතන
අදාළ ලිපින ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු අනාවරණය කරගෙන ඇත්තේ එහි පළමු අයිතිය වව්නියාවේ පුද්ගලයෙකුට අයත්ව තිබී පසුව එය සෙට්ටිකුලම පදිංචි විශ්නුකුමාර් නැමැති රත්තරන් බඩු ව්යාපාරිකයෙකුට විකුණූවක් බවය. ඒ අනුව කළ විමර්ශනයේදී ඔහුගේ බිරිඳ ප්රකාශ කර ඇත්තේ 2009 ජනවාරි 18 වැනිදා තම ස්වාමිපුරුෂයා තවත් පුද්ගලයෙකු සමග යතුරු පැදියෙන් යමින් සිටියදී කොළ පැහැති ජීප් රියකින් පැමිණි පිරිසක් යතුරු පැදිය සමගම පැහැරගෙන ගිය බව ඇසින් දුටුවන් ප්රකාශ කළ බවය. ඊට පසුදින එනම් ජනවාරි 19 වැනිදා අනුරාධපුරය ගම්බිරිස්වැව ප්රදේශයේදී හිසට වෙඩි තබා එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සොයාගෙන තිබේ. ඒ අනුව ලසන්ත ඝාතනය වී දින 10 කට පසු පැහැරගැනුණු යතුරු පැදිය කොළඹ ගෙනවිත් ඇළට දමා මෙම ඝාතනය එල්ටීටීඊය කළ බව හැඟවීමට සිදු කළ තවත් අපරාධයක් බව පෙනෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. ඊට හේතුව ලෙස ඔවුන් ප්රකාශ කරන්නේ එම කාලයේදී උතුරේ යුද්ධය පැවති බැවින් මුරකපොලු හරහා යතුරු පැදියකින් කොළඹට ඒමට එල්ටීටීඊ සංවිධානයට නොහැකි බවත්, එමෙන්ම සාමාන්ය කිසිවෙකුටත් උතුරේ එවැනි කටයුත්තක් කිසිසේත්ම සිදු කළ නොහැකි බවත්ය. මේ පරස්පර කරුණු හේතුවෙන් ලසන්ත ඝාතනය එල්ටීටීඊය කළ බවට ඒත්තු ගැන්වීමට ගන්නා උත්සාහය අසත්යක් බවත්, සාක්ෂි යොමුවන්නේ එවකට ක්රියාත්මක වූ නිල නොවන කටයුතු කළ ආරක්ෂක අංශ කණ්ඩායමක් වෙත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කරයි.
අවසානය
මේ වන විට ලසන්ත ඝාතනය වී වසර 9ක් ගතව තිබේ. මෙරට සිදු වූ අනෙකුත් බොහෝ ඝාතන සේම එම අපරාධයද විනිර්මුක්තියට ඉඩ තබමින් ඉතිහාසයට එක්වෙමින් තිබේ. මේ සියලු ඝාතනවලට සාක්ෂිවලින් චෝදනා ගොනු වන්නේ නිල යාන්ත්රණය තුළ ක්රියාත්මක වූ නොනිල ඝාතන කණ්ඩායම් වෙතය. රාජපක්ෂවරුන් ලසන්ත මරා දැමූ පසු ප්රසිද්ධ මාධ්යයෙන් ඇසුවේ ‘ලසන්ත කවුද?’ යන්නයි. මෙම ඝාතන සාමාන්ය අයෙකුට කළ නොහැකිය. එමෙන්ම ලසන්ත මහමඟ මරා දැමීඹට තරම් යුද හමුදාවට පුද්ගලික ප්රශ්නයක් තිබිය නොහැකිය. එමෙන්ම ඒවාට අණ දීමද සාමාන්ය අයෙකුට කළ නොහැකිය. සියලුම යුද සැලසුම් හා ජයග්රහණයන් තමන්ගේ බව එකල රාජපක්ෂවරු කීහ. එයම සරත් ෆොන්සේකාද කීහ. දෙගොල්ලෝම එකලත් වර්තමානයෙත් බලයේ සිටිති. කලින් කලට යුක්තිය ඒ ඒ අය වෙනුවෙන් වෙනස්ව ක්රියාත්මක වන බව මහජනතාව තුළ මේ වන විට සැක ඇති වී තිබේ.
තවත් අතකින් යහපාලනය බලයට ආවේම මෙම ඝාතන කේවල් කරමිනි. එහෙත් එකල සේම මෙකලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටින තොරතුරු ලබාදීම ආරක්ෂක අංශ මග හරිමින් සිටිති. අද රටේ සේනාධි නායකයා ජනාධිපති මෛත්රීපාල සිරිසේනය. නීතිය බාර ඇමතිවරයා අගමැති රනිල් වික්රමසිංහය. ලසන්ත ඝාතනය ගැන තොරතුරු තවදුරටත් සඟවනවා නම් අත්අඩංගුවට ගැනීම් ‘රණවිරු’ නාමයෙන් වළකනවා නම් මේ රට තවදුරටත් යුක්තියෙන් දුර අපරාධ විනිර්මුක්තිය රජ කරන රටක් බව පැහැදිලිය.
ලසන්ත ඔබට යුක්තිය ඉටු වනතුරු මාධ්ය සගයන් ලෙස අප බලා සිටිමු.
– කසුන් පුස්සෙවෙල –