ඡායාරූපය: “අමුතු දොස්තර” මාලා නාටකය මිලදී ගැනීම, සෙනේස් සභාපති වු “ටෙලිනිස” හි නව සභාපතිගේ නිශ්පාදනයක් වීම ලැබදියාවන් අතර ගැටුමක්ද?
රජිත් කීර්ති තෙන්නකෝන්.
(Sri Lanka Brief/26.12.2024) රූපවාහිනියට මොකද වෙන්නේ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය.
රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130 ක් පමණ ය. එයින් මිලියන 70 ක් (50%ක්) ලැබෙන්නේ සංවර්ධන ලොතරැයියෙනි. එය, රාජ්‍යය විසින් මූල්‍ය නීති කඩන්නේ නැතිව සිදු කරන අරමුදල් සම්පාදන, ඩීල් එකකි. ජාතික රූපවාහිනිය, දෙමළ නේත්‍රා සහ ඉංග්‍රීසි චැනල් අයි නාලිකා දුවන්නේ මේ සල්ලි වලිනි.
රූපවාහිනිය 2019 සිට දිගටම රජයේ බදු මුදල් වංචා කළේය. වෙළඳ දැන්වීම් ආදායමේ 18% ක වැට් බද්ද, 2.5% ක සමාජ ආරක්ෂණ බද්ධ (20.5% ක්) එකතු කර ගෙන ඇතත් එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා නොදී පඩි ගෙවන්නට වියදම් කළේය.
2022 අග වන විට රූපවාහිනිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. බිලියන 1.5 ක් ගෙවිය යුතුව තිබුණි. රනිල් ගේ පාලනය යටතේ, 2022 දී රජයේ ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබාදීමට නවතා දමනු ලැබීය. (පුද්ගලික හා රාජ්‍ය ආයතන වල හිඟ බදු මුදල් අය කර ගැනීමට දැඩි පියවර ගත්තේය. මහා භාණ්ඩාගාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුට රූපවාහිනියේ බැංකු ගිණුම් අතිහිටුවා බදු අය කර ගැනීමට නියෝග කළේය)
රූපවාහිනිය මුහුණ දී තිබුණේ ‘ජාතික නාලිකාව නිසා වසා දැමීමටත් බැරි, අරමුදල් නොමැති නිසා පවත්වාගෙන යාමටත් බැරි තත්වයකය. ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප් ලැබූ ලක්ෂ 14 වන රාජ්‍ය නිලධාරින් අතර කෙනෙකු ලෙස මගේ නිරීක්ෂණය තනි වාක්‍යයකි.
‘ආදායම් (බදු) ප්‍රශ්නය කලමනාකරණය කර ගත හැකි, ළබැඳියාවන් නැති, රූපවාහිනියේ අභ්‍යන්තරයට සමීප සබඳතා නැති, ඉහළ කලමනාකරණ හැකියාවක් තියෙන නිලධාරියෙකු රූපවාහිනිය මෙහෙයවිය යුතුයි’. එය අදටත් එලෙසම වලංගු යැයි මම විශ්වාස කරමි.
ගෝඨාභය – රනිල් ගේ සර්වපාක්ෂික ආණ්ඩුවේ සභාපති අසංග ජයසූරිය 2002-2004 රූපවාහිනියේ හිටපු අලෙවි ප්‍රධානියා සහ පසුව නෙත් එෆ්.එම්. ප්‍රධාන විධායක නිලධාරියා ය. අරගලය සමයේ ධානිෂ් අලි සිද්ධියෙන් පසුව ඔහු ඉවත් විය.
රනිල් අගමැතිවීමෙන් පසුව (2022 ජූලි) ඇමති බන්දුල රූපවාහිනී සභාපති ලෙස පත් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු, අමාත්‍යාංශ ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල ය. ස්වාධීන රූපවාහිනියට දැම්මේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ය. ගනේගල රූපවාහිනිය කළමනාකරණය කර ගත නොහැකිව ගෙදර ගියේය. නමුත්, සුදර්ශන අයි.ටී.එන්. එක මිනිස්සු බලන නාලිකාවක් පමණක් නොව, 2016 සිට අඛණ්ඩව පාඩු ලබමින් සිටි තැන සිට 2024 ජනවාරි – සැප්තෑම්බර් දක්වා මෙහෙයුම් ලාභයක් ලබන තැනට පත් කළේය. එකම අභියෝගයක් සභාපතිවරුන් දෙදෙනෙකු ජයගත්තේ එලෙසය.
ජ්‍යෙෂ්ඨම පරිපාලන නිලධාරි ගනේගල ට කලමනාකරණය කර ගත නොහැකි වු තැනට, විදුලි සංදේශ ඉංජිනේරු ආචාර්ය ප්‍රසාද් සමරසිංහ පත් වන්නේය. ඔහු ලංකා බෙල් ආයතනයේ හිටපු ප්‍රධාන විධායකයාය. රූපවාහිනිය සතු චැනල් අයි නාලිකාව ඊඒපී මාධ්‍ය පාලයට අයත් SBS නාලිකාවට බදු දී මසකට මිලියන 30 ක් සොයා ගැනීමට ඔහු සමත්විය. රූපාවාහිනියේ ආර්ථික අර්බුදය සමනය විය. නමුත්, විරෝධතා හේතුවෙන් එම ගිවිසුම මාස හයකින් අවසන් කිරීමට සිදු විය. ප්‍රසාද් ඉල්ලා අස්විය.
ස්වෙච්ඡා විශ්‍රාම ක්‍රමයක් සකස් කර සේවකයින්ට විශ්‍රාම දී වියදම් පාලනයට රජය කටයුතු කළේය. මුදල් ගලායාම පහසු විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ රූපවාහිනි සභාපති වූවේ ඉන් පසුවය. සුදන්තට දේශීය ආදායම් ගැටළුව කලමනාකරණය කර ගත හැකි විය. බදු මුදල් සාවද්‍ය පරිහරණයක් වූවේ ද නැත. සරළවම, ප්‍රසාද් – සුදන්ත දෙදෙනා මුල්‍ය අර්බුදය කලමනාකරණය කළහ. මුහුදු මට්ටමින් පහල නෙදර්ලන්තයේ බැම්මකින් රට තුලට, මුහුදු වතුර කාන්දුවනු දුටු නිර්භීත කොළු ගැටයෙකු මුහුදේ ජල පහර වලකන්නට බැම්මේ සිදුර තම ඇඟිල්ලෙන් වැසූ ලෙස, ඔවුන් දෙදෙනා මුදල් කාන්දුව වලක්වා ආයතනය රැකගත්තෝය. (Hans Brinker නැතිනම්, The Boy who held back the Sea බලන්න)
රූපවාහිනිය විදුලිබල බණ්ඩලයට හා ජල සම්පාදන මණ්ඩලයට ද, මෙලෙසම අති විශාල හිඟ මුදලක් ගෙවීමට ඇත. අවස්ථා කිහිපයක දී ම විදුලිය හා ජලය විසන්ධි විය. බදු මුදල් සාවද්‍ය පරිහරණය නොකරනවා නම්, විදුලිය – ජල බිල, කොළඹ නගර සභා ගාස්තුව ගෙවනවා නම් රූපවාහිනිය කලමනාකරණය කළ හැකිය. (නැත්තම් බැරිය!)
ආචාර්ය සෙනේෂ් ට දින 90 ක්, එය කළ හැකි වූයේ දැයි මම දන්නේ නැත! ඔහු එය කළ බව තම සටහනේ දක්වයි. ඒවා කියන ඒවා ඇත්ත දැයි සොයා බැලීම වටී.
අයහපත් මුදල් තත්වය නිසා, නිෂ්පාදකවරුන්ට මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා දීර්ඝ කාලයක් රූපාවාහිනියට ටෙලි නාට්‍ය ලැබුණේ නැත. නාලිකාව පිරිහී තිබුණි. සෙනේෂ්, අලුතෙන් ටෙලි නාට්‍ය මිලදී ගත්තේය. පැය භාගයක එක කොටසකට ගෙවන මුදල රු. ලක්ෂ 2.5 ක් ලෙස ඇස්තමේන්තු කළ හොත් සතියක වියදම රු ලක්ෂ 12.5 කි. මාසයකට ලක්ෂ 50 ක් හෙවත් මිලියන 5 කි. සෙනේෂ් පාලනය යටතේ කෝරළගේ සමන් ගේ ‘අමුතු දොස්තර’ සහ චමිල් පතිරණ ගේ ‘සිටුවර පුවත’ යන ‘හොඳ’ නාට්‍ය දෙකක් දිනපතා ප්‍රදර්ශනයට යෙදවීය. ඒ දෙක සඳහා මාසික වියදම රුපියල් මිලියන 10 හෙවත් කෝටියකි. රූපවාහිනියට අලුතෙන් දැන්වීම් ආවේ නැත. වත්මන් පාලනය යටතේ මූල්‍ය අර්බුදය නැවත ඇරඹෙන්නේ මෙතැනිනි.
“දෙවනුව, ‘ටෙලිනිස’ තමන් කැමති සභාපතිවරු පත් කර ගෙන නාට්‍ය විකුණා ගැනීම දිගු කලක් සිදු කළ ජාවාරමකි. සෙනේෂ් ගේ ටෙලි නාට්‍ය මිලදී ගැනීම, ‘ළබැදියාවන් අතර පිළිගැටුමක් (Conflict of interest)’ බවට පත්වන්නේය”