Thursday, December 26, 2024

මහර බන්ධනාගාර ගැටුම – නීතිපතිගේ ලිපියට එරෙහිව අධිකරණයට පෙත්සමක්

2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාල සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර නැමැති සිරකරුගේ බිරිඳ වන එම් ජී ලසන්ති නමැත්තිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළාය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ  වැලිසර මහෙස්ත්‍රාත්වරයාව නම්කර තිබේ.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් කියා සිටින්නේ 2020 නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එහි රඳවා සිටි සිරකරුවන් 11 දෙනකු මරණයට පත් වූ බවයි.

ඒ පිළිබඳව පැවති මරණ පරීක්ෂණය අවසානයේදී මෙම මරණ “අපරාධයක්” බවත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් ඉකුත් අගෝස්තු මස 30 වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩු කටයුතු අවසන්කර ගොනු වසාදමන ලෙස දැනුම් දී තිබෙන බවත් පෙත්සම්කාරිය කියා සිටියාය.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිරකරු ගැටුම් පාලනය කරගැනීම සඳහා අවම බලයක් ක්‍රියාවේ යෙදවූ බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කළත් මියගිය පුද්ගලයින්ට වෙඩිවැදී සිදුවී තිබෙන තුවාල දෙස බැලීමේදී එම නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා මානුෂික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවක් පෙනී නොයන බව මහෙස්ත්‍රාත්වරයා සිය පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවේ සඳහන් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලගු නොවන නඩු විභාගය අවසන්වීමෙන් පසුව වුවත් මෙම සිද්ධියේදී ලගු නොවන නඩු විභාගයක් ආරම්භවීමටත් පෙර නීතිපතිවරයා විසින් නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවත් පෙත්සමේ චෝදනා කර තිබේ.

ඒ අනුව මහර බන්ධනාගාර ගැටුම්වලින් මරණයට පත් වූ රැඳවියන්ගේ නඩු කටයුතු අවසන් කිරීමට නීතිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම පිළිබඳව නීතිපතිවරයාට පැවරී තිබෙන වගකීම පැහැර හැරීමක් බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ඒ අනුව මහර බන්ධනාගාර රැඳවියන්ගේ මරණවලට අදාල නඩු කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඊට අමතරව එම විමර්ශන කටයුතු යළි ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට බලකිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය වැඩිදුරටත් අයැද සිටියි.

Ada Derana

Archive

Latest news

Related news